ජනතාවගේ දුක පෙන්වූ මාව මරන්න හදනවා!

714

මිහින්තලේ තැබෑරුම්, හරක් මස්කඩ අරඹන්න දේශපාලනඥයෝ පොරකනවා
දේශපාලනඥයෝ දිනුවත් දිනුම් පැරදුනත් දිනුම් ජනතාව හැමදාම පරාදයි
– මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමි

“රටේ සිදුවන විනාශය දැකලා, දේශපාලනඥයන්ගේ පැත්ත ගන්නෙ නැතුව රටේ ජනතාවගේ පැත්ත අරන් කතා කළා කියලා, ජනතාවගේ පීඩනය දුක පෙන්නලා දීලා කතා කළා කියලා මගේ කට වහන්න මාව ඝාතනය කරන්න සැලසුමක් තිබෙනවා” යැයි මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිපාණන් පැවසූහ.

උන්වහන්සේ මේ බව පැවසුවේ ලෝක ළමා හා වැඩිහිටි දිනයට සමගාමීව මිහින්තලා පුදබිමේ වසරක් පාසා පැවැත්වෙන හාල් කිලෝ 10000 ක් බෙදාදීමේ උත්සවයේදී ඊයේ (07 දා) අනුශාසනාවක් සිදු කරමින්ය.

එහිදී උන්වහන්සේ මෙසේද පැවසූහ.

ජනතාවගේ දුක පෙන්වූ මාව මරන්න හදනවා!

“අද විශාල පිරිසක් එකතුවෙලා ජනාධිපතිවරයාට මේ රට පාලනය කරන්න දෙන්නේ නෑ. දෙපැත්තෙන් කට්ටිය එකතුවෙලා අලියාගේ හොඬවැලයි, නැට්ටයි එකතු කරල කකුල් දෙක අස්සෙන් ගැටයක් ගහලා තිබෙනවා. දේශපාලනඥයන් විශාල පිරිසක් මිහින්තලේ නගර මධ්‍යයේ තැබෑරුම්, ගවමස් අලෙවිසැල් ආරම්භ කරන්න පොර කනවා. වසර ගණනාවක් තිස්සේ මම එයට ඉඩ දෙන්නේ නෑ.

වහල්ලු ටිකක් සමාජ මාධ්‍යයෙන් ප්‍රචාරයක් ගෙන යනවා මේ චීවරධාරියා මරලා දාන්න ඕනෙ කියලා. තව කොටසක් ප්‍රචාරයක් ගෙන යනවා හිරේ දාන්න ඕනේ කියලා. හිරේ යන්න බය නෑ. මැරෙන්න බයත් නෑ. මරලා දැම්මොත් තවත් යතිවරු බිහිවෙයි.

එදා මිහින්තලයට අගමැති ආවට පස්සේ, ඒ අයට මේ රටේ විනාශය, ජනතාවගේ දුක කිව්වා. ඒ දුක ඔවුන්ට දැනෙන්නේ නැති නිසා තමයි කිව්වේ. ළඟ තියාගෙන මේ රටේ තත්ත්වය තේරුම් කරලා දුන්නා. ඊට පස්සේ පසුගියදා මිහිඳු මහ රහතන් වහන්සේ පරිනිර්වාණය දවසේ 2282 පිරිච්ච දවසෙ මහා පින්කමක් සිද්ධ කළා කෘතගුණ පූජාවක් හැටියට. එහිදී මම කිව්වෙ මෙච්චරයි.

“අපි 1948 ඉඳලා අද වෙනකම් ජනතාව හැටියට රැවටෙනවා. දේශපාලනඥයෝ දිනුවත් දිනුම්, පැරදුනත් දිනුම්. ජනතාව වන අපි හැමදාම පරාදයි, ඔවුන් හිතන් ඉන්නේ අපි ඔවුන්ගේ වහල්ලු කියලා. පාර්ලිමේන්තුව නියෝජනය කරන්න පුළුවන් එක වරකට එක්කෙනාටයි, දෙවතාවක් පාර්ලිමේන්තු එන්න බෑ කියල කිව්වට පස්සේ මේ අයට රිදුණා. ජනාධිපතිවරු දෙන්නෙක් ඉන්නවා, ජනාධිපති වෙලා පස්සෙ, ආපහු මන්ත්‍රීවරයෙක් වෙලා නැවත පාර්ලිමේන්තුවට ආපු අය. මේ බොහෝ දෙනෙක් මේක දාලා යන්න කැමති නෑ. ඒ වගේ දේවල් මම කිව්වා.

ගිහි පැවිදි, භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා යන සිව්වනක් පිරිසට මේ සියලු දෙනා වෙනුවෙන් ජනතාවගේ පැත්තෙ ඉඳලා මම කතා කළා.

ඇතැම් මාධ්‍ය කාගේ හරි වහල්ලු බවට පත්වෙලා, මේ ආරාධනාගල පාමුල තියෙන, අලුතින් ඉදිකරපු ධර්ම ශාලාවට හෝටලයක් කියලා තිබුණා. මේවා බෞද්ධාගමට කරන නිග්‍රහ. මේවා ආරම්භ වෙන්නේ 2014 මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ, අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ ඉන්න කාලේ.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගේ අනුමැතියෙන්, අධීක්ෂණයෙන් පරීක්ෂණයෙන්, නිරීක්ෂණයෙන්, නිගමනයෙන් තමයි මේවා ඉදිකළේ. අදටත් වැඩ කරනකොට ඒ අයගේ අධීක්ෂණය යටතේ තමයි සියල්ල සිද්ධ වෙන්නේ.

පුරාවිද්‍යා මිහින්තලය කාර්යාලය කිව්වා කියල එයාල කියන්නෙ. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නියමයක් නැතිව එහෙම කවුද කියන්නෙ. අධ්‍යක්ෂතුමා කියලත් නැහැ. වටෙන් පිටෙන් අහුලගෙන තමයි මේ අය කතා කරන්නේ.

මේ අපි කතා කරන්නේ මිහින්තලා ආරාධනාගල පා මුල ඉදලා. වැස්සට අව්වට ඉන්න තැනක් මෙච්චර කාලෙකට තිබ්බෙ නැහැ. දිමුතු එනකොට කොහෙද මේ අය නවතින්නේ. මේ ශාලාවේ තමයි නවතින්නේ. මම මේවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිර්දේශයෙන් තමයි හදලා තියෙන්නෙ. ඇතැම් මාධ්‍ය වාර්තා කරනවා කාමර දාහතරක් සහිතව නවීන හෝටලයක් කියලා. මෙතන හෝටලයක් නැහැ. එහෙනම් ඒ ලියපු මනුස්සයා මෙතැනට ඇවිල්ලා නැහැ. කවුරු හරි දුන්න පලියට තමයි ලියලා තියෙන්නෙ.

අපිට ජාති, ආගම්, කුල භේද වැඩක් නැහැ. එකෙක්ගෙවත් වහල්ලු වෙන්නේ නැතිව අපි නැගිටින්න ඕනේ. මට ඒ පුවත පළවෙච්ච වෙලාවේ නීතිඥ මහත්තුරු ගොඩක් අය කතා කරලා කියනවා අධිකරණයේ නඩුවක් දාන්න කියලා. මම කිව්වා ඔබතුමාලා කරන්න කියලා. මොකද මාව වට්ටන්න බෑ. ඇතැම් ජනමාධ්‍ය ජනතාවගේ පැත්තෙ නෙමෙයි සිටින්නේ දේශපාලනඥයන්ගේ පැත්තේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරුන්ගේ මන්ත්‍රීලාගේ හෝටල් තිහ හතළිහකට වැඩියි. ඇතැම් ඇමතිවරුන්ට හොරොව්පොතාන පැත්තේ අක්කර 300ක් පමණ තියෙනවා. ඉන්ධනහල් තැබෑරුම්, තිබෙනවා.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment