ජනතාවගේ මානව නිදහස ශක්තිමත් කිරීමට නව පනත් 24 ක් ගේනාවා

96

අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ

ශ්‍රී ලංකාවේ ජාතික සංහිඳියාව හා ප්‍රතිසංවිධාන කටයුතු සඳහා අඛණ්ඩව සහාය ලබාදීමට නිරන්තරයෙන් ක්‍රියාකරන බවත්, එම කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා ජපන් යෙන් මිලියන 100 ක ප්‍රදානයක් ලබාදෙන බවත්, ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ටාකි ෂුන්සුකේ මහතා සඳහන් කළේය.

ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා සමග ඊයේ (03 දා) අධිකරණ අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකදීය.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදෙන රටක් ලෙස ජපානය මුලින්ම ඉදිරිපත් වෙමින් එම අර්බුදය කළමනාකරණය කර ගැනීමට කටයුතු කිරීම පිළිබඳව ජපන් රජයට මෙහිදී ප්‍රථමයෙන් ස්තුතිය පළ කළ අමාත්‍යවරයා නව රජය මාස හයක පමණ කාලපරිච්ඡේදය තුළ ජනතාවාදීව රැඩිකල් තීන්දුවක් ගනිමින් රජයක් ලෙස ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කරමින් මානව නිදහස ශක්තිමත් කිරීම සඳහා නව පනත් 24 ක් ගෙන ආ බවත් විශේෂයෙන් යුද්ධයෙන් පීඩාවට පත් උතුරු

නැගෙනහිර ජනතාවගේ ගැටලු නිරාකරණය කර ගැනීමට රජය විශාල වැඩ කොටසක් ඉටුකර ඇති බව මෙහිදී සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ටාකි ෂන්සුකේ මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ සාමය හා සංහිඳියාව ස්ථාපිත කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරමින් මානව හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා රටක් ලෙස ගෙන යන වැඩපිළිවෙළට ජපානය අඛණ්ඩව සහාය ලබාදෙමින් සංහිඳියා වැඩපිළිවෙළට අවශ්‍ය තාක්‍ෂණික සහාය ලබාදීමට කටයුතු කරන බවද පැවසීය.

අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, ශ්‍රී ලංකා ජපාන තානාපති මිසුකොෂි හිඩෙකි, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ අමාත්‍ය කටුසුකි කටාරෝ යන මහත්ම මහත්මීන් ඇතුළු ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය හා අධිකරණ අමාත්‍යාංශය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment