ජනතාවගේ මෙන්ම දැයේ අභිවෘද්ධියට කැපවීම මහජන බැංකුවේ අපේක්ෂාවයි

149

මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී (බැංකු සහාය සේවා) නිපුණිකා විජයරත්න

ශ්‍රී ලංකාවේ කීර්තිමත්ම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුව, ආරම්භයේ සිට මේ දක්වා මෙරට ජාතික ආර්ථිකයට, ව්‍යාපාරිකයන්ට, ගනුදෙනුකරුවන් වෙනුවෙන් මෙන්ම පොදු ජනතාගේ සහ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් ද අසමසම දායකත්වයක් දක්වා ඇත. ඒ පිළිබඳව අදහස් දැක්වීමට ඉරිදා දිවයින සමඟ මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී (බැංකු සහාය සේවා) නිපුණිකා විජයරත්න මහත්මිය පසුගියදා සාකච්ඡාවකට එක්වූවාය.

ප්‍රශ්නය – මෙරට කීර්තිමත්ම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුව ශ්‍රී ලංකා ආර්ථිකය තුළ දක්වා ඇති කාර්යභාරය කුමක්ද?

පිළිතුර – මහජන බැංකුව වර්ෂ 1961දී ස්ථාපිත කරන ලද්දේ එතෙක් බැංකුවක් කරා පිය නැඟීමටවත් අවස්ථාවක් නොලද සාමාන්‍ය ජනතාව වෙනුවෙන් බැංකු පහසුකම් සැපයීම අරමුණු කරගනිමිනුයි. මහජන බැංකුව ආරම්භ කිරීමට ප්‍රථම විදේශ බැංකු මෙන්ම දේශීය බැංකුද ක්‍රියාත්මක වුණා. ඒවා බොහොමයක් ව්‍යාපාරිකයන්ට සහ ඉහළ පෙළේ ප්‍රභූ පැලැන්තිය කේන්ද්‍ර කරගෙනයි ක්‍රියාත්මක වුණේ. එම කාලය වන විට සාමාන්‍ය ජනතාවට අවශ්‍ය කරන බැංකු කටයුතු ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ඇතිවී තිබුණා. එමෙන්ම සමුපකාරය සඳහා අවශ්‍ය බැංකු කටයුතු කිරීමත්, ඒ වන විට ඇතිවී තිබූ අවශ්‍යතාවක්. ඔය කියන කාරණා තමයි මහජන බැංකුව ආරම්භ කිරීමේ මූලික පදනම වුණේ. ඒ අනුව පිලිප් ගුණවර්ධන, ටී. බී. ඉංගරත්න යන මහත්වරුන් මුල්වී මහජන බැංකුව ආරම්භ කළා. සාමාන්‍ය ජනතාව වෙත ඉහළ වටිනාකමක් ලබාදීමේ අරමුණින් මහජන බැංකුව උකස් ණය, ළමා ඉතුරුම් ගිණුම්, කාන්තා ගිණුම් ආදී නිෂ්පාදන කාණ්ඩ රැසක් හඳුන්වා දෙනු ලැබුවා.

වර්තමානය වනවිට ශාඛා සහ සේවා මධ්‍යස්ථාන 743ක් සහ මිලියන 14.5කට අධික ගනුදෙනුකරුවන් පිරිසක් සිටින, රටේ විශාලතම බැංකු සේවා සපයන්නා මහජන බැංකුවයි. මහජන බැංකුවේ සමස්ත තැන්පතු වටිනාකම රුපියල් ට්‍රිලියන 2කට වැඩියි. වත්කම් ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 2.6ක් පමණ වෙනවා.

ප්‍රශ්නය – මහජන බැංකුව අනෙකුත් බැංකුවලට වඩා වෙනස් වන්නේ කෙසේද ?

පිළිතුර – මහජන බැංකුවේ එකම අවධානය ලාභය පමණක් අරමුණු කරගෙන ක්‍රියා කිරීම නෙවෙයි. අප උපයා ගන්නා ලාභය රටේ සංවර්ධනයට යෙදවෙනවා. උදාහරණයක් ලෙස කොවිඩ්-19 වසංගතය මහජන බැංකු සමූහය, සාමාන්‍ය ගනුදෙනුකරුවන් 400,000කට, ව්‍යාපාර 21,000කට සහ ලීසිං ගනුදෙනුකරුවන් 55,000කට ණය පොලී සඳහා සහන ලබා දී ඇති තිබෙනවා. රජය මෙම පොලී සහන ලබාදීමට තීරණය කළ දින සිට දින කිහිපයක් ඇතුළත සහන ලබාදීමට මහජන බැංකුව ක්‍රියා කළා.

සාමාන්‍ය ජනතාවගේ ආර්ථිකය තිරසාරව සහ ජීවිත නඟාසිටුවීම සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය වෙනුවෙන් පහසුකම් සැලසීම උදෙසා මහජන බැංකුව ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනවා. උදාහරණයක් වශයෙන්, මුළු රටම විදේශ මුදල් අර්බුදයක සිරවී’ සිටි මොහොතක, මහජන බැංකුව ඉන්ධන ආනයනය සඳහා පහසුකම් සැලසුවා. ඒ හා සමානව, බැංකුව විදුලි උත්පාදනය සඳහා ගල් අඟුරු ආනයනය කිරීමට සහ කොවිඩ්-19 වැළැක්වීම සඳහා එන්නත් ආනයනය කිරීමට පහසුකම් සලසා දුන්නා. එවැනි දේ කිරීම ලාභදායී නොවන අවස්ථාවලදී පවා ජාතියේ යහපත වෙනුවෙන් මහජන බැංකුව එවැනි ගනුදෙනු සඳහා පහසුකම් සපයා දෙනවා.

රජයේ විශ්‍රාම වැටුප්, සමෘද්ධි දීමනා වැනි තීරණාත්මක ගෙවීම් සහ සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට ආධාර කිරීම සඳහා විවිධ ගෙවීම් කිරීමට මහජන බැංකුව අපගේ දැවැන්ත ශාඛා ජාලය භාවිත කරනවා. මහජන බැංකුව ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණයේ පුරෝගාමියෙකු වන අතර, එම තාක්ෂණයේ ප්‍රතිලාභ සමාජයේ ඇතැම් ස්ථරයන්ට පමණක් සීමා නොකර සෑමවිටම පුළුල් වෙළෙඳපොළ කරා (සියලුම ගනුදෙනුකරුවන් ඇතුළත් වන පරිදි) ලබාදීමට හැකිවී තිබෙනවා.

ප්‍රශ්නය : ආර්ථිකයේ සහ සාමාන්‍ය ජනතාවගේ යහපැවැත්ම සඳහා බැංකුව ලබාදී ඇති විශේෂ දායකත්වය කුමක්ද?

පිළිතුර – පසුගිය වසර තුන තුළ පමණක් පොදු මහජනතාවට අත්‍යවශ්‍ය සේවාවන් සැපයීමට හැකි වන පරිදි මහජන බැංකුව රුපියල් බිලියන 750කට අධික මුදලක් රාජ්‍ය ව්‍යවසායන් සඳහා ලබාදී තිබෙනවා. එමෙන්ම, බැංකුව රුපියල් බිලියන 45කට අධික මුදලක් බදු සහ ලාභාංශ ලෙස රටට ආපසු ලබාදීමට කටයුතු කර තියෙනවා. ගනුදෙනුකාර ණය සම්බන්ධයෙන් ගතහොත් මෙම වසර තුනක කාලය තුළ බැංකුව විසින්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා, ගුරුවරුන්ට, කලාකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට, කාන්තා ව්‍යවසායකයන්ට, ලැප්ටොප් පරිගණක මිලදී ගැනීමට විශ්වවිද්‍යාල සිසුන්ට ණය මුදල් ලබාදීමට කටයුතු කරනු ලැබුවා. එසේම සන්නද්ධ හමුදා සාමාජිකයන්, ත්‍රිවිධ හමුදාවේ ආබාධිත නිලධාරීන් සඳහාත් ණය මුදල් ප්‍රදානය කර තිබෙනවා.

කොවිඩ්-19 වසංගතය අතරතුර, අපගේ ශාඛාවලින් 70%ක් සාමාන්‍ය ජනතාවගේ ප්‍රයෝජනය සඳහා විවෘතව තබා තිබූ අතර, ව්‍යවසායකයන්ට සහ ව්‍යාපාරික ප්‍රජාවට සහායවීම සඳහා එවකට රජය හඳුන්වා දුන් ‘සෞභාග්‍යා’ කොවිඩ්-19 කාරක ප්‍රාග්ධන ණය පහසුකම යටතේ රුපියල් බිලියන 14.4ක් ලබාදීමටද මහජන බැංකුව සමත් වූ බව විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි.

ප්‍රශ්නය – මේ මොහොතේ බැංකුව මුහුණ දෙන අභියෝග ගැන කතා කළොත්?

පිළිතුර – අපි අතීතයේ සිදුකළ ආකාරයෙන්ම දේශයේ උන්නතියට දක්වන දායකත්වය දිගටම කරගෙන යා යුතුයි. එසේ කිරීමට නම් අපිට අපේ මූල්‍ය ශක්තිය ස්ථාවරව පවත්වාගෙන යාමට අවශ්‍ය වෙනවා. එමෙන්ම විදේශ මුදල් කළමනාකරණය කිරීම ද අවශ්‍යයි.

ප්‍රශ්නය – මහජන බැංකුව දැනටමත් ලබාදී ඇති ණය මුදල් සඳහා පොලී අනුපාත වැඩි කිරීමට සලකා බලමින් සිටිනවාද?

පිළිතුර – ඔබ දන්නා පරිදි, බැංකුවක ප්‍රධාන ව්‍යාපාරය වන්නේ තැන්පතු භාර ගැනීම සහ එම අරමුදල් ණය ලෙස ලබා දීමයි. ඔබ දැනටමත් දන්නවා ඇති රටේ පවතින ආර්ථික අර්බුදකාරී තත්ත්වය සහ උද්ධමනය හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනය පරිදි සිය නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාත ඉහළ නැංවීමට සාපේක්ෂව තැන්පතු පොලී අනුපාත 300%කින් පමණ ඉහළ නැංවීමට සිදුවූවා. ඒ වගේ ම පවතින තත්ත්වයට අනුරූප ව භාණ්ඩාගාර බිල්පත් සඳහා ලබා දෙන පොලී ප්‍රතිශතත් ඉහළ දැමුණා. තැන්පතු පොලී අනුපාතයන්ට සාපේක්ෂව ණය පොලී අනුපාත ඉහළ නැංවීමට නොහැකි වුවහොත් සමස්ත මූල්‍ය පද්ධතියම අස්ථාවරව හැකියි. එමෙන්ම ඉතුරුම් හා ණය පොලී ප්‍රතිශත අතර ලොකු පරතරයක් නිර්මාණය වෙලා තිබෙන නිසා වසරකට වඩා වැඩිකාලයක් ගනුදෙනුකරුවන් වෙනුවෙන් විශාල පාඩුවක් දරා ගැනීමට පසුගිය කාලයේ අප කටයුතු කළා. එහෙත් මෙරට මූල්‍ය ක්ෂේත්‍රයේ මුදුන්මුලක් වන් මහජන බැංකුවේ සවිමත් බව ඒ අයුරින්ම පවත්වා ගනිමින් ඉදිරියට ගමන් කිරීම සමස්ත සමාජයටම ඉතාම වැදගත් වනවා. එම නිසා බැංකුව සහ මූල්‍ය ක්ෂේත්‍රය වඩාත් ස්ථාවර කරගනිමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කරගැනීම වෙනුවෙන් යම් යම් තීරණ ගැනීමට ඉදිරියේදී සිදුවිය හැකියි. කෙසේ වෙතත් එබදු පියවර ගනු ලබන්නේ තැන්පතු හා ණය පොලී අනුපාත අතර පවතින පරතරය අවම කිරීමට මිස ලාභ ලැබීමට නොවේ.

ප්‍රශ්නය – තැන්පතු සම්බන්ධයෙන් මහජන බැංකුව ගනුදෙනුකරුවන් වෙත ලබාදෙන්නේ මොනවාද?

පිළිතුර – රාජ්‍ය බැංකුවක් ලෙස, අපි ඕනෑම තැන්පතුවකට අසමසම ආරක්ෂාවක් පිරිනමනවා. ඒ නිසාම අපගේ තැන්පතු පදනම රුපියල් ට්‍රිලියන 2ක් පමණ වෙනවා. අපි අපගේ සියලුම නිමැයුම් වෙනුවෙන් ආකර්ශනීය සහ තරගකාරී පොලී අනුපාත පිරිනමනවා. අපගේ නිමැවුම් ක්‍රම පිළිබඳව සලකා බැලීමේදී, බාලවයස්කරුවන්, තරුණයන්, වෘත්තිකයන්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, ඉහළ ආදායම් ලබන්නන් වැනි සමාජයේ විවිධ ස්ථරවලට සුවිශේෂී අයුරින්, ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා නිර්මාණය කර ඇති නිමැයුම් විශාල සංඛ්‍යාවක් මහජන බැංකුව සතුයි.

ප්‍රශ්නය – පවතින ආර්ථික තත්ත්වයත් සමඟ ශ්‍රී ලාංකේය ජාතිය නගාසිටුවීම සඳහා ජාත්‍යන්තර ප්‍රේෂණ අත්‍යවශ්‍ය වෙනවා. මෙයට පිළියම් යෙදීමට මහජන බැංකුව සිදුකර ඇත්තේ කුමක්ද?

පිළිතුර – ඔව්, රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම මෙන්ම, මුදල් ලබන්නන්ගේ ජීවන තත්ත්වය නංවාලීමේ අරමුණින් මහජන බැංකුව විදේශ රැකියාවල නිරත ශ්‍රී ලාංකේය විදේශ ශ්‍රමිකයන් වෙතින් ලැබෙන මුදල් නිසි මාර්ගවලින් ලබාගැනීමේ අරමුණින් Peoples Remittance වාසි කෝටියයි‘ වැඩසටහන දියත් කරනු ලැබුවා. මෙම වැඩසටහන යටතේ රුපියල් මිලියන 30ක් වටිනා ත්‍යාග දිනපතා, සතිපතා, මාසික සහ වාර්ෂික ජයග්‍රාහකයන් අතර බෙදාදෙනු ලැබුවා. මෙම ප්‍රවර්ධන වැඩසටහනේ මීළඟ අදියර මීටත් වඩා වටිනා ත්‍යාග සමඟ මේ වසර මුලදී ආරම්භ කෙරෙනවා.

විදේශ රැකියා සඳහා යන ශ්‍රමිකයන්ට මහජන බැංකුව පෙර විගමණික ණය මුදල්ද පිරිනමනු ලබනවා. ඊට අමතරව, විදේශයන්හි සේවය කරන අතරතුරද අපි ඔවුන්ට ණය පහසුකම් ලබාදී තිබෙනවා. තවද, බැංකු හෝ විධිමත් මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාවට ප්‍රේෂණ එවීම දිරිමත් කිරීම සඳහා විදේශීය ශ්‍රමික දිරිගැන්වීමේ පැකේජයක් හඳුන්වා දීමටද අපි අපේක්ෂා කරනවා.

ප්‍රශ්නය – ගනුදෙනුකරුවන්ගේ ජීවිතවලට අමතර පහසුවක් ලබාදීම සම්බන්ධයෙන් මහජන බැංකුව සිදුකරන කාර්යභාරය කෙබඳුද?

පිළිතුර – මහජන බැංකුව සෑමවිටම නවීනතම බැංකු සහ මූල්‍ය සේවා හඳුන්වා දෙමින් තම ගනුදෙනුකරුවන්ට උසස් පාරිභෝගික අත්දැකීමක් ලබාදීමට උත්සාහ කරනවා. ඒ අනුව, 2015 වසරේ ඩිජිටල් බැංකුකරණ ව්‍යාපෘතිය ආරම්භ කළා.

මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකක (SBU) අපගේ ඩිජිටල්කරණ වැඩසටහනේ පුරෝගාමී හඳුන්වා දීමක් බව කියන්න පුළුවන්. දැනට දිවයින පුරා ස්වයං බැංකුකරණ ඒකක 280කට අධික ප්‍රමාණයක් තිබෙනවා. මෙහි ස්ථාපිතව ඇති ATM, CDM සහ බිල්පත් ගෙවීමේ යන්ත්‍ර සමඟ, ඔබට වසර පුරා දවසේ පැය 24 පුරාම පහසු සහ කාර්යක්ෂම බැංකුකරණ සේවා අත්විඳිය හැකියි.

අප සේවය කරන උසස් තාක්ෂණය නිසා කෙනෙකුට ඩිජිටල් තාක්ෂණයෙන් විනාඩි 10කට අඩු කාලයකින් ගිණුමක් විවෘත කිරීමට අවස්ථාව සලසා තිබෙනවා. අපගේ නව ඩිජිටල් ණය සැකසුම් හැකියාවන් සමඟ, ගනුදෙනුකරුවකුට පැය 24ක් ඇතුළත පුද්ගලික ණයක් අනුමත කරවාගත හැකියාව උදාකරදී තිබෙනවා.

රාජ්‍ය බැංකුවක් ලෙස මහජන බැංකුවට ඩිජිටල් මූල්‍ය සේවා රටේ නාගරික මෙන්ම, ග්‍රාමීය ජනතාව වෙත සමීප කිරීම සඳහා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනවා. එයින් උපරිම ප්‍රයෝජන ගන්නා ලෙස සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා.

ප්‍රශ්නය – ගෝලීය වෙළෙඳාමට සම්බන්ධ ජාත්‍යන්තර බැංකුකරණයේදී මහජන බැංකුවට ඇති කීර්ති නාමය ගැන කතා කළොත්?

පිළිතුර – මහජන බැංකුව ලොව පුරා බැංකු 900ක් සමඟ සාර්ථකව ගනුදෙනු කරනවා. මහජන බැංකුව පෞද්ගලික සහ රාජ්‍ය සමාගම්වලට ණයවර ලිපි සහ ඇපකර නිකුත් කරමින් රටේ ආනයන අපනයන කටයුතු සඳහා සැලකිය යුතු දායකත්වයක්ද සපයනු ලබනවා. ජාත්‍යන්තර බැංකු හා සම්බන්ධව මහජන බැංකුව ගල් අඟුරු, ඖෂධ, ඛඡ ගෑස් වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා ණයවර ලිපි නිකුත් කරන අතර, මෙරට ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට අවශ්‍ය මූල්‍ය සේවා සපයනවා.

ප්‍රශ්නය – ව්‍යාපාරික කටයුතු හැරුණු විට මහජන බැංකුව සමාජයේ අභිවෘද්ධිය වෙනුවෙන් දායක වී ඇති ආකාරය ගැන සඳහන් කළොත්?

පිළිතුර – ලාභයම මූලික අරමුණ කර නොගත් මෙරට පොදු ජනතාව හා බැඳුනු, ඔවුන්ගේ සිතුම්, පැතුම්, දුක, සතුට හඳුනන බැංකුවක් වශයෙන් පුරා හැට එක් වසරක් පුරා ශ්‍රී ලාංකීය ජනතාවට බැංකු හා මූල්‍ය පහසුකම් පිරිනැමීමෙන් නොනැවතී සිය ආයතනික සමාජ වගකීම් ඉටුකිරීමටද මහජන බැංකුව පියවර ගත්තා.

මේ වන විට අපගේ සමාජ සත්කාරක වැඩසටහන් ‘මහජන මෙහෙවර’ නමින් දියත් කර තිබෙන අතර, මේ දිනවල අවම පහසුකම් සහිත දුෂ්කර පාසල් සඳහා සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන විදුලිය පද්ධති සහ නල ජලය සැපයීමට කටයුතු කරමින් සිටිනවා.

පසුගිය කාලසමය ගතහොත් මහජන බැංකුව සිය කාර්ය මණ්ඩලයේ දායකත්වය ඇතිව කොවිඩ්-19 වසංගත සමයේදී කොවිඩ් 19 ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරීමේදි ප්‍රයෝජනවත් වන ජංගම අධි තාක්ෂණික ස්කෑනර් යන්ත්‍ර (Portable Ultra Sound Scanner) රජයේ රෝහල් වලට ප්‍රදානය කළා. එමෙන්ම පසුගිය වසරේදි රිජ්වේ ආර්යා රෝහල සහ කාසල් විදියේ කාන්තා රෝහල වෙත රුපියල් මිලියන 10කට වඩා වටිනා අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් පරිත්‍යාග කිරීම කටයුතු කළ අතර, ඉදිරියේදීත් මෙරට ජනතාවට මූල්‍ය පහසුකම් පිරිනමන අතර, සමාජයේ සහ දේශයේ උන්නතියට කැපවීම මහජන බැංකුවේ අරමුණයි.

සාකච්ඡා කළේ
ප්‍රභාත් විතාන
ඡායාරූපය –
සුපුන් අතුකෝරල

advertistmentadvertistment
advertistmentadvertistment