ජනතාවගේ සමස්ත ඉතිරිකිරීම්වලින්  සියයට 70ක් රාජපක්ෂලා හොරකම් කරලා- ආචාර්ය හර්ෂ ද සිල්වා (සජබ)

317

ආර්ථිකය විනාශ වූ නිසා  අතුරු අයවැයක්  ඉදිරිපත් කිරීමට සිදුවුණා – අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත

ආදායම කළමනාකරණය කරනවා නම්  මූල්‍ය අරමුදලට යන්න අවශ්‍ය නැහැ – මහින්දානන්ද අළුත්ගමගේ (ශ්‍රීලපොපෙ)

මේ ගෙනත් තියෙන්නේ  හොරු රකින අතුරු අයවැයක් – චමින්ද විජේසිරි (සජබ)


සමාජ, ආර්ථික, දේශපාලන ආදී කරුණු තුළින් රටේ ආර්ථිකය විනාශ වූ බැවින් ඉදිරි මාස 04 සඳහා අයවැය කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය වූ බැවින් අතුරු අයවැයක් ඉදිරිපත් කිරීමට සිදුවූ බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (31) පැවසීය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුව ඊයේ (31 දා) පෙරවරු 9.30 ට ආරම්භ කෙරිණ.

ප්‍රථමයෙන් නිවේදන, ලිපි ලේඛන, වාර්ෂික වාර්තා, මහජන පෙත්සම් ඉදිරිපත් කිරීමෙන් පසුව, පක්ෂ නායතකයන් විසින් විශේෂ ප්‍රකාශ සිදු කිරීම සහ ඒවාට පිළිතුරු සැපයීමෙන් පසුව අතුරු අයවැය පිළිබඳ විවාදය (විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත) ප්‍රථම දිනයට ආරම්භ විය.

විවාදය ආරම්භ කරමින්, කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා (සජබ) :

බංගලිදේශ නායිකා ෂීක් හසීනා ඊයේ කියලා තිබෙනවා බංගලාදේශය කවදාවක්වත් ශ්‍රී ලංකාව වගේ වැටෙන්න දෙන්නේ නෑ කියලා. ලංකාවට බොහොම පල්ලෙහායින් හිටි රටක් අද ශීඝ්‍රයෙන් සංවර්ධනය කරා යනවා. ඒ රට විතරක් නොවෙයි වෙනත් රටවලුත් අපට වඩා වේගයෙන් සංවර්ධනය වෙනවා. වියට්නාමයත් එහෙමයි. ඒ රටවල්වල නායකයෝ කාලයේ තාලයට රටවල් වෙනස් කරනකොට අපේ අය කළේ දේශපාලන වාසි ගන්න එකයි. බොරු දේශප්‍රේමී කතා කියලා ආගම්වාදය ඇති කරලා මේ රට අද නැගිට්ටවන්න බැරි විදිහට වට්ටලා බංකොළොත් කරලා විනාශ කරලා තිබෙනවා. රාධාක්‍රිෂ්ණන් මන්ත්‍රීතුමා මට කිව්වා ඒ පැත්තේ පාන් ගෙඩිය රුපියල් 300කට කිට්ටු වෙනවා කියලා. රජයේ වාර්තාවන්ට අනුව ආහාරවල උද්ධමනය සියයට 80ක්. බිත්තරයක් රුපියල් 60ට ගියා. වැඩිය ඈතට යන්න ඕනේ නෑ. 2021 අගෝස්තු සිට මේ දක්වා බලන්න මොකක්ද වුනේ කියලා. යම් අයෙකු රුපියල් ලක්ෂයක් ඉතුරු කරලා තිබුනා නම් එය අද වන විට රුපියල් 30000 ක් බවට අඩු කරලා. ජනතාවගේ සමස්ත ඉතිරිකිරීම්වලින් සියයට 70ක් රාජපක්ෂලා හොරකම් කරලා කිව්වොත් ඒක නිවැරදියි. අද අපේ රට බිත්තියට හිර කරලා. රට මර උගුලක ඉන්නේ. මිනිස්සුන්ට ඉවසන්නම බැරි නිසායි අරගලයක් කළේ. මිලියන ගණනක් පාරට බැස්සා. බැසිල් , මහින්ද, ගෝඨාභයව එලවලා දැම්මා. හිටපු ජනාධිපතිට යන එන මං නැතුව කාමරයකට හිරවෙලා ඉන්නවාලු. රාජපක්ෂ කල්ලිය අද පොහොට්ටුව එක්ක එකතුවෙලා රනිල් වික්‍රමසිංහව ජනාධිපති කළා. ඒක විකෘතියක්. අද පොහොට්ටුවේ සභාපති මහාචාර්ය ජීඑල් පීරිස් කිව්වා පොහොට්ටුව ඇතිකර ගත් සමාජ බැඳීම අද දෙදරලා ගිහින් කියලා. අද මේ ඉදිරිපත් කරලා තිබෙන අයවැය පූර්ණ ලේඛනයක් නොවුනත් එහි තිබෙන්නේ ජනාධිපතිවරයාගේ ආර්ථික ප්‍රතිපත්තියේ දිශානතියයි. අපි ඊට විරුද්ධ නොවුනත් මේ වැඩ පිළිවෙළ තමයි බංගලාදේශය වයට්නාමය වැනි රටවල් අනුගමනය කරලා තිබෙන්නේ. බොහෝ රටවල් දියුණු වන්න අනුගමනය කරලා තිබෙන වැඩ පිළිවෙළ මේකයි. අපේ ප්‍රතිපත්තිවලට මේ දිශානතිය බොහෝදුරට සමානයි. මේකට අපිට විරුද්ධ වෙන්න නෑ. නමුත් අපි සමාජ සාධාරණයකට වැඩි ඉඩක් දෙනවා. මේ දේ කරන්න තමයි රනිල් වික්‍රමසිංහ එදා ඉඳන් කටයුතු කළේ. නමුත් රාජපක්ෂ ළිං මැඩියෝ ඒ දේ කරන්න දුන්නේ නෑ. ඉතින් මේ දේ කරන්න බැසිල් ඇතුළු ඒ පිරිස ඉඩ දේවිද? දූෂණය ගැන එක වචනයක් වත් කියන්නේ නෑ. අරගලය කරපු අයට අද එලවා එලවා ගහනවා. එදා රනිල් වික්‍රමසිංහ කිව්වා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා කියලා. නමුත් ඒ පනත අද ගෙනල්ලා රනිල් වික්‍රමසිංහ අරගලයට පහර දෙනවා. අපි දශක ගණනක් තිස්සේ කියපු අමනෝඥ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරපු පොහොට්ටුවේ අයට වඩා අංශක 180ක් වෙනස් ආර්ථක ප්‍රතිපත්තියක් පිළිගනීද කියන ප්‍රශ්නය තිබෙනවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහගේ උත්සාහය වතුරේ යයි කියලා තමයි අපට කියන්න වෙන්නේ. රනිල් වික්‍රමසිංහගේ ආර්ථික ප්‍රතිපත්ති කාක් කූඩුවක හදපු කොහා පැටියෙක් කියලා වගෙයි මට නම් තේරෙන්නේ. කොහා ලොකු වන විට කාක්කා කූඩුවෙන් පහරදීලා එලවනවා. අපි ලොකු අනතුරක ඉන්නේ. විපක්ෂයේ අපේ සහාය දෙන්න සූදානම්. අපේ සහයෝගය දෙනවා. නමුත් මේ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න මූලින පදනමක් ජනාධිපතිවරයා ඇති කර ගත යුතුයි. ඒ සඳහා මහජන වරමක් අවශ්‍යයි. 2023 මාර්තු මාසේට පසුව ඕනෑම මොහොතක ජනාධිපති ඡන්දයක් පවත්වන්න ජනාධිපතිට පුළුවන්. ඡන්දෙට බයේ උප්පරවැට්ටි දාලා ඡන්ද කල් දාන්න එපා කියලා පොහොට්ටුවේ සභාපති අද කිව්වා.

අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා :

අද අපි මේ විවාදය කරන්නේ අතුරු අයවැයක් ගැනයි. මේ වර්ෂයටම අදාළ විසර්ජන පනතත් නොවෙයි. මේ එය සංශෝධනයක්. ඇයි ඒක සංශෝධනය කරන්න වුනේ සමාජ ආර්ථික දේශපාලන කරුණු තුළින් රටේ ආර්ථිකය විනාශ වුනු නිසායි. ඒ තත්ත්වය තුළ මේ අයවැය කළමනාකරණය කර ගන්නවුනු නිසායි මේසංශෝධිත අයවැය ඉදිරිපත් කරන්න වුනේ. මම හිතුවා විපක්ෂය එතනින් පටන් ගන්න. ඒ අය ජනප්‍රිය විවේචනයක් කරන්නේ. ඉදිරි මාස 04 සඳහායි මේ අතුරු අයවැය පදිරිපත් කළේ.

මහාචාර්ය ජීඑල් පීරිස් මහතා සේ සභාවේ අයවැය කිහිපයක් ඉදිරිපත් කළාද? ඒවා ස්ර්ථක වුණාද? ජිනීවා වට කීයක් එතුමා විදේශ ඇමැති විදිහට පැරදුනාද? නමුත් අද එතුමාව අද සාදරයෙන් විපක්ෂය පිළිගත්තා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනස් කර ගන්න ඕනා තමයි. නමුත් එදා යහපාලන ආණ්ඩුවට ඒක වෙනස් කරගන්න බැරිවුණා. මේ අතුරු අයවැයෙන් කියලා තිබෙන්නේ ප්‍රතිපත්තිමය කරුණුයි.

( හේෂා විතානගේ මහතා මූලාසනයට පැමිණේ.)

වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ අතුරු අයවැය ප්‍රතිපත්ති හර්ෂ සිල්වා මන්ත්‍රීතුමා කිව්වා පිළිගන්නවා කියලා. නමුත් මේක කරන්න පුළුවන්ද කියලා සැකයි කියලා කිව්වා. හැම වෙලේම සැකෙන් බලන්න එපා දැන් මේ වන විට ප්‍රශ්න ටික යම් කළමනාකරණය කරගෙන තිබෙනවා. විදේශ සහයෝගය ලැබී තිබෙනවා. දැන් බලන්න ඉන්ධන ප්‍රශ්න තිබුනත් අපේ අපනයන වැඩිකරලා තිබෙනවා. මේ ප්‍රශ්න විසඳන්න ජනාධිපතිතුමා ඉදිරිපත් වීම සහ මේ මේ වෙලාවේ තිබෙන දුෂ්කර ප්‍රයත්නය ජයගන්නට එතුමා දරන උත්සාහයට අපි සහයෝගය දෙන්න ඕනා. මේ අතුරු අයවැයේදී සමාජ සාධාරණය ඉෂ්ඨ කරලා තිබෙනවා. සහන අවශ්‍ය අයට සහන දෙන්න යෝජනා කරලා මුදල් වෙන් කරලා තිබෙනවා. වැට් බද්ද වැඩි කරලා තිබෙනවා. එදා මේ අය කිව්වේ වැට් බද්ද අඩු කරපු නිසායි මේ ප්‍රශ්න ඇති වුනේ කියලා. ඔන්න දැන් වැට් බද්ද වැඩි කරලා තිබෙනවා. රේගු අදායම, සුරාබදු ආදායම වැඩියෙන් ලබා ගන්න දැන් යෝජනා ගෙනත් තිබෙනවා. භූමිතෙල් ප්‍රශ්නයටත් යම් සහන දෙන්න ඕන අයට සහන දීලා තිබීම ගැන අපි සතුටු වෙනවා.

පත් කළ මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා (සජබ)-

2022 අයවැය සංශෝධනය කරලා අතුරු අයවැයක් ගෙනල්ලා තිබෙනවා. මේ රටේ බරපතළ ආර්ථික අර්බුදයක් තිබෙනවා දැන්, මේ මාස හතරට අතුරු අයවැයක් ගෙනවා කිව්වාට හදිසි කාරණාවලට පිළිතුරු දෙන්න යෝජනා ගෙනත් නෑ කියලායි අපට පෙනෙන්නේ. මේක දේශපාලන ලියවිල්ලක් වගේ ගණන් ටිකක් එහාට මෙහාට කරලා තිබෙනවා. අපි සල්ලි හොයන්න යන්නේ රාජ්‍ය දේපළ විකුණලාද කියල ප්‍රශ්නය තිබෙනවා. රාජ්‍ය සේවක විශ්‍රාම වයස අඩු කළා කියලා මේ ආර්ථිකය ගොඩ දාන්න පුළුවන්ද? විශ්‍රාම යෑමේ වයස අඩු කිරීමෙන් බලපෑමට ලක්වන අයට එල්ලවෙන පීඩනය අඩු කරන්න අරන් තිබෙන විසඳුම මොකක්ද? වැට් බද්ද වැඩි කිරීම නිසා සාමාන්‍ය ජනතාවට තමයි පහර වදින්නේ. බදු වැඩි කළා කියලා මේ ආර්ථික ප්‍රශ්නය විසඳන්න පුළුවන්ද? මේ ආර්ථිකය ගොඩ දාන්න ඩොලර් බිලියන 04ක්වත් ඕන කියලා ජනාධිපති රාජාසන කතාවෙන් කිව්වා. නමුත් ඒ මුදල උපයන ආකාරයේ යෝජනා මේකේ නෑ.

වැවිලි කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා:

ඉතා අපහසු මොහොතක ජනාධිපතිතුමා ඉදිරිපත් කළ මේ අතුරු අයවැය ඉතා ජනප්‍රිය එකක් නොවෙයි කියලා අපි දන්නවා. ජනතාවට වැඩිපුර බදු පනවන්න කිසිම රජයක් කැමති නෑ. නමුත් මේ තිබෙන ප්‍රශ්න එක්ක බදු බර වැඩි කරන්න වෙනවා. මේ ආර්ථික ප්‍රශ්නත් එක්ක ජනාධිපතිතුමාට දෙකොන පත්තු වූ විලක්කුවක් තමයි භාර ගන්න වෙලා තිබෙන්නේ. ඒ නිසා බදු ආදායම වගේම රජයට අයවෙන්න ඕන ආදායම් එකතු කර ගැනීම කළ යුතු වෙනවා. රටේ බදු ගෙවන්නේ ඉතාම සුළු ප්‍රමාණයක් පහණයි. ඒ නිසා ඉතා කාර්යක්ෂම ලෙස බදු එකතු කර ගත යුතු වෙනවා. ඒ වගේම රේගුව හරහා මීට වඩා ආදායම් අයකර ගත යුතු වෙනවා.

පොලොන්නරුව දිස්ත්‍රීක් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා (සජබ)-

ජනාධිපතිතුමා නාමල් කුමාරයාව දැල් පාලමෙන් එගොඩ කරගෙන ගියත් ජනතාව තාම එතනමයි. මේක අයිසින් කරපු පුස්කාපු අයවැයක් වගෙයි කියලායි මට පෙනේන්නේ. මේ අයවැයෙන් ගොවීන්ගේ ණය කපා දමනවා කියලා සඳහන් කරලා තිබෙනවා. නමුත් ඒ අය පසුගිය කාලයේ ලබපු අලාභය ගෙවන්න කටයුතු කරලා නෑ. පසුගිය කාලයේ රසායනික පොහොර තහනම නිසා වගා හානි වූ ගොවීන්ට වන්දි ගෙවනවා කියලා පම්පෝරි ගැහුවා. නමුත් මේ වනතෙක් එවැනි වන්දියක් දීලා නෑ. අද කිරි ගොවියාත් අනාථයි. කෘෂිකර්මාන්තය ගොඩ නගනවා කියලා කිව්වාට ඒ සඳහා නිශ්චිත වැඩ පිළිවෙළක් නෑ. සුරංගනා ලෝක ගැන කතා කරනවා. නමුත් ඒවා අවසන් වෙන්නේ ජනතාවට පාරාවළල්ලක් වෙලා. කෝ අද දූෂණය, වංචාව ගැන ගන්න පියවර මෙනවද? කෝ මහ බැංකු වංචාව වෙනුවෙන් ගන්න පියවර? අද මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නිවස අලුත් වැඩියා කරගන්න මිලියන 400ක් දීලා තිබෙනවා. නමුත් අහිංසක ජනතාවගේ නිවාස ටික අලුත්වැඩියා කරගන්න විදිහක් නැතුව ලතවෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා :

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් මිලියන 400ක්වත් රුපියල් 04ක් වත් වියදම් කරලා නෑ. අපට යුතුකමක් තිබෙනවා හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් හා අයගේ වැන්දඹුවන් වෙනුවෙන් මුදල් වෙන් කරලා ඒ අයව බලාගන්න.

වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා :

ඉන්ධන පෝළිම් වගේම ආහාර පෝළිම් එයි කියලා විපක්ෂය කිව්වා. අපට ඒ පෝළිම් නවත්වන්න වගකීමක් තිබුණා. ඒ සඳහා අපට ඉන්දියාවෙන් ණය ලබාගෙන ආහාර හිගය නවත්වගන්න කටයුතු කළා. ඒ වගේම සහල් මිල කිලෝව රුපියල් 400කට 500 කට යයි කියලා කිව්වා. නමුත් අපිට පුළුවන් වුණා සහල් කිලෝව රුපියල් 200 මට්ටමට තියා ගන්න. මේ සෑම කටයුත්තකදීම අපට විශාල අභියෝග තිබුණා. අපි ඒවාට මුහුණ දුන්නා. අපි මේ රටේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයෙන් නිෂ්පාදන වැඩ පිළිවෙළ වැඩි කළ යුතුයි කියන මතයේ ඉන්නවා. රටේ ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් අපි විශේෂ ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙනවා.

(රෝහිණී විජේරත්න මහත්මිය මූලාසනයට පැමිණේ)

බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා (සජබ)-

මේ අතුරු අයවැය තුළ කවි, සින්දු, බණ තිබෙනවා. මේක සුරංගනා කතාවක් වගෙයි. මේ කතාව ඇතුළත් පොත අවසානයේදී බයිලා වලින් පිරුණු පොතක් විදිහට ජනතාවට හඳුන්වන්න වෙන්නේ. රනිල් වික්‍රමසිංහ මහතාට කූඩුවක් හදාගන්න බැරිවුණා ජනවරමකින්. ඒ නිසා අර කිව්වා වගේ කපුටු කූඩුවෙන් එලියට ජනාධිපතිතුමාව දැම්මහම ජනතාවට අනාථ වෙන්න වෙනවා. අද රනිල් වික්‍රමසිංහ ඇතුළු පොහොට්ටු නඩය මේ රටේ ආර්ථිකය විනාශ කරලා අද නහයෙන් අඬනවා අපි එහෙම කළේ නෑ කියලා කියන්න. ජනාධිපතිතුමාගේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරන්න විපක්ෂය විරුද්ධ වෙන්නේ නෑ විරුද්ධ වෙන්නේ ඔය පොහොට්ටුවේ අයම තමයි. ඒ වගේම අපි කියනවා මේ ගෙනල්ලා තිබෙන්නේ හොරු රකින අතුරු අයවැයක් කියලා.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා (ශ්‍රී.පො.පෙ)-

මේ අතුරු අයවැය දෙස බැලුවහම ආදායම වගේ දෙගුණයක් වියදම් තිබෙනවා. මේ පරතරය පියවගන්නේ කොහොමද කියන ගැටළුව තිබෙනවා. විවිධ ආකාරයේ යෝජනා තිබෙනවා ආදායම් උපයාගන්න. ඒ ගැන සතුටුයි. නමුත් මේ වන විට රට තුළ රැකියා ඇති කරන්න වගේම විදේශ රැකියාවන්ට යොමු වන්න ඒ සහතිකය අවශ්‍යයි. ඒ සඳහා වැඩ පිළිවෙළක් යෝජනා කරලා නෑ. දැන් සංචාරක ක්ෂේත්‍රය නගා සිටුවන්න පියවර ගන්න අවශ්‍යයි. නමුත් ඒ සඳහා කිසිම වැඩ පිළිවෙළක් නෑ.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ (ශ්‍රීලපොපෙ)

අර්බුදයෙන් ගොඩඑන්න අපි ඔක්කොම එකතු වී තීන්දුවක් ගත යුතුයි. යැපුම් ආර්ථිකයෙන් මිදීමට, පාඩු ලබන රාජ්‍ය ආයතන තීන්දු ගත යුතුයි. විදුලි බලමණ්ඩලය, ජල සම්පාදන මණ්ඩලය ආදී රාජ්‍ය ආයතන 5 ක් රුපියල් බිලියන 300 ක් පාඩු ලබනවා. මේ ගැන අවධානය යොමුකළ යුතුයි. 225 ම ඊට වගකිව යුතුයි.

රාජ්‍ය ආදායම් සඳහා වෙනම ඇමැතිවරයෙක් පත් කරන්න මම යෝජනා කළා. අපි ආදායම හරියට කළමනාකරණය කරගත්තානම් මූල්‍ය අරමුදලට යන්න අවශ්‍ය නැහැ. අපනයනවලින් නිසි බදු ලැබී නැහැ. රාජ්‍ය බදු ලබාගැනීම අවශ්‍යයි. ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නැහැ කියලා බදු එකතුවීම් අඩපණ වෙලා. උපාධිධාරීන්ගේ 5000 ක් ඊට යොදවලා පරීක්‍ෂණ කරන්න.

වී මෝල් හිමියෝ බිලියන 50 ක් එක කන්නයකට ලාභ ලබනවා. අවුරුද්දටම බදු ගෙවන්නේ රුපියල් ලක්‍ෂ 9 යි.

මත්පැන් බලපත්‍ර තිබී නෑ. දවසක ලාභය රුපියල් 75000 යි. ඔහු බදු ගෙවන්නේ අවුරුද්දකට ලක්‍ෂ 3 යි. වහාම ආදායම් බදු ගැන අවධානය යොමු කරන්න. දුප්පත් මිනිස්සු තලන්න එපා බදු ලිපිගොනු හරියට කළමනාකරණය කරනවා නම් අවශ්‍ය මුදල් උපයාගත හැකියි. රේගුව ආදායම් දෙපාර්තමේන්තුව සුරාබදු දෙපාර්තමේන්තුව හරියට කළමනාකරණය කරගත්තනන් මුදල් රටටම ඇති.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක (සජබ)

මා යටතේ තිබූ සියලු රාජ්‍ය ආයතන ලාභ ලබන ආයතන බවට පත්කළා. විදුලිබල මණ්ඩලයත් ලාබ ලැබුවා.

රාජ්‍ය ආයතන සියල්ල කළමනාකරණය කළ යුතුයි. එසේ කළානම් ආයතන සීමා කළ හැකියි. එක වැඩකට එක ආයතනක් හරියට ඇති කළානම් ප්‍රමාණවත්. ආයතන ඇගයීමේ ක්‍රියාවලියක් අත්‍යවශ්‍යයි. නිලධාරීන්ගේ වැඩ විගණනයක් කර අත්‍යවශ්‍ය සේවා නොකරන අයට විදේශගත වීමට ඉඩදිය යුතුයි. එසේ නොවුණොත් කාර්යක්‍ෂම පිරිස් විදේශගත වීමෙන් රාජ්‍ය ආයතන කඩා වැටිය හැකියි.

රාජ්‍ය බැංකුවල බොල් ණය රුපියල් බිලියන 500 ට වැඩියි. දේශපාලනයත් ඊට හවුල්. මේ නිසා ඒ ආයතන අර්බුදයට ගිහින්. ඒ නිසා වහාම නිසි පරීක්‍ෂණයක් කර යම් පියවරක් ගත යුතුයි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ (ශ්‍රීලපොප)

ආනයන සීමා නිසා සමහර කර්මාන්ත වලට අමුද්‍රව්‍ය

ගෙන්වීම ගැටලුවක් වෙලා. ආර්ථිකය හකුලුවන්න ගිහින් ආර්ථිය තවත් කඩා වැටීමක් කර තිබෙන්නේ. මේ අර්බුදය අපි ආණ්ඩුව තුළ සිට පෙන්වද්දී කවුරුවත් ඊට සහාය දැක්වූයේ නැහැ. පෙර දැක්මක් ඔවුන්ට තිබුණේ නැහැ. අපේ ණය වලින් සියයට 80 ක්ම අරගෙන තියෙන්නේ පසුගිය කාලයේයි. වාණිජ ණය විශාල පොළියෙන් අරගෙන තියෙන්නේ. ඒවා එකවර ගෙවන්න වුණාම ණය බර විශාල ලෙස වැඩිවෙනවා. ආර්ථික ඝාතකයා ජනාධිපති ලේකම් ලෙස දැනගන්න.

මේක පෙර දකින්න තිබූ අර්බුදයක්. තවම අපි ඉන්නේ අර්බුදයේ මුල. මොන විදිහේ තත්ත්වයකට මුහුණ පාන්න වෙයිද දන්නේ නැහැ.

ඊට මුහුණදීමට අපි සියලු දෙනා එක්විය යුතුමයි. එය කරන්නටත් තවම බැරිවෙලා. අත්‍යවශ්‍ය සේවා විදේශ ආයතනවලට දුන්නම රටේ ඩොලර් සියල්ල එළියට යනවා.

බැරෑරුම් තත්ත්වයට ගන්න පියවර මේ අතුරු අයවැයෙහි පේන්නෙ නැහැ.

අලුතෙන් ආයතන පිහිටුවන්නත් යෝජනා කරලා ඒවාට මිලියන සියගණන් වෙන් කරලා. අර්බුදයට උත්තර සෙවීම ව්‍යාපාරයක් කරගෙන. රාජ්‍ය බර අඩුකරගන්න තියා තවත් අලුත් ආයතන පිහිටුවලා වැය වැඩි කරලා.

පීඩාවට පත්වූ මිනිස්සු කොච්චර ලංකාවේ ඉන්නවාද? සෘජු බදු පැනවිය යුතුව තිබියදී වක්‍ර බදු පනවලා ජනතාව පහලටම වට්ටලා. සම්ප්‍රදායක පිළිතුරු පමණයි අරගෙන තියෙන්නේ.

පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි (සජබ)

එදා බැසිල් රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කළ අයවැයට සම්පූර්ණ විරුද්ධ අයවැයක් මෙවර ඉදිරිපත් කර තිබෙන්නේ. ආණ්ඩුවට ප්‍රතිපත්තියක් නැතිබව එයින්ම පේනවා.

භාණ්ඩ වර්ග 300 ක් තහනම් කරලා. එහෙනම් පිටරට ඉන්න අයට බදු රහිත භාණ්ඩ ගන්න දෙනවාද? වහාම කියන්න. විදේශ මුදලින් තෙල් ගන්න ඉන්ධනහල් දෙකක් දිස්ත්‍රික්කවල ඇති කරන්න එවිට ඩොලර් උපයා ගන්න පුළුවන්.

අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන (ශ්‍රීලපොපෙ)

අසරණව සිටින ජනතාවට රුපියල් දසදහසක දීමනාවක් ලබාගන්නත් සමෘද්ධි දීමනාව වැඩි කිරීමට පියවර ගැනීමත් ඉතා හොඳයි. ආහාර නිෂ්පාදනය වැඩිකිරීමට කඩිනම් භෝග වගා ක්‍රමයකට යායුතුමයි. පොහොර ටික සහනාධාර ලෙස ලබාදීමට තීරණය කිරීමත් හොඳ පියවරක්.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ. සී. අලවතුවල (සජබ)

ආර්ථික අර්බුදයට වගකිවයුත්තන් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග මොනවාද හැම පවුල් ඒකකයකටම අද අර්බුද බලපා තිබෙනවා. ජනතාව එක වේලක් පමණක් කන විශාල පිරිසක් ඉන්නවා.

හිටපු ජනාධිපතිවරයා තමන්ගේ සහෝදරයන් සියල්ල ඇමැති මණ්ඩලයට දාගත්තා. ඔවුන් තීරණ ගත්තෙ. මේ ආර්ථික අර්බුදයට සියල්ල වගකිව යුතුයි. දූෂණ චෝදනා තියෙන පී. බී. ජයසුන්දර, කබ්රාල් ඇතුළු පිරිස තනතුරුවලට දාගත්තා. වැරදි තීන්දු තීරණ ගන්න ඒ පිරිස අද ජනපති සමගත් ඉන්නවා. රුපියල් සීයට තිබූ භාණ්ඩයක් 500 වෙලා. මාසික වැටුප සතියකටත් මදි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සරත් වීරසේකර

විදේශ මුදල් අද හිඟ වෙලා තියෙන්නේ. විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ අඩුවීමයි. තවමත් උන්ඩියල් ඇතුළු විකල්ප ක්‍රම මගින් ඩොලර් එවනවා. දැන්වත් නියම ක්‍රම මගින් ඩොලර් එවනවා. දැන්වත් නියම ක්‍රම මගින් ඩොලර් එවන්න පියවර ගත යුතුයි.

සින්නක්කර ඔප්පු ලබාදීමේදී ගොවීන්ට ඇතිවන ප්‍රශ්න

ගැන සලකා බලන්න. සින්නක්කර ඔප්පු ලැබුණොත් ඔවුන්ට ලැබෙන සහන අහිමි වෙනවා. එවිට ගොවියා ඉඩම් විකුණන්න පෙළඹෙනවා.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් (සජබ)

පසුගිය කාලයේ ඩොලර් බිලියන 3 ක් අපි ණය අරගෙන කාලා බීලා විනාශ කරලා. සුරංගනා ලෝක වලින් තොරව අයවැයක් ඉදිරිපත් වුනානම් හොඳයි.

පෞද්ගලික අධ්‍යාපනය අද හොඳයි කියන ආණ්ඩුව එදා සයිටම් එක හදද්දී ඊට විරුද්ධව ක්‍රියා කළා. බෙහෙත් ගේන්න සල්ලි නැතිව ඉද්දී පාරවල් කාපට් කළා. අද ජනතාවට රොටියක් කන්න විදිහක් නැහැ. අපි එදා කියපුවා ආණ්ඩුව ඇහුවෙ නැහැ. ආර්ථිකය විනාශ කරපු අයට කිසිම දඬුවමක් නැහැ. වහාම ජනතාව විඳින දුක වෙනුවෙන් වගකිවයුත්තන්ට එරෙහිව පියවර ගත යුතුයි. ජනපති රනිල් වික්‍රමසිංහ ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරාවි කියා විශ්වාස කරනවා.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර (ශ්‍රීලපොපෙ)

මේ අයවැය මගින් 2022 අයවැය දැඩි ලෙස විවේචනය කර තිබෙනවා. ආර්ථිකය කඩා වැටී තිබියදී ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව භාර ගත්තේ. වැරදි ආර්ථික උපදේශකයන් නිසයි එය තවත් පහළට වැටුණේ. එදා සමහර තීන්දු තීරණ ගැන අපට විවේචනයක් තියෙනවා. රටේ මූල්‍ය ප්‍රතිපත්තිය වැරදි ලෙස හැසිරෙව්වා. එදා වෙලාවට මූල්‍ය අරමුදල හමුවට ගියේ නැහැ. වැරදි කෘෂි ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළා.

පත්කළ මන්ත්‍රී මයන්ත දිසානායක (සජබ)

අපි අවුරුදු ගාණක් රටට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙනවා. ඊට පොහොට්ටුවේ මන්ත්‍රීවරු අද එකඟ වෙලා තියෙනවා.

වසර පහෙන් නොව ප්‍රතිපත්ති වෙනස් කරනවා නම් රට කවදාවත් ගොඩනගන්න බැහැ. දැන්වත් කෙටි කාලයකට හරි සියලුදෙනා එක්ව එක ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනවා නම් රට ගොඩනගන්න පුළුවන්.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අනුප පැස්කුවල් (ශ්‍රීලපොපෙ)

රටේ බදු ගෙවීම් හරියට සිදු නොවන බවට තහවුරු වී තියෙනවා. නිසියාකාරව බදු දාලා සකස් කර ගත්තොත් අපට විශාල මුදලක් උපයා ගත හැකියි. රටේ ආර්ථිකය ගැන පැහැදිලි අවධානයක් දැන්වත් යොමු කර නිවැරදි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි.

පවුල් 61000කට මාසික දීමනාව දීමේදී නිවැරදිම පවුල් තෝරා ගැනීමට ක්‍රියා කළ යුතුයි. එසේ නොවුණොත් සුදුස්සන් සිටියදී නුසුදුස්සන් දීමනාව ලබා ගනීවි.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජී. රත්නසේකර (ශ්‍රී ලපොපෙ)

කොවිඩ් ව්‍යසනය හමුවේ දැවැන්ත කාර්යයක් කළත් ඉන්පසුව යහපත් දෙයක් සිදුවුණේ නැහැ. හැටනව ලක්ෂයයේ ජනවරමේ පාවාදීමක් වූවා යැයි මම විශ්වාස කරනවා. රුපියල් බිලියන 3844ක් ණය ගන්න වෙනවා කියලා අයවැයේම කියනවා. එදා සියයට 8ක් වූ වැට් බද්ද සියයට 15ක් කරලා ජනතාවට දරාගන්න බැරි බරක් පැටවේවි.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී කාවින්ද ජයවර්ධන (සජබ)

ආර්ථික අර්බුදය තවම හඳුනාගෙන නැති බව අයවැයෙන් පේනවා. රටේ ප්‍රශ්නවලට මොනවාද අවධාරණය කර තිබෙන්නේ.

රටේ භූමිතෙල් හිඟයක් තියෙනවා. ඒ නිසා ධීවර කර්මාන්තයට දැවැන්ත පහරක් එල්ල වෙලා. ධීවරයෝ උද්ඝෝෂණය කළත් ආණ්ඩුවට කිසිම විකල්පයක් නැහැ.

කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී තාරක බාලසූරිය (ශ්‍රීලපොපෙ)

මේ අයවැය අපට සතුටු විය හැකි අයවැයක්. අසීරුම කාලයක් වුවත් දුප්පත් අයට සහනයක් දෙන්න හැකි වෙනවා. දීර්ඝ කාලීන වැඩපිළිවෙළකට අඩිතාලම දාන්න මේ අයවැය යෝජනා කර තිබෙනවා.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර

මේ අයවැයේ ලොකු විජ්ජා පාන්න බැහැ. ජනපතිවරයාගේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට යන්න සිදු වෙලා. ඉතිහාසය බලන විට ජනතාව ඡන්දය දෙන්න කලින් විවිධ දේවල් ඉල්ලුවා. දේශපාලකයන් ඒවා දුන්නා. ඒ නිසා අපේම ආර්ථිකය අපිම විනාශ කර ගත්තා.

දහසය වතාවක් මුල්‍ය අරමුදලට ගියා. ආර්ථිකය උත්සන්න වූ විට කොන්දේසිවලට එකඟ වෙලා ණය ගන්නවා. පසුව ඒවා අමතක කරනවා. දැන්වත් අපි සියලු දෙනාම එක්ව ක්‍රියා කළ යුතුයි.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර (සජබ)

මේ ආර්ථික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න තිබුණේ 1999 දී. අද ජනාධිපතිට මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න සිදුව ඇත්තේ ඊට විරුද්ධ වූ අය සමග. එදා අත්සන් කළ ගිවිසුම්වල හරය දැක්කෙ නැහැ.

ගෝඨාභය වරද්ද ගත්තේ ගොවියාට ගහලා. ගොවීන්ට වන්දි ගෙවිය යුතු කොටසක් ඉන්නවා. රුපියල් කෝටි 410ක් ඊට ගෙවිය යුතුයි. රනිල් වික්‍රමසිංහට මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ හැකි වෙන එකක් නැහැ. ඒ ටීම් එක සජබය තුළ ඉන්නවා. තවමත් හොර වැඩපිළිවෙළ යනවා.

පාර්ලිමේන්තුව අද (01 දා) පෙරවරු 9.30ට යළි රැස්වීමට නියමිතය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන
 

advertistmentadvertistment
advertistmentadvertistment