ජනතාවගේ සාමකාමී උද්ඝෝෂණ හඹාගොස් පහරදීම ආණ්ඩුවේ පුරුද්දක් වෙලා

76

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක

ජනාධිපතිවරයාත් වර්තමාන ආණ්ඩුවත් ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් සිටින බවත් ජනතාවගේ සාමකාමී උද්ඝෝෂණයන් හඹාගෙන ගොස් පහර දී ප්‍රචණ්ඩකාරී තත්වයක් නිර්මාණය කිරීම රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව පුරුද්දක් බවට පත්කර ගෙන තිබෙන බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා පැවසීය. හෙතෙම මේ බව පැවසූවේ ඊයේ (09දා) ජාතික ජන බලවේගය පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීවේය.

ජනතාවට තම අයිතිවාසිකම් වෙනුවෙන් රැස්වීම් පවත්වන්න, උද්ඝෝෂණ ව්‍යාපාරවල යෙදෙන්න හැකියාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලද මූලික අයිතියක් ලෙස වගේම භාවිතය ඇතුලේ පසුගිය කාලය පුරාවටම මේ රටේ ජනතාවට තිබුණා. නමුත් කිසි ජනවරමක් නැති ජනතාවගේ කිසි බලයක් නැති, පාර්ලිමේන්තුවේ සිටින වංචනිකයන්, දූෂිතයින්, ත්‍රාඩයින් 133කගේ අනුහසින් ජනාධිපති ධුරයට පත්වූ රනිල් වික්‍රමසිංහ, එම ධූරය ආරක්ෂා කර ගැනීමටත් 133දෙනාගේ රැකවරණය වෙනුවෙනුත් පොදු ජනතාව වෙත මර්දනය දියත් කරමින් ඉන්නවා.

පසුගිය 26 වෙනිදා ජාතික ජන බලවේගයේ අපි පාරට බැස්සේ ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලලා. නියමිත පරිදි මැතිවරණ පවත්වනවා වෙනුවට මැතිවරණය කඩාකප්පල් කරන රනිල්ට විරුද්ධව අපි ඉතාමත් සාමකාමී අරගලයක යෙදුණා. විහාරමහාදේවී උද්‍යානයේ සිට පිටකොටුව දක්වා යෑමට සැලසුම් කර තිබුණා. මාර්ග බාධකවල සිටි පොලිස් නිලධාරීන්ට පැහැදිලි කළ සාමකාමීව පාරේ එක් තීරුවක් පාවිච්චි කරමින්, අපේ මතය ඉදිරිපත් කරන්න යන්න අවස්ථාව දෙන්න යැයි කියා. ඒක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. එය සාමකාමී උද්ඝෝෂණයක්, ඉතාමත් විනයානුකූල උද්ඝෝෂණයක්.

නමුත් පොලිසිය මඟ හරස්කොට එයට විවිධ කඳුළු ගෑස්, ජල ප්‍රහාර එල්ල කරමින් එය මර්දනය කිරීමට උත්සාහ කරමින් සිටියා. එහි අවසන් ප්‍රතිඵලය වුණේ නිමල් සොහොයුරා ඝාතනය වීම. ඒ වගේම තවත් සොයුරෙක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ඉන්නවා. රනිල් වික්‍රමසිංහ මිනිස් ඝාතනයන් සිදුකරමින් ඉන්නවා. අන්තර් විශ්විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය තමන්ගේ ඉල්ලීම් වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවන් සාමකාමී උද්ඝෝෂණවල නිරත වුණා. රනිල් වික්‍රමසිංහගේ මැර කණ්ඩායම් යොදවා පන්න පන්නා ඔවුන් දැඩි මර්දනයට ලක්කළා. අනතුරුව ඔවුන් කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුල් වුණාට පසුව විශ්වවිද්‍යාලයට පවා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා.

රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුව මගින් මැතිවරණය වළක්වන්න බැරිවුණා. අධිකරණය මගින් මැතිවරණය වළක්වන්න බැරිවුණා. අවසානයේ ඔහු මේ ඡන්දය වළක්වන්න කඩාකප්පල්කාරයෙක් ලෙස හැසිරෙනවා. රටේ ජනතාවගේ ජන මතයට ඉඩනොදී, ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයකට ඉඩ නොදී ඔහුගේ ඇත්ත තරම ජනතාව ඉදිරියේ හෙළිදරව් වන නිසා, ඒ වගේම මාලිමාවේ ජයග්‍රහණය, ඔහුගේ ප්‍රභූ පැලැන්තියේ බලය ගිලිහී යන නිසා, මේ ඡන්දය කඩාකප්පල් කළා. අධිකරණ තීන්දුව හමුවේ නැවත මැතිවරණයට දිනයක්, මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. නමුත් පාර්ලිමේන්තුවේදී, දොලවත්ත මන්ත්‍රීවරයා උපයෝගී කරගෙන එම අධිකරණ තීන්දුව බරපතළ ලෙස ප්‍රහාරයට ලක්කරනවා. ඔහු වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරනවා. වරප්‍රසාද ප්‍රශ්නයක් ලෙස වරප්‍රසාද කමිටුව පිළිගතහොත් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් පාර්ලිමේන්තුවට කැඳවිය යුතු වෙනවා. මේ තමන්ගේ අනීතික බලය උපයෝගී කර ගැනීම සඳහා අධිකරණ පද්ධතියට එල්ල කරන ලද ප්‍රහාරයක්.

විශේෂයෙන්ම අධිකරණය පාර්ලිමේන්තුවේ කටයුතුවලට මැදිහත්වෙලා නැහැ. පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද මුදල් විධායකය විසින් යටපත් කරගෙන සිටීම වැරදියි. ඒ නියෝගයේ තිබෙන්නේ, පාර්ලිමේන්තුව විසින් සම්මත කර ඇති මුදල් රඳවා ගැනීම වැරදියි යන්නයි. ඒ නියෝගයෙන් සිදුවෙන්නේ පාර්ලිමේන්තුවේ මූල්‍ය බලය ශක්තිමත් වීමක්. ඔවුන් අර්ථකථනය කිරීමට උත්සාහ ගෙන තිබෙන්නේ, පාර්ලිමේන්තුවට තිබෙන මූල්‍ය බලය ශක්තිමත් කරනවා වෙනුවට, විධායකයට පාර්ලිමේන්තුව යටපත් කිරීමයි. ශ්‍රේෂ්ඨාධිකරණය විසඳා දුන්නේ එයයි. එපමණක් නොවෙයි, තැපැල් ඡන්දයට දින ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඡන්ද දිනය ප්‍රකාශයට පත්කර තිබෙනවා. හැබැයි රට තුළ විශාල කුකුසක් තිබෙනවා. මේ ජනාධිපතිවරයා නව ඡන්ද දිනයත් වැළැක්වීම සඳහා කුමන වර්ගයේ හෝ කඩාකප්පල්කාරී ක්‍රියාවක් කළ හැකියැයි කියලා.

තමන්ගේ පළාත්පාලන ආයතන නියෝජිතයන් තෝරා පත්කර කර ගැනීම මේ රටේ ජනතාවගේ ප්‍රජාතනත්ත්‍රවාදී අයිතියක්. රනිල් වික්‍රමසිංහ ඒ අයිතිය ජනතාවට දෙන්නේ නැහැ. ඔහු කඩාකප්පකාරයෙක් ලෙස හැසිරෙනවා. ජනතාව විශාල ලෙස අසීරුතාවයන්ට ලක්වී තිබෙනවා. දරුවන්ට වහ දී තමනුත් ජීවිතය අහිමිකර ගන්න තත්වයට ඔවුන් පත්වෙලා තිබෙනවා. දරුවන් සමග ළිඳට පනින තත්වයට පත්වෙලා. මිනිසුන්ට කන්න නැති තත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ මිනිසුන්ගේ වරදක් නිසා නොවෙයි.

මේ පාලකයෝ මහජනයාගේ ධනය සොරකම් කරලා, කාබාසිනියා කිරීමේ ප්‍රතිවිපාකයි. ඒකට විරුද්ධව ජනතාව නැගී සිටිනවා. ඒකත් මර්දනය කරනවා. රනිල් වික්‍රමසිංහ උත්සාහ කරමින් තිබෙන්නේ, ඡන්ද කඩාකප්පල් කරලා, ජනතාවගේ සාධාරණ නැගිටීම් මර්දනය කරලා, තමන් වටා පැරදුණු කණ්ඩායමක් එකතු කරගෙන, ඒකාධිපති පාලනයකට අවතීර්ණ වෙන්නයි.

මේ රටේ මහජනයාගේ බලයත් සමග රනිල් වික්‍රමසිංහ අභිමුඛ වෙන්න අපි සූදානම්. විශේෂයෙන්ම අපි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන, සියලු සංවිධාන, පුරවැසියන්, එක්ක ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීම සඳහා අවශ්‍ය වෙන, පුළුල්තම බලවේගයක් නිර්මාණය කරනවා. වහාම මේ මර්දන ක්‍රියාමාර්ග නතර කළ යුතුයි. මේ එල්ල කරන කඳුළු ගෑස්

ගැන විශාල සැකයක් තිබෙනවා. නිමල් සහෝදරයා මිය යන්නේ, කඳුළු ගෑස් වැදිලා, පැයක් එකහමාරකට ආසන්න කාලයක් ඔහු ඉඳලා, වමනෙ දමා, ක්ලාන්තයක් ඇවිත්, අවසානයේ ඔහු මිය යනවා. එය මිනිස්සුන්ට යට වීමකින් හෝ ප්‍රහාරයකින් හෝ වාහනයකට යටවීමකින් නොවෙයි. මේ කඳුළු ගෑස්වල ප්‍රතික්‍රියාවක් හේතු කොටගෙන තමයි ඔහු මිය යන්නේ. මේ මරණය ඝාතනයක්.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආරක්ෂක නිලධාරී, ප්‍රියන්ත වන්නිනායක සොහොයුරා මිය යන්නේ වෙඩි උණ්ඩයකට හෝ හදිසි අනතුරකට නොවෙයි. කඳුළු ගෑස්වල ප්‍රහාරය හේතුකොටගෙන. මුහුණ සෝදාගෙන ටික වේලාවකින් ඔහු මිය යනවා. මේවා ඝාතන. මේ එල්ල කරන කඳුළු ගෑස් ගැන පවා විශාල සාධාරණ සැකයක් තිබෙනවා. මේ මර්දනකාරී ක්‍රියාමාර්ග පරාජයට පත් කළ යුතුයි. රසායනික අවි පාවිච්චි කරනවාදැයි සැකයක් තිබෙනවා. ලෝකයේ තහනම් කරන ලද විවිධ විෂ දුම්වර්ග මේ මර්දනය සඳහා පාවිචිචි කරනවාදැයි සැකයි. රනිල් වික්‍රමසිංහ ඉතාමත් මුග්ධ වියරු මනසකින් මේ රට පාලනය කරන්න උත්සාහ දරනවා. මේ අනතුර අපි කලින්ම හඳුනා ගෙන තිබෙනවා. මේ අනතුර පරාජයට පත් කිරීම සඳහා මේ රටේ සියලු පුරවැසියන්ට අපි ආරාධනා කරනවා.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment