ජනතාවගේ සිත් නිවාලන පුණ්‍ය භූමිය ක්‍ෂේම භූමියක්
කිරීම මාගේ පරමාර්ථයයි

148

අභිනව අටමස්ථානාධිපති, නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමි

මෙහි පැමිණෙන අයට සිත නිවා ගැනීමට උපකාර කිරීම මාගේ වගකීමයි
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ආරක්ෂා කිරීමේ කාර්යට සැමගේ සහය අවශ්‍යයි
සියලු සිද්ධීන් ස්වභාවධර්මයේ යම් රිද්මයකට සිදුවෙනවා 11 වැනි අටමස්ථානාධිපති අද දිනයත් 11.11 යි
පිරිස දකින විට අවුරුදු පනහකට පෙර ගුටි කෑමට බයේ පාඩම් කරපු හැටි මතක් වෙනවා
දුෂ්කර කාලයක යමක් කිරීමට උත්සාහ කිරීමට ලැබීම ගැන මා පෞද්ගලිකව සතුටු වෙනවා

තමන් වහන්සේ පැවරුණු මහා බෝධීන් වහන්සේ ආරක්ෂා කිරීමේ කාර්ය එලෙසින්ම ඉටු කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා සැමගේ සහය තමන් වහන්සේට ලබාදෙන ලෙසත් අනුරාධපුර අභිනව අටමස්ථානාධිපති හිටපු ස්වර්ණමාලී චෛත්‍යාරාමාධිකාරී නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියෝ ඊයේ (11 දා) පෙරවරුවේ සිය ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව අනුශාසනාවක් පවත්වමින් පැවැසූහ. බෝ මළුව විහාරස්ථානයේ සන්නිපාත ශාලාවේදී පැවති එම පුණ්‍යෝත්සවයේදී වඩිදුරටත් අදහස් දක්වූ උන්වහන්සේ මෙසේද කීහ.

අද නොවැම්බර් මාසෙ එකොළොස් වෙනිදා එකොළහයි එකොළහ. ඊට තවත් එකොළහක් එකතු කිරීම දෛවෝපගත අවස්ථාවක් යෙදී තිබෙනවා.මම මේ තනතුරේ වැඩ භාර ගන්නේ එකොළොස්වෙනි අටමස්ථානාධිපති ලෙස නිසා. එකොළහයි, එකොළහයි,එකොළහ. මේ සියලුම සිද්ධීන් ස්වභාව ධර්මයේ යම් රිද්මයකට අනුව බව මට දැනෙනවා.

ඒ වගේම මේ වෙලාවෙ මෙහි පැමිණ සිටින පිරිස දකින විට දැනට අවුරුදු පනහකට පමණ පෙර ගුටි කෑමට බයේ පාඩම් කරපු සිදුවීම් මතක් වෙනවා. ජීවිතයේ බොහෝ අසීරුම අවස්ථාවල මා සමග සිටි අය මෙහි සිටිනවා. සෑහෙන කලකට පසු යම් යම් තනතුරුවලට ආ පසු එම තනතුරුත් සමග සම්බන්ධවී තනතුරුවලින් ගියත් ඒ සම්බන්ධකම් තියා ගැනීමට කටයුතු කළා. ගමේ ඥාතීනුත් ඉන්නවා. හිතවතුනුත් ඉන්නවා. ඒ වගේම විවිධ තරාතිරම්වල අය ඉන්නවා. ඒ නිසා තමයි අපේ මේ ගමන ශක්තිමත් වුණේ.

ජනතාවගේ සිත් නිවාලන පුණ්‍ය භූමිය ක්‍ෂේම භූමියක්<br>කිරීම මාගේ පරමාර්ථයයි

ඒ වගේම මේ අවස්ථාවේදී තව එක කාරණයක් සිහිපත් කරන්නට ඕන. මා මේ තනතුරට පත් කළ පසු පසුගියදා මාධ්‍ය සකච්ජාවක් තිබුණා. ඒ වෙලාවේදී අපේ සාම්ප්‍රදායික මාධ්‍ය මිත්‍රයෝ මගෙන් ඇහුවා ඔබවහන්සේ අටමස්ථානාධිපති ධුරයේ වැඩ භාර ගැනීමේ උත්සවයේ කවුද ප්‍රධාන ආරාධිත අමුත්තො වශයෙන්

සහභාගීවන දේශපාලඥයන් සහ ප්‍රභූවරුන් කියලා. මම ඒ වෙලාවෙ කිව්වා මේ උත්සවයට දේශපාලඥයනුත් නෑ. ප්‍රභූවරුනුත් නෑ කියලා.

එසේ එන අයට කාරණා දෙකක් යටතේ එන්න පුළුවන්. එන කෙනෙකුට මගේ පෞද්ගලික මිත්‍රයෙක් හැටියට සහ හිතවතෙක් හැටියට එන්න පුළුවන් කියා මා කිව්වා. අනික් එක මෙහි පැමිණෙන සියලුදෙනාම දායකයෝ. සමහරු සමග දායක කමයි මිත්‍රකමයි දෙක තුනමත් තියෙනවා. ඒ නිසා ඒ කියපු ආකාරයටම මගේ අනුශාසනාව අනුව කටයුතු කිරීමට හැකියාව ලැබුණා.

ජනතාවගේ සිත් නිවාලන පුණ්‍ය භූමිය ක්‍ෂේම භූමියක්<br>කිරීම මාගේ පරමාර්ථයයි

මගේ අනුශාසනාව සහ පුණ්‍යානුමෝදනාවයි සියල්ලම එච්චරයි. ආයෙ වෙන කාටවත් මේ මයික් එක දෙන්නෙ නෑ. ඉල්ලන්නත් එපා.

මෙය දුෂ්කර ගමනක් සහ දුෂ්කර කාලයක්. එබඳු දුෂ්කර අවස්ථාවක යමක් කිරීමට පුලුවන්ද කියල උත්සාහ කිරීමට ලැබෙන එක ගැන මා පෞද්ගලිකව සතුටු වෙනවා. වරදින්නට පුලුවන්. නමුත් මම එහෙම ඒවට කැමතියි. නිකම්ම ගලාගෙන යන ප්‍රවාදයකට එකතු වෙලා නොදැනෙන්න ගලාගෙන යනවට වඩා පහළට ගසාගෙන ගියත් යම් තැනකින් මග හරස් කර උඩුගම් බලායෑමට මගේ කැමැත්තක් තියෙනව. ඒ නිසා මෙහි සිටින සියලු දෙනාගෙන්ම මට මේ කටයුත්ත නිවැරිදිව කරගෙන යෑමට සහාය අවශ්‍යයි. මෙම තනතුරින් අපට කිරීමට හැකියාව ලැබෙන්නෙ සහ කිරීමට ඕනෑ මහජනතාවගේ සිත් නිවා මේ පුණ්‍ය භූමිය ක්ෂේම භූමියක් සහ සැනසිලි භූමියක් බවට පත් කරන එක.

මෙහි පැමිණෙන බොහෝ දෙනා තුළ පෞද්ගලික අරමුණු තිබෙන්නට පුලුවන්. ඒත් ඔවුනට අවශ්‍ය වෙන්නෙ සිත නිවා ගැනීමට. ඒ සිත නිවා ගැනීමට පුලුවන් තරම් උපකාර කිරීම තමයි මගේ වගකීම.

ඒ වගේම හිටපු අටමස්ථානාධිපති සිරිනිවාස නාහිමියන් අපවත්වීමේ පටන් ගෙවුණු කාලය ඉතාම අසීරු කාලයක් වුණා. හබැයි මේ වෙලාවෙ ශිෂ්‍ය බාලාදිය ගැන මම විශේෂයක් කිරීමට බලාපොරොත්තු වෙන්නෙ නෑ. අපේ මහා කාර්යය මගෙන් පසු මේ තනතුරුවලට ඒමට සුදුසුකම් තියෙන සියලුදෙනාම එක මිටියට මට සහාය දුන්නා. ඊළඟට මේ පළාතෙ රාජකාරී කරන බොහෝම දෙනෙක් මගේ නායකත්වය පිළිගනිමින් මට සහාය දුන්නා. ඒ අනුව වැඩ කෙරුණා. ඒ නිසා අපට පුලුවන් වුණා අයලේ යන සමාජ ප්‍රවාහයට සුළුවෙන් හෝ අඩයක් තියන්න පුලුවන් මට්ටමට යම් දේවල් කිරීමට හැකියාව ලැබුණා. මේ යන ක්‍රමය නතරවී වෙනස් වෙන්න අවශ්‍ය කියන මතයේ මා ඉන්නවා. ඒක හරි මම එදත් ඒ දේ කිව්ව. අද මේ තනතුරේ ශක්තියත් එක්ක මා නැවත වරක් කියනවා. අපි මේ කොහෙද යන්නෙ කියල අපිම දන්නෙ නෑ.

ඒ නිසා ඔබේ සහාය නැතිව අටමස්ථානාධිපතියි කියල මා කිසි දෙයක් කරන්නෙ නෑ. ඒ නිසා තවදුරටත් ඔබේ සහාය උපකාරය සහ මගපෙන්වීම අපට අවශ්‍යයි.

මේ ජීවිතය බොහෝම කෙටියි කොයි මොහොතක මේවා දාල යන්න වෙයිද දන්නෙ නෑ. ඒ හැඟීමත් එක්ක මගේ දැක්මට අනුව මේ තනතුරේ කටයුතු කිරීමට හැකියාව තිබෙනතාක් කල් කටයුතු කිරීමට උත්සාහ ගන්නවා. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ආරක්ෂා කිරීම මට පැවරුණු කාර්යයක් ඒක ඒ විදිහටම ඉටු කිරීමට මා බලාපොරොත්තු වෙනවා. එයටත් ඔබේ සහාය අවශ්‍යයි.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment