ජනතාවට අණ්ඩුව එපා වෙන හේතුව ජනාධිපති කියා දෙයි

856

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

කවුරු බලයේ සිටියත් ආණ්ඩුව වෙනස් කරන ජනාධිපතිවරණයකදී සහ මහ මැතිවරණයකදී ජනතාව ඡන්දය පාවිච්චි කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පසුගිය 10 වැනිදා ආන්දෝලනාත්මක උපදෙසක් දුන්නේය. ලෝක විද්‍යා දිනයට සමගාමීව ශ‍්‍රී ලංකාවේ ජාතික විද්‍යා දිනය හා විද්‍යා සතිය සැමරීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ පැවති උත්සවයේදී කොවිඞ් ව්‍යසනයෙන් ඇතිවී තිබෙන තත්ත්වය සහ විපක්ෂයේ අතිශය වගකීම් විරහිත හැසිරීම සඳහන් කරමින් එතුමා අවධාරණය කළේ”මේ ක‍්‍රමය වෙනස් කරන්න ඕනෑ, ජනතාව. මම වුවත්, මගේ ආණ්ඩුවේ ඇමැතිවරු වුවත්, මන්ත‍්‍රීවරු වුවත්, ඔබ බලාපොරොත්තු වූ දේ ඉටු නොකළොත් පරණ කණ්ඩායමක් ගේන්න එපා. අලූත් අය හොයන්න.”

ඇත්ත වශයෙන්ම කිසිදු තලයක දේශපාලන ව්‍යුහයක් තුළ (පළාත් පාලන, පළාත් සභා හෝ පාර්ලිමේන්තුව) ක‍්‍රියාකර නොමැති යුද සමයේ (2005-2009) ආරක්ෂක ලේකම් සහ නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම් (2010-2015) ඉතාමත් සාර්ථක ලෙස ඉලක්ක සපුරා ගත් ගෝඨාභය රාජපක්ෂ 2019 ජනාධිපතිවරණය ඉහළින්ම ජයග‍්‍රහණය කළේ ජනතාව ඇත්ත වශයෙන්ම නව නායකත්වයක් බලාපොරොත්තු වූ නිසාය. හැටනව ලක්ෂයක් තම ඡන්දය වසර දෙකක් වයසැති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂකයා වෙනුවෙන් පාවිච්චි කළේ එතුමා අලූත් කෙනෙක් නිසාය. එතුමා එම පක්ෂයේ සාමාජිකයකු නොවීම ජනතාවට ප‍්‍රශ්නයක් වූයේ නැත. එතුමාගේ නායකත්වය නොවන්නට කොවිඞ් ව්‍යසනය ශ‍්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම ගිල ගනු ඇත. 2019 වෙනස නොවන්නට කොවිඞ් තත්ත්වය මීට වඩා භයානකවනු නිසැකය.

රාජපක්ෂ ජනාධිපතිවරයා ජනතාවට දුන් උපදෙස අතිශය කලහකාරී වර්තමාන දේශපාලන තත්ත්වය තුළ විමසා බැලිය යුතුය. ජාතික ආර්ථිකය මුහුණ දෙන බරපතල අභියෝග අමතක කරමින් දේශපාලන තත්ත්වය විග‍්‍රහ කළ නොහැක. සමාජ මාධ්‍ය ජාලා මෙහෙයුම් ඇතුළු ‘වොයිස් කට්’ දේශපාලනයෙන් ද වර්තමාන අභියෝග ජයගත නොහැක.

ආණ්ඩුව, විපක්ෂය සහ එම දෙපාර්ශ්වය මත යැපෙන අනෙකුත් කණ්ඩායම් (සිවිල් සමාජ ක‍්‍රියාකාරීන් ඇතුළුව) මාධ්‍ය සමඟ කරන ගනුදෙනුව පුදුමාකාර ය. ආණ්ඩුවේ සහ විපක්ෂයේ පිරිහීම විමසා බැලිය යුතු වන්නේ සමාජ මාධ්‍ය ජාලා සහ මාධ්‍ය මෙහෙයුම් හරහා ගොඩ යෑමට නොහැකි බව තවමත් තේරුම් නොගත් තත්ත්වයක් යටතේය. සමස්ත රාජ්‍ය අංශයේ ක‍්‍රියාත්මක දූෂිත ක‍්‍රමය සිතා මතා ඇති කළ එල්. පී. ගෑස් අර්බුදය හේතුවෙන් භූමිතෙල් පෝලිම් ඇතිවීම අවධාරණය කරන්නේ ආණ්ඩුව අසාර්ථක බව නොවේද? ඇත්තවශයෙන්ම සෑම අත්‍යවශ්‍ය භාණ්ඩයකටම පෝලිම් ඇතිවීම අවාසනාවන්ත තත්ත්වයක් නොවන්නේද?

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ බලයට ගෙන ඒමට ප‍්‍රබල කාර්යභාරයක් කළ එම පක්ෂයේ ගම්පහ දිස්ත‍්‍රික්ක නායක ප‍්‍රසන්න රණතුංග, ජනාධිපතිවරයා අරලියගහ මන්දිරයේ කළ අදහස් දැක්වීමට පෙර වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීය. ඒ ප‍්‍රංශයේ පැරිස් නුවරදී ය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මීට වසර දෙකකට පෙර බලයට පත්වන විට තිබූ ජනප‍්‍රසාදය අද නැති බව සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග පැරිස් නුවරදී ප‍්‍රකාශ කළේය. ඒ පොහොට්ටු පක්ෂයේ ප‍්‍රංශ ශාඛාවේ නියෝජිතයන්ගේ රැස්වීමකදීය. ආණ්ඩු පක්ෂයේ ගම්පහ දිස්ත‍්‍රික්කයේ නායකයා නොවැම්බර් මස 8 වැනි දින පැවති එම හමුවේදී කොවිඞ් ව්‍යසනය රට තුළ පවතින සියලූම ගැටලූවලට හේතුවී ඇති බවට අවධාරණය කළේය.

ජනප‍්‍රසාදය හීනවීම, නැතිවීම හෝ නැත්තටම නැතිවීම අඩු, වැඩි ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූම දේශපාලන පක්ෂවලට බලපායි. රජයට පහර දීමට කොවිඞ් ව්‍යසනය දඩමීමා කරගැනීම සාධාරණ නැත.

ඇත්ත වශයෙන්ම පොහොට්ටු පක්ෂය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ කොවිඞ් ව්‍යසනයට සාර්ථකව මුහුණ දුන් බව පිළිනොගන්නේ දේශපාලන කුහකයන් පමණි. ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් ආරක්ෂක හමුදා සහ පොලිසිය සමස්ත කොවිඞ් මර්දන කටයුත්තට අනුයුක්ත කිරීම නිසා එම ක‍්‍රියාවලිය වඩාත් වේගවත්ව සහ කාර්යක්ෂමව කිරීමට හැකි විය. එවැනි තත්ත්වයක් යටතේ පොහොට්ටු පක්ෂයට තිබූ ජනප‍්‍රසාදය හීන වූයේ ඇයි දැයි විමසා බැලීම ආණ්ඩුව නියෝජනය කරන ප‍්‍රධාන පක්ෂය සහ සෙසු සුළු පක්ෂවල වගකීමකි.

අවසන් පාර්ලිමේන්තුවේ (2015-2019) මන්ත‍්‍රීවරුන් 106 සිටි එජාපය 2019 මහමැතිවරණයේදී එක ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරයකට වැටීම ජනප‍්‍රසාදය නැත්තටම නැතිවීමට දිය හැකි උදාහරණයකි. ශ‍්‍රීලනිපය සම්බන්ධයෙන් කීමට ඇත්තේද එයමය. වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ‍්‍රීලනිප මන්ත‍්‍රී කණ්ඩායමේ 14 දෙනාගෙන් එම පක්ෂයේ නායක මෛත‍්‍රිපාල සිරිසේන ඇතුළු 13 දෙනෙකුම පොහොට්ටුව හරහා පාර්ලිමේන්තුවට පත්විය. ශ‍්‍රීලනිපයෙන් තරග කර මැතිසබයට පත්වී ඇත්තේ එක මන්ත‍්‍රීවරයෙකි. ඒ යාපනයෙනි.

ප‍්‍රසන්න රණතුංග අමාත්‍යවරයා පවසන පරිදි කොවිඞ් වසංගතය ශ‍්‍රී ලංකා ආර්ථිකයට අදහා ගත නොහැකි විනාශයක් කළ බව සත්‍යයකි. නමුත් කොවිඞ් වසංගතය හෝ ඊට කිසිදු සම්බන්ධයක් නොමැති කරුණු කාරණා හේතුවෙන් වර්ධනය වෙමින් පවතින ව්‍යාකූලත්වය පොහොට්ටු රජයට අභියෝගයක් නොවන්නේද? කොවිඞ් ව්‍යසනයෙන් සියල්ල යටපත් කළ හැකිද? සැඟවිය හැකිද? සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්ෂය, සිවිල් සමාජය නියෝජනය කරන යම් සංවිධාන සහ විදේශීය බලවේග කොවිඞ් ව්‍යසනය රජයට එරෙහි දේශපාලන ප‍්‍රහාරය තීව‍්‍ර කිරීමට යොදාගෙන ඇත. පොහොට්ටු පක්ෂය විපක්ෂයේ සිටියත් කරන්නේ එයමය. ඕනෑම ව්‍යසනයක් දේශපාලන උපක‍්‍රමයක් ලෙස යොදාගැනීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු පක්ෂයක් පසුබට නොවේ.

එදා යහපාලන රජය නියෝජනය කළ බලවේග වර්තමානයේ ක‍්‍රියාත්මක වී ඇති ආකාරය ද රණතුංග අමාත්‍යවරයා ප‍්‍රංශයේ වෙසෙන පොහොට්ටු ක‍්‍රියාකාරීන්ට අවධාරණය කළේය. නමුත් රට තුළ පවතින සියලූම ගැටලූ කොවිඞ් ව්‍යසනය මත පැටවිය හැකිද?

අර්බුද ජයගැනීමට පොහොට්ටු පක්ෂය නායකත්වය දෙන ආණ්ඩුවට ඉදිරි වසර තුනේදී හැකි බවට රණතුංග අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය. පොහොට්ටු පක්ෂය සමඟ ගැටුමකට මැදිවී සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක කර්මාන්ත ඇමැති විමල් වීරවංශ ද වර්තමාන අර්බුද නිරාකරණය කර ගනිමින් ඉදිරි වසර තුන තුළ අභියෝග ජයගැනීමට හැකි බවට විශ්වාශය පළ කර ඇත. නමුත් යථාර්ථය එයද? භූමියේ තත්ත්වය යහපත් නැත.

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට ආසන්න බලයක් හිමි ආණ්ඩුව මුහුණ දෙන ගැටලූ මොනවාද? කොවිඞ් ව්‍යසනය හේතුවෙන් ඇතිවූ අර්බුදයට අමතරව රජය මුහුණ දෙන අභියෝග තිබේද? දේශපාලන අස්ථාවරත්වය පාර්ලිමේන්තුව තුළ සහ පිටත වර්ධනය වෙමින් පවතිනවාද? දූෂණය, නාස්තිය සහ අක‍්‍රමිකතා ස්ථාවරත්වයට අභියෝගයක්ද? ජනතාවට බලපාන තීන්දු තීරණ සම්බන්ධයෙන් අවම වශයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම අතරේවත් නිසියාකාර සාකච්ඡාවක් නොවීම අවාසනාවන්ත තත්ත්වයක් නොවන්නේද? ඊට දිය හැකි ආසන්නතම නිදසුන මුතුරාජවෙල ප‍්‍රදේශය පවරා ගැනීමට මෑතකදී නිකුත් කළ ආන්දෝලනාත්මක ගැසට්ටුවයි. ආණ්ඩු පක්ෂය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරුන් වන වෛද්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ සහ නිමල් ලන්සා පාර්ලිමේන්තුව තුළම ඊට විරුද්ධ වීම ආණ්ඩුවට තිබෙන ජනප‍්‍රසාදයත් නැතිකර ගැනීමක් බව අවධාරණය කළ යුතුය.

යුගදනවි බලාගාරය සහ යෝජිත එල්.එන්.ජී ගෑස් සැපයුම සම්බන්ධ ඇමෙරිකානු නිව් ෆෝට‍්‍රස් එන්ර්ජි සමාගම සමග ඇතිකර ගත් ගිවිසුම සම්මත කැබිනට් පටිපාටියට පිටින් සම්මත කරගත් බවට කැබිනට් අමාත්‍යවරු තිදෙනෙක් කළ චෝදනාවේ උණුසුම අඩුවීමට පෙර ගම්පහ දිස්ත‍්‍රික්කයට අයිති මුතුරාජවෙල ප‍්‍රදේශය අත්පත් කර ගැනීමට අවම වශයෙන් එම ප‍්‍රදේශය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන්ගෙන් විමසීමක් නොකර ගැසට්ටුවක් නිකුත් කිරීම අදහා ගත නොහැක. ඉතිරි වී ඇති ජනප‍්‍රසාදය තවදුරටත් හීනවීම පුදුමයක් නොවන්නේද?

ඉදිරිපෙළ සටන් බලඇණියක් වූ ගජබා රෙජිමේන්තුවේ කීර්තිමත් නිලධාරියකු වූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ 2019 ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කළේ ඡන්ද මිලියන 6.9 ලබාගනිමිනි. පොහොට්ටුව ලාංඡනය යටතේ 2020 මහමැතිවරණයට ඉදිරිපත් වූ දේශපාලන පක්ෂවලට ආසන 145 ලැබිණි. එයින් ආසන 117ක්ම පොහොට්ටු පක්ෂයට හිමිය. පාර්ලිමේන්තුව තුළ ආණ්ඩු පක්ෂයට හිමි බලය නිවැරදි චිත‍්‍රයක් පෙන්නුම් කරන්නේ නැත. ඇමෙරිකානු ‘නිව් ෆොර්ට‍්‍රස් එනර්ජි’ සමාගම සමඟ ඇතිකරගත් යුගදනවි ගිවිසුම ආණ්ඩුව බරපතල අර්බුදයකට ලක්කර ඇත. පොහොට්ටු පක්ෂයේ සභාපති සහ විදේශ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් කැබිනට් අමාත්‍යවරුන් වන වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ සහ නීතිඥ උදය ගම්මන්පිල නායකත්වය දෙන කණ්ඩායමට ප‍්‍රසිද්ධ අනතුරු ඇඟවීමක් කළේය. ”ගෙදර ගිනි පිටට ගෙනියන්න එපා. පිට ගිනි ගෙදරට ගේන්න එපා. ආණ්ඩුව ඇතුලේ තව ආණ්ඩු තියෙන්න බැහැ. විරුද්ධ පක්ෂයක් තිබෙන්නත් බැහැ.”

වීරවංශ අමාත්‍යවරයා මීට පෙර අවධාරණය කළේ යම් ප‍්‍රශ්නයක් ජනතාව ඉදිරියට ගෙන යෑමට සිදුවන්නේ ආණ්ඩුව තුළ අභ්‍යන්තර කේවල් කිරීමක් තුළින් අදාළ ගැටලූව නිරාකරණය කර ගැනීමට නොහැකි වූ විට බවයි. එතුමා පවසන්නේ යුගදනවි අර්බුදය එවැනි සිද්ධියක් බවයි. නමුත් ආණ්ඩුව තුළ ක‍්‍රියාත්මක විපක්ෂය තම කාර්යභාරය නැතහොත් වගකීම ඉටු නොකරන අවස්ථා ද ඇත. තවමත් ජනතාව පීඩාවට පත්කරන එල් පී ගෑස් අර්බුදය පසුපස ‘කතාව’ යුගදනවි කතාව මෙන්ම ආන්දෝලනාත්මකය. පුදුමාකාරය.

සමස්ත පාර්ලිමේන්තු ක‍්‍රමයම අභියෝගයට සහ රජය අපකීර්තියට ලක් කරන හෙළිදරව්වක් මෑතකදී ලිට්රෝ ගෑස් සහ ලිට්රෝ ටර්මිනල්ස් සභාපති සහ ප‍්‍රධාන විධායක තේෂර ජයසිංහ කළේය. ඒ නොවැම්බර් 5 දින අදාළ ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදීය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කළ පසුව එම තනතුරට පත්වූ දෙවැනියා තේෂර ජයසිංහ ය. ඔහු වියත්මග සාමාජිකයෙකි. පොහොට්ටු පක්ෂය එම තනතුරට පළමුවෙන්ම පත් කළේ ව්‍යාපාරිකයකු වන අනිල් කොස්වත්ත. තේෂර ජයසිංහ එම පත්වීම ලබන්නේ පසුගිය ජුලි මාසයේදීය.

මාධ්‍ය හමුවේදී තේෂර ජයසිංහ චෝදනා ගොන්නක් කළේය. අනිල් කොස්වත්ත අදාළ චෝදනා සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන්නැයි මුදල් ලේකම් එස්. ආර්. ආටිගල ගෙන් ඉල්ලා සිටියේය. එම චෝදනා නැවත සඳහන් කිරීම අවශ්‍ය නැත. නමුත් ලිට්රෝ ප‍්‍රධානියා අපූරු ප‍්‍රකාශයක් කළේය.

ජනාධිපතිවරයාට ගෑස් සම්බන්ධයෙන් ඇතිවී තිබෙන තත්ත්වය පැහැදිලි කිරීමෙන් පසුව ලිට්රෝ ප‍්‍රධානියා මෙලෙස පැවසීය. ”පක්ෂය අදාළ නැහැ. ඒවගේම ආණ්ඩුව අදාළ නැහැ. හොරු කියන්නේ එක කණ්ඩායමක්. හොරුත් එක්ක සියලූ දෙනාම ඉන්නවා. ඒක නිසා මේ හොරු රාජ්‍ය ආයතනයක වැඩ කරන කිසිම මිනිහෙකුට අවස්ථාවක් දෙන්නේ නැහැ.”

මෙම ප‍්‍රකාශය අවධාරණය කරන්නේ ඉහ වහා ගිය දූෂණය නොවන්නේද? නව ලිට්රෝ ප‍්‍රධානියා පමණක් නොව ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ක‍්‍රියාත්මක කැබිනට් මණ්ඩලය අවධානය යොමු කළ යුතු ප‍්‍රධාන කාරණාව වසර දෙකකට ආසන්න කාලයක් ලිට්රෝ රාජ්‍ය ගිණුම් ක‍්‍රියාවලිය මගහැර ගියේ කෙලෙසද? නව සභාපතිවරයා පත්වී ද මාස කිහිපයක් යනතුරු රාජ්‍ය විගණනයට ලිට්රෝ බඳුන් වූයේ නැත. පාර්ලිමේන්තුව රාජ්‍ය මුදල් සම්බන්ධයෙන් පූර්ණ වගකීම දරන රටක මෙලෙස විය හැකිද? හිටපු කථානායක කරු ජයසූරිය යහපාලන සමයේදී මහත් ආඩම්බරයෙන් ප‍්‍රකාශ කළේ ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව ලෝකයේ හොඳම පාර්ලිමේන්තු කිහිපය අතර තිබෙන බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment