ජනතාවට කොරෝනාවලට කලින් ආණ්ඩුවෙන් ආරක්‍ෂා වෙන්න වෙලා – විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස කියයි

279

කොරෝනාවලින් ආරක්ෂා වනවාට වඩා වත්මන් ආණ්ඩුවෙන් ආරක්ෂා වන්නේ කෙසේ දැයි කියා කල්පනා කිරීමට ජනතාවට සිදුව ඇති තරමටම ආණ්ඩුවේ ක‍්‍රියා පිළිවෙත අමානුෂික වී ඇතැයි විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඊයේ (11 දා) දින විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

 එහි වැඩිදුරටත් මෙසේ ද සඳහන් කර ඇත.

 මේ වන විට කිසිදු පාලනයකින් තොරව භාණ්ඩ මිල ඉහළ ගොස් තිබේ. කොරෝනා පාලනය මෙන්ම බඩු මිල පාලනය ද ආණ්ඩුව අතින් ගිලිහී ගොස් ඇති අතර ජනතාවගේ ගෙල මිරිකන කොල්ලකාරී ස්වරූපයකට තත්ත්වය වර්ධනය වී තිබේ.

 සහල්, තිරිඟුපිටි, සීනි, කිරි, කෝපි, සෝයා බෝංචි හා මස් වර්ගවල මිල සියයට දහසයක සිට තිස් දෙක දක්වා ප‍්‍රමාණයකින් තොග මිල ගණන් ඉහළ ගොස් ඇති අතර ධාන්‍ය හා පලතුරු ඇසුරෙන් නිපදවන අතුරු නිෂ්පාදනවල මිල ඊටත් වඩා ඉහළ ගොස් ඇත. කිරිපිටි, බටර්, සෝයා, තෙල් සහ විවිධ ආහාර ද්‍රව්‍ය එවැනි නිෂ්පාදන අතර වෙයි.

 බරපතළ වෙළෙඳ මාෆියාවක් ක‍්‍රියාත්මක වන අතරේ ඊට ඉඩ දෙමින් ආණ්ඩුව හොරගල් අහුලමින් සිටී. බඩු මිල පාලනය කිරීම සම්බන්ධයෙන් නිකුත් කරනු ලැබූ ඊනියා ගැසට් නිවේදන සහ චක‍්‍රලේඛ සියල්ල අමු අමුවේ උල්ලංඝනය වී ඇති අතර, ඒ සියල්ල පරයමින් මාෆියාව හිස ඔසවා ඇත. ආණ්ඩුවට ඊට මුහුණ දීමේ කිසිදු හැකියාවක් ඇත්තේ නැති බව මනාව ඔප්පු වී තිබේ.

 ආණ්ඩුව සහල් මාෆියාවට මුහුණ දෙන බවට පුරසාරම් දෙඩූ නමුත් එය සහමුලින්ම අසාර්ථක කටයුත්තක් වී තිබේ. අද වෙන විට සහල් මිල හිතූ මනාපයට ඉහළ යමින් තිබේ.

 ගජ මිතුරන්ට අධික ලෙස බදු සහන ලබාදෙමින් ගෙන්වනු ලැබූ සීනිවල මිල ද අද වන විට අධික ලෙස ඉහළ ගොස් තිබේ. සීනි වංචාව හරහා සිදු වූ පාඩුව සුළුපටු නොවේ. පොල්තෙල් වංචාව මෙන්ම විෂ පොල්තෙල් ආනයනය මගින් ද සිදු වූ විනාශය අතිමහත් ය. අද වන විට පොල්තෙල් මිල ද ඉහළ ගොස් ඇත.

 පෝෂණ ද්‍රව්‍යවල විශාල හිඟකමත් වෙළෙඳපොළේ දක්නට ලැබෙන අතර විශේෂයෙන්ම කුඩා දරුවන්, ගැබිනි මව්වරු මේ තුළින් බරපතළ පෝෂණ ඌනතාවයකට මුහුණ දී සිටිති. එදා වේල හෝ පිරිමසා ගන්නට මාර්ගයක් නොමැතිව අන්ත අසරණව සිටින ජනතාවට මේ අධික භාණ්ඩ සහ ආහාර මිල ඉහළයාම කිසිසේත් දරාගත නොහැකි තත්ත්වයක් වන නමුත්, ආණ්ඩුවට ඒ පිළිබඳව කිසිදු තැකීමක් නැත.

 ආණ්ඩුවේ ජීවන වියදම් කමිටුව හිස් පුස්සක් බවට පත්ව ඇති අතර එයින් ගනු ලබන කිසිදු ජනතාවාදී තීන්දුවක් මහපොළොවේ ක‍්‍රියාත්මක වෙන තත්ත්වයක් දක්නට නැත. කෙසේ වෙතත් ආණ්ඩුව මේ මොහොතේ සිදු කරමින් සිටින්නේ පවත්නා තත්ත්වය අවබෝධ කර නොගෙන අනවශ්‍ය මහා පරිමාණ ව්‍යාපෘති සඳහා අවධානය යොමු කිරීමය. නගර අලංකරණය, අධිවේගී මාර්ග ඉදිකිරීම් වැනි ව්‍යාපෘති අවශ්‍ය වන නමුත් එය කිසිසේත්ම මේ මොහොතේ අත්‍යාවශ්‍ය නොවේ.

 ඒ වෙනුවට ප‍්‍රමුඛ අවධානය යොමු විය යුත්තේ ජනතාව ජීවත් කරවීමටය. කෙසේ වෙතත් බංග්ලාදේශයෙන් පවා ණය ලබා ගන්නා තැනට පත්ව සිටින ආණ්ඩුව පොදුජනතාව ජීවත් කරනවාට වඩා ප‍්‍රමුඛතාව දී ඇත්තේ කොමිස් ව්‍යාපෘති කඩිනම් කිරීමට ය.

 මේ බිහිසුණු ලෝක ව්‍යසනය අබියස ලෝකයේ සියලූම ආණ්ඩු තමන්ගේ ජනතාවගේ ජීවිත නගාසිටුවීම වෙනුවෙන් ප‍්‍රමුඛතාව ලබාදී සිටින තත්ත්වයක් තුළ මෙරට ආණ්ඩුව සිදු කරමින් සිටින්නේ ඊට සහමුලින්ම වෙනස් කටයුත්තකි. ශ‍්‍රී ලංකාව මේ වන විටත් ඉතාමත්ම තීරණාත්මක අඩියකට මුහුණ දෙමින් සිටින අතර ජනතාවට දැන් සිදුව ඇත්තේ කොරෝනාවලින් ආරක්ෂා වනවාට වඩා ආණ්ඩුවෙන් ආරක්ෂා වන්නේ කෙසේ දැයි කියා කල්පනා කිරීමට ය. ඒ තරමටම ආණ්ඩුවේ ක‍්‍රියා පිළිවෙත අමානුෂික වී ඇත. ජනතා විරෝධී වී ඇත.

 මේ මොහොතේ ආණ්ඩුව වහාම කළ යුතු වන්නේ පුරවැසි ජීවිත සමඟ කරනු ලබන සෙල්ලම පසෙකින් තබා, පවත්නා තත්ත්වයේ බරපතළකම වටහාගෙන ජනතාවාදී ක‍්‍රියා පිළිවෙතකට වහාම මාරුවීම බව අවධාරණය කරමු.

advertistmentadvertistment
advertistmentadvertistment