ජනතාවට පටවන ජීවන බර තව මදි ?

119

පසුගිය කාලයේ දී බඩු මිල වැඩි වීම සහ බදු බර වැඩි වීම අඛණ්ඩව සිදු වීම නිසා අතිමහත් බහුතර සාමාන්‍ය ජනයා මේ වන විට අසීමිතව පීඩාවට පත්ව ඇති බව රහසක් නොවේ. ජීවන බර හොඳටම ඉහළ ගියත් වැටුප හෝ ආදායම එතැනමය. එසේත් නැත්නම් ආදායම් මට්ටම් තවත් අඩු වී ඇත. රටේ උග්‍ර විනිමය අර්බුදය විසඳා ගැනීම සඳහා අයිඑම්එෆ් එක සමග සිදුකරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ දී හොඳටම වැටී ඇති රජයේ බදු ආදායම වැඩි කර ගැනීම ද අත්‍යවශ්‍ය කරුණකි. අයිඑම්එෆ් එක කිව්වත් නැතත් අප සිටින තත්ත්වය අනුව කොහොමත් රාජ්‍ය බදු ආදායම වැඩි කර ගැනීම අත්‍යවශ්‍ය වේ. එයට තර්කයක් නැත. එහෙත් මේ සඳහා සාමාන්‍ය මහජනයාට පමණක් බර පටවා හරි යනවාද? මේ සඳහා දැනටමත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බදු ගෙවීම් පැහැර හැර ඇති හිඟ බදු මුදල් අය කරගත යුතු නොවේ ද? මේ සඳහා වන අපූරු තොරතුරු රැසක් පසුගිය දා පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ දී හෙළිදරව් විය. එනම් මෙම කෝපා කමිටුවේදී රජයේ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා සිය මූලික පැහැදිලි කිරීමේ දී හෙළිකර ඇත්තේ 2022 ජුනි 30 දින වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලැබිය යුතු මුළු හිඟ බදු, දඩ හා පොලී මුදල රුපියල් 773ල957ල856ල618 කි. මෙය රු. බිලියන 773 ක් එනම් රු.කෝටි 77300 ක මුදලකි. මෙය අතිවිශාල මුදලකි. මේ සියලුම මුදල් දිනකින් හෝ දෙකකින් අයකර ගත හැකි බව අපි නොකියමු. එහෙත් මේ මුදලෙන් රුපියල් 201ල400ල855ල198 ක් එනම් රු.බිලියන 201ක මුදලක් කිසිදු නීතිමය ගැටලුවකින් තොරව අය කළ හැකි ආදායම් වශයෙන් හඳුනාගෙන තිබීම ද විශේෂත්වයකි. ඒ නිසා මේ රජයට අයවිය යුතු බදු මුදල් අය කර ගැනීමට නිසි පියවර නොගෙන තව තවත් මහජනයාට බර පටවන ආණ්ඩුවේ ක්‍රියාකලාපය ගැන නම් සතුටු විය නොහැකිය. ඔවුන්ට තවත් මේ ජීවන බර දැරිය හැකි නොවේ. මේ ප්‍රශ්නය ගැන රජය කල්පනා කළ යුතුය. විකල්ප ක්‍රියාමාර්ග වෙත යොමු විය යුතුය. දැන් අවශ්‍ය කරන්නේ අතිශය පීඩාවට පත් සමාජ කණ්ඩායම් වෙත සහන සලසන ක්‍රියාවලියක් මිස තව තවත් මහජනයාට බර පටවන ක්‍රියාවලියක් නොවේ.

● කෝපා කමිටුවේ අනාවරණය

මෙසේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රුපියල් බිලියන 773 ක හිඟ බදු මුදලක් ඇති බව සහ ඒ අතරම රුපියල් බිලියන 10 ඉක්මවූ මුදලක් වැයකොට සකස් කළ රැමිස් නම් පද්ධතිය තවමත් නිසි ක්‍රියාකාරී මට්ටමක නොමැති බවත්, 2022 ජුනි 30 වන විට රුපියල් බිලියන 2.4 (රු. කෝටි 240) ක් වටිනා අගරු වූ චෙක්පත් 4831 ක් දෙපාර්තමේන්තුවට ලැබී ඇති බවත් පසුගිය නොවැම්බර් 28 වැනිදා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් සහ රජයේ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතාගේ සහභාගිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී හෙළිදරව් වී ඇත. මේ මුළු හිඟ මුදල්වලින් රුපියල් 572ල557ල001ල420 ක් (බිලියන 572ක්) යම් යම් හේතු මත අය කිරීම් තාවකාලිකව අත්හිටුවා ඇති මුදල් වශයෙන් හඳුනාගෙන ඇති බවත් මෙහිදී අනාවරණය වී ඇත. එසේම රැමිස් සහ ලෙගසි යන පද්ධති දෙක යටතේම අයවිය යුතු මුළු හිඟ බදු මුදල් වශයෙන් මෙම මුදල හඳුනාගෙන ඇති බව ද මෙහිදී විගණකාධිපතිවරයා විසින් පෙන්වාදෙන ලද අතර මෙම හිඟ බදු මුදලින් අය කළ හැකි ආදායම ලෙස පවතින රුපියල් බිලියන 201ක මුදල අය කර නොගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. මේ අනුව පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දී ඇත්තේ මෙම මුදල් දැනටමත් කොටස් වශයෙන් අයකර ගැනීමට කටයුතු කොට ඇති බවයි. මෙහිදී මෙම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා නිර්දේශ කළේ අය කළ හැකි ආදායම් වශයෙන් හඳුනාගෙන ඇති හිඟ බදු මුදල් කොටස් වශයෙන් හෝ අයකරගන්නා ආකාරය පිළිබඳ දින වකවානු සහිතව තොරතුරු ඇතුළත් වාර්තාවක් කෝපා කමිටුවට ලබා දෙන ලෙසයි. මේ පිළිබඳ තොරතුරු අනාවරණය වූයේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2021 මාර්තු 24 දින කෝපා කමිටුවට කැඳවා ලබාදුන් නියෝග ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීමට සහ 2023 අයවැයෙන් යෝජනා කොට ඇති බදු ආදායම ළඟා කරගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හැකියාව තිබේදැයි පරීක්ෂාකර බැලීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් එදින (28) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

● බදු ආදායම් ඇස්තමේන්තු යථාර්ථවාදී ද?

ජනතාවට පටවන ජීවන බර තව මදි ?

පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා මෙම කෝපා රැස්වීමේ දී පෙන්වා දුන්නේ 2022 වර්ෂයේදී ඇස්තමේන්තු කළ බදු ආදායම ලෙස රුපියල් බිලියන 1852ක් රජය අපේක්ෂා කොට ඇති බවත් එය 2023 මෙවර අය වැයේදී රුපියල් බිලියන 3130 දක්වා වැඩිකර ගැනීමට සැලසුම් කොට ඇති බවත්ය. එබැවින් මේ වන විටත් හිඟ බදු විශාල ප්‍රමාණයක් තිබියදීත් 2023 අයවැයෙන් සියයට 69 ක වැඩිවීමක් ලබාගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හැකියාව තිබේදැයි යන්න විශාල ගැටලුවක් බව ඒ මහතා මෙහිදී සඳහන් කර ඇත. මෙම අපේක්ෂිත බදු ආදායම ළඟාකර ගැනීමට නොහැකි වුවහොත් විශාල අයවැය පරතරයක් ඇති වන බවත් රටක් ලෙස බලාපොරොත්තු වන සියලු ඉලක්ක සපුරාගැනීම අසාර්ථක වන බවත් හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය. මෙහිදී මෙම බදු මුදල් අයකරගැනීම සඳහා ඇති ප්‍රධාන සාධකයක් ලෙස ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය හෙවත් රැමිස් පද්ධතිය හඳුනාගෙන ඇති බව ද කෝපා සභාපතිවරයා පෙන්වා දී ඇත. එසේම මෙම රැමිස් පද්ධතිය සකස් කිරීම සඳහා රුපියල් බිලියන 10 ඉක්මවූ මුදලක් වැයකොට ඇති බව විගණකාධිපතිවරයා පෙන්වා දුන් අතර එසේ වුවද නිසි ක්‍රියාකාරී මට්ටමක එය නොපවතින බවද හෙතෙම පෙන්වා දුන්නේය. එසේම මින් පෙරද අවස්ථා කිහිපයකදීම මේ පිළිබඳ කෝපා කමිටුවේදී පෙන්වා දුන්නද ඒ සම්බන්ධයෙන් තවමත් විධිමත් පියවරක් ගෙන නොමැති බවද විගණකාධිපතිවරයා මෙහිදී සඳහන් කළ තවත් කරුණකි. මෙහිදී විගණකාධිපතිවරයා තවත් විශේෂ කරුණක් අනාවරණය කර ඇත. එනම් රැමිස් පද්ධතිය සම්බන්ධයෙන් වන ගිවිසුම සහ ඊට අදාළ මුදල් ගෙවීම් පිළිබඳ තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් තමාට ලබා නොදෙන බවයි. විශේෂයෙන්ම ගිවිසුම ප්‍රකාරව තමාට එම තොරතුරු ලබා දීමට නොහැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කටයුත්තක් බවත් මෙහිදී විගණකාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත. මේ අනුව මෙම පද්ධතිය පිළිබඳ ප්‍රසම්පාදනය ඇතුළු අංශ ගණනාවක් සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයන් පෙනීයන හෙයින් මෙම පද්ධතිය රටට ගැළපෙන ආකාරයෙන් ක්‍රියාකාරී මට්ටමට පත් කිරීම පිළිබඳ දින වකවානු සහිතව මාසයක් ඇතුළත වාර්තාවක් ලබාදීමට කෝපා කමිටුව නිර්දේශ කළේය. එසේම එම වාර්තාව ප්‍රමාණවත් නොවන්නේ නම් ගනුදෙනු පිළිබඳ විගණනයක් කිරීමට කටයුතු කරන බවද කාරක සභාවේ සභාපතිවරයා සඳහන් කර ඇති බව පාර්ලිමේන්තුවේ මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

● අගරු වූ චෙක් පත්

එසේම මුලින් සඳහන් කළ පරිදි 2022 ජුනි 30 වන විට රුපියල් 2ල488ල003ල615 (බිලියන 2.4) ක් වටිනා අගරු වූ චෙක්පත් 4831 පැවතීම පිළිබඳව ද මෙහිදී අනාවරණය වූ අතර මෙම අගරු චෙක්පත් අතරින් රුපියල් 1ල429ල356ල750 ක් වටිනා චෙක්පත් 3817 ක් වසර 3කට වඩා පැරණි ඒවා බවද මෙහිදී අනාවරණය වී ඇත. මෙහිදී මේ සම්බන්ධයෙන් නීතිමය පියවර නොගැනීම පිළිබඳ කමිටුව ප්‍රශ්න කළ විට ඒ සඳහා නීතිමය පියවර ගැනීමට තම දෙපාර්තමේන්තුවට බලය නොමැති බව පැමිණ සිටි නිලධාරීහු සඳහන් කර ඇත. මෙය සාපරාධී අපරාධයක් බවත් මේ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය කටයුතු ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතු බවත් මෙහිදී කෝපා කමිටුවේ සභාපතිවරයා පෙන්වා දී ඇත. මෙසේ ඇතැම් පිරිස් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පවා අගරු චෙක්පත් දෙමින් නිදැල්ලේ කටයුතු කරද්දී ඒවාට නිසි නීතිමය පියවර නොගන්නා ආණ්ඩුව සාමාන්‍ය ජනයාගේ බදු, විදුලි බිල සහ ජල බිල ඇතුළු සියලු බර වැඩි කිරීමට කටයුතු කරමින් සිටී. මේ නිසා රටේ සාමාන්‍ය ජනයාම මරන් කන්නේ නැතුව බදු ගෙවීමට ශක්තිය ඇති අයගෙන් වැඩි බදු මුදලක් අය කර ගන්නා ලෙසත් මේ හිඟ බදු මුදල් වහාම අය කර ගැනීමට පියවර ගන්නා ලෙසත් අපි රජයට සිහිපත් කරමු. මේ අගරු චෙක්පත් ගැන නීතිපති දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කොට මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම පිළිබඳ මාසයක් ඇතුළත කෝපා කමිටිවට වාර්තාවක් ලබාදෙන ලෙස ද මෙහිදී කෝපා කමිටු සභාපති කබීර් හෂීම් මහතා නිර්දේශ කර ඇත. මේ ගැන කෝපා කමිටුව මෙසේ ක්‍රියා කිරීම අගය කළ යුත්තකි. බදු පැනෙව්වත් ඒවා අය කිරීමේ කාර්යසාධනය මෙලෙස දුර්වල නම් අයවැය අරමුණු අපේක්ෂිත පරිදි ඉටු නොවේ. එදින මෙම කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, ලසන්ත අලගියවන්න, කාදර් මස්තාන්, සුරේන් රාඝවන්, ඩයනා ගමගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිස්ස අත්තනායක, අශෝක් අබේසිංහ, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, මේජර් ප්‍රදීප් උඳුගොඩ සහ වීරසුමන වීරසිංහ යන මහත්ම මහත්මීහු සහභාගී වී ඇත.

● උද්ධමනය අඩු වීමේ ප්‍රවණතාව

ජනතාවට පටවන ජීවන බර තව මදි ?

සැලකිය යුතු කාලයක් තිස්සේ දිගින් දිගටම එනම් සියයට 70 ද ඉක්මවා ගිය උද්ධමනය දැන් අඩු වීමට පටන් ගෙන ඇත. ඒ ඉකුත් ඔක්තෝබර් මාසයේ සිටය. මේ අනුව කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ පසුගිය සැප්තැම්බර මස පැවති සියයට 69.8 ක් වූ උද්ධමනය 2022 ඔක්තෝබර් මාසයේ සියයට 66.0 ක් දක්වා අඩු විය. එසේම එය 2022 නොවැම්බර් මාසයේ දී සියයට 61.0ක් දක්වා තවත් පහළ ගියේය. එම ප්‍රවණතාව අනුවම ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 85.6හි සිට 2022 නොවැම්බර් මාසයේ දී සියයට 73.7 දක්වා පහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 56.3හි සිට 2022 නොවැම්බර් මාසයේ දී සියයට 54.5 දක්වා පහළ ගියේය. 2022 ඔක්තෝබර් මාසයේ දක්නට ලැබුණු කො.පා.මි. දර්ශකයේ මාසික වෙනසෙහි අඩු වීම, 2022 නොවැම්බර් මාසයේ දී සියයට 0.50කින් තවදුරටත් පහළ ගියේය. මෙයට ප්‍රධාන වශයෙන් දායක වූයේ ආහාර කාණ්ඩයේ අයිතමවල මිල ගණන් මාසිකව සියයට 0.53කින් පහළ යෑමයි. ඒ අනුව, ආහාර කාණ්ඩය තුළ, කුකුල් මස්, නැවුම් මත්ස්‍ය සහ කරවල මිල ගණන්හි සැලකිය යුතු පහළ යෑම් දක්නට ලැබුණි. එසේ වුවද, මෙම මාසය තුළ දී කිරි පිටි මිල ගණන් ඉහළ ගොස් ඇත. මේ අතර, 2022 නොවැම්බර් මාසයේ දී සෞඛ්‍ය (පෞද්ගලික රෝහල් ගාස්තු, වෛද්‍ය/ෆාමසි නිෂ්පාදන මිලදී ගැනීම්) සහ රෙදිපිළි සහ පාවහන් යන උප කාණ්ඩයන්හි අයිතමවල මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් ආහාර නොවන කාණ්ඩයේ මාසික ඉහළ යෑමක් වාර්තා විය. කෙසේ වුවද, 2022 නොවැම්බර් මාසය තුළ දී ප්‍රවාහන (පෙට්‍රල් සහ ඩීසල්) සහ නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ වෙනත් ඉන්ධන (නඩත්තු කිරීම්/ පිළිසකර කිරීම්, එල්.පී. ගෑස්) උප කාණ්ඩවල අයිතමවල මිල ගණන් පහළ යෑම, ආහාර නොවන කාණ්ඩයේ සමස්ත මාසික ඉහළ යෑම සැලකිය යුතු ලෙස අවම කිරීමට හේතු වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සහ මහ බැංකුවේ වාර්තාවල සඳහන් වේ.

● එකිනෙකාට චෝදනා කරමින් වාද කරමින් සිටිමු ද?

අප මුහුණ දී සිටින්නේ ඉතා ගැඹුරු ආර්ථික අර්බුදයකට ය. ඒ සඳහා හේතු සොයා ඊට පිළියම් යෙදීමේ දී ගැඹුරු ආර්ථික ප්‍රතිසංස්කරණ ද අවශ්‍ය විය හැකිය. මේ ගැන තවමත් බොහෝ දෙනෙකුට වැටහීමක් නොමැති බව පෙනේ. පාර්ලිමේන්තුවේ ඇතැම් මැති ඇමැතිවරුන්ගේ හැසිරීම සහ ඔවුන් කරන කතා දෙස බැලුවත් මේ බොහෝ දෙනෙක් එකිනෙකාට චෝදනා කරමින් හැසිරෙන්නේ මේ මොහොතේ රට මුහුණ දී ඇති බරපතල අන්තරාය ගැන වැටහීමක් නොමැති අමන රැලක් ලෙසය. ජනසමාජය ගත්තත් බොහෝ පිරිසක්, ඒ ඒ අය තම තමන්ගේ දුෂ්කරතා ගැන සඳහන් කරමින් ඒවාට විසඳුම් හෝ සහන ඉල්ලා සිටිමින් රට මුහුණ දී සිටින බලවත් අන්තරායෙන් රට ගොඩ ගැනීම සඳහා තම දායකත්වය ලබා දීමට යොමුව කටයුතු කරන බවක් පෙනෙන්නට නැත. ඔබේ නිවස ගිනිගෙන දැවෙමින් තිබේ යයි සිතන්න. එවැනි අවස්ථාවක ඔබගේ පවුලේ අය කළ යුත්තේ කුමක් ද? වහාම සියලු දෙනා එකතු වී ඒ ගින්න නිවා දැමීම ද? එසේත් නැත්නම් ගින්න ඇති වීමට හේතුව කුමක්දැයි වාද කරමින් සිටීම හෝ ඒ සඳහා වගකිව යුත්තන් ගැන එකිනෙකාට චෝදනා කරමින් සිටීම ද? එසේ කරමින් සිටියොත් වන්නේ එම විවාද කිරිම අතරතුර නිවස මුළුමනින්ම දැවී අළු වී යෑමයි. ඒ නිසා රට පත් වී ඇති බරපතල ආර්ථික අගාධයට හේතු මෙන්ම ඒ සඳහා වගකිවයුත්තන් ද නැතුවා නොවේ. එහෙත් මේ මොහොතේ අවශ්‍ය කරන්නේ වහාම සියලු දෙනා එකතු වී නිවසේ ගින්න නිවා දැමීමයි. එලෙසම රට පත් වී ඇති මේ අනතුරුදායක මොහොතේ දී එලෙස සාමූහිකව කටයුතු නොකිරීමෙන් වන්නේ අප මුහුණ දී සිටින ආර්ථික අගාධයෙන් රටත්, අපේ ආර්ථිකයත් ගොඩ ගැනීම අපහසු තත්ත්වයට පත් වීමයි. එසේත් නැත්නම් ඒ සඳහා ගතවන කාලය දීර්ඝ වීමයි. එහි ප්‍රතිඵලය වන්නේ මැති ඇමැතිවරු හෝ වෙනත් බලවතුන් සහ ධනවතුන් නොව අතිමහත් බහුතර ඔබ අප ඇතුළු සාමාන්‍ය මහජනයා තව තව පීඩාවට පත් වීමයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment