ජනතාවට වගනොකියන දේශපාලකයන් ගෙදර යැවිය යුතුයි – මැල්කම් රංජිත් කාදිනල්තුමන්

106

ජනතාවට වගනොකියන දේශපාලකයන් ගෙදර යැවිය යුතුයි. ඒ සඳහා ජනතාව පෙළගැසිය යුතුයි. පාර්ලිමේන්තුවේදී බොරුවට යටිගිරියෙන් කෑගැහුවට ජනතාවගේ ප්‍රශ්න විසඳෙන්නේ නැතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ප්‍රකාශ කළහ.

උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කළේ ලෝක ජනාවාස දිනය වෙනුවෙන් මීගමුවේ නිවාස අහිමි පුරවැසි එකතුව සංවිධානය කළ සැමරුම් උත්සවයකට එක් වෙමිනි.

මීගමුව රුක්මනී දේවි සමරු රඟහලේදී මෙම සැමරුම පැවැත්විණි. මෙහිදී තවදුරටත් අදහස් පළ කළ කාදිනල්තුමන් ජනතාවට අවශ්‍ය නිවාස ලබාගැනීම විශාල ගැටලුවක් බවට පත්වී තිබෙනවා. මෙය විශාල ප්‍රශ්නයක්. මෙය විසඳිය යුත්තේ අප පත් කරන රජයන් විසිනුයි.

නාගරික සංවර්ධන අධිකාරියක් සහ අමාත්‍යාංශයක් තියෙනවා. මේ ආයතන අඩුම තරමින් නාගරිකව නිවාස අහිමිව සිටින ජනතාවගේ ප්‍රශ්න විසඳන්න උත්සාහ ගන්නා බවක් හෝ පේන්න නැහැ. දැන් හදපු තට්ටු නිවාසත් ඩොලර් හොයන්න විදේශිකයන්ට විකුණනවා.

නාගරික සංවර්ධන අධිකාරිය තියෙන්නේ විදේශිකයන්ගේ නිවාස ප්‍රශ්න විසඳන්නද? අපේ රටට ඉඩම් පිළිබඳව ප්‍රතිපත්තියක් නෑ. හැම තැනම ඉඩම් විදේශීය සමාගම්වලට බදු දෙනවා. මෑත කාලයේ මහවැලි ව්‍යාපාරයට අයිති ඉඩම් විශාල ප්‍රමාණයක් ජාත්‍යන්තර පුද්ගලික සමාගම්වලට බදුදීල.

දැන් තිබෙන ඡන්ද ක්‍රමය අනුව දිස්ත්‍රික්කය පුරාම ඡන්ද ගන්න දුවනවා. ඒකට අවශ්‍ය මුදල් හොයන්න දූෂිතයෝ සමඟ එකතුවෙලා කටයුතු කරනවා. ඡන්දය දුන්න ජනතාව

ගැන හොයන්නේ නැහැ. ජනතාව තමන්ගේ අයිතිවාසිකම් ගැන කතා කළාම එළවගන්නවා. මේක 1978 න් පස්සේ මෙරටට සිදුවුණු මහා විනාශයක්.

අපට මෙරටේ නිපදවන්න පුළුවන් කම තියෙන හාල් ටික පවා රටින් ගේන්න වෙන තත්ත්වයකට රට පත් කරලා හැම දෙයක්ම රටින් ගේන්න පුරුදු කරලා ආනයන වියදම අපනයන වියදමට වඩා වැඩි කරගත්ත නිසා තමයි මේ ඩොලර් ප්‍රශ්නය වැඩිකර ගත්තේ.

මෙරටේ පාලකයෝ අපේ රට විදේශීය රටවලට පාවාදීලා අපි ණයකාරයෝ වහල්ලු බවට පත් කරල හිඟාකන තත්ත්වයට පත් කළා. අපේ රටේ නායකයෝ ගත්ත වැරදි තීරණ නිසා 1978 සිට මෙරට විනාශ වුණා. රටේ නීතිය අවනීතිය බවට පත්කර නීතිය දේශපාලන ලෝකයේ අයට ඕන විදියට නටන්න පුළුවන් තත්ත්වයකට පත් කළා. විශේෂයෙන්ම නීතිපතිතුමා අල්ලේ තියල නටවන්න පුළුවන් තත්ත්වයක් ඇති කළා. මේ නිසා සාධාරණ සහ යුක්තිය කියන දේ සම්පූර්ණයෙන්ම නැතිවුණා. හැමදේටම කොමිස් ගන්න පගාව ගන්න සංස්කෘතියක් ඇති කළා.

හිටපු ජනාධිපතිතුමා ව්‍යවස්ථාවක් හදන්න පත් කළ කොමිටිය හදපු ව්‍යවස්ථා කෙටුම්පතක් මටත් ලැබිල තියෙනවා. ඒක ක්‍රියාත්මක කළොත් රටට හෙනගහනවා කිසිම සංවරයක් ශීලාචාර කමක් නැති එම ව්‍යවස්ථාවෙන් මෙරටේ ප්‍රශ්න විසඳෙන්නේ නෑ.
මීගමුව සමූහ – විමල් කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment