ජනතාවාදී ආණ්ඩුවක් හදාගන්න ජනතාවට අවස්ථාව දෙන්න ඕනේ – සුනිල් හඳුන්නෙත්ති

405

අද වනවිට රට ඉතා අරාජික තත්ත්වයට පත්වෙලා. ගෝල්ෆේස් ගැටුමෙන් පසුව ඇතැම් ජන කණ්ඩායම් නීතිය අතටගෙන කටුයතු කරනවා. මෙහි අවසානය කුමක් වෙයිද?

පිළිතුර – ජන කණ්ඩායම් නම් නීතිය අතට ගන්නේ නැහැ. ඒක වැරදියි. ජනතාව ඉතාම සාමකාමී විදියට උද්ඝෝෂණයක යෙදුණා. ඒ උද්ඝෝෂණයට නීතියත් පාවිච්චි කරගෙන පහරදීලා ජනතාව කුපිත කරගත්තේ ඇත්තටම ආණ්ඩුව සහ මහින්ද රාජපක්‍ෂ මහත්මයා. රාජපක්‍ෂ මහත්තයාගේ මැර කණ්ඩායම් තමයි නීතිය අතට ගත්තේ. ඒ මැර කණ්ඩායම් නීතිය අතට ගන්න නිසා තමයි ජනතාව ප්‍රතිචාර දැක්වූයේ. අශිෂ්ට ක්‍රියාවකින් ශිෂ්ට ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න බැහැ. මේ තත්ත්වයට සම්පූර්ණයෙන් වගකියන්න ඕනේ මහින්ද රාජපක්‍ෂ ඇතුළු මේ ආණ්ඩුව. අපි හිතන්නැහැ. මේ ආකාරයෙන්ම ඉදිරියට යන්න ඕනේ කියලා. මොකද මේක ඉතාමත් සැලසුම් සහගතව නැවත නැවත ගැටුම් ඇති කරලා රටේ තියෙන ඇත්ත ප්‍රශ්නය යටකරලා ජනතාවගේ අවධානය වෙන පැත්තකට යොමු කිරීමේ වෑයමක් දැරුවා කියලා අපිට හිතෙනවා. අවසාන ඉල්ලීම කරන්නේ. මේ ආණ්ඩුවට කරන්න බෑනේ රට පාලනය කරන්න. කොහොමත් ජනපතිවරයාට බෑ අගමැතිවරයෙක් නෑ. ඇමැති මණ්ඩලයක් නෑ. ඒක නිසා රට පාලනය කරන්න හමුදාව තමයි කැඳවන්න හදන්නේ. ඒකට ඉඩ දෙන්න හොඳ නැහැ. සිද්ධිය සමතයකට පත්වෙලා තියෙද්දීත් ආණ්ඩුව කියනවා ආරක්‍ෂක ලේකම් කියනවා දුටු තැන වෙඩි තියන්න ඕනේ කියලා. කාවද දන්නෑ දුටු අය. ඔවුන් මේ ප්‍රශ්නය ගෙනාවේ නැත්නම් මෙහෙම එකක් වෙන් නැහැනේ.

ප්‍රශ්නය – ප්‍රචණ්ඩ ක්‍රියා තව දුරටත් පැවතිය හොත්, රාජපක්‍ෂ පාලනය පෙරළා දමා දූෂණයෙන් භීෂණයෙන් තොර, යහපත් රටක් තැනීමේ යහපත් පරමාර්ථ බිඳ වැටෙනවා නේද?

පිළිතුර – රාජපක්‍ෂ පාලනයක් කොහොමත් නෑ. ඒගොල්ලෝ දැන් හැංගිලා ඉන්නේ. දැන් තියෙන්නේ මේ අස්ථාවරත්වය නැති කරන කෙටි කාලීන වැඩ පිළිවෙළක් පවත්වන්නයි. අපි දැනටමත් එම වැඩපිළිවෙළ යෝජනා කරලා තියෙනවා. රට මෙහෙම යන්න බැහැනේ. අද මුදල් ඇමැති කෙනෙක් නෑ. ණය ගන්නවත් කතාකරන්න කෙනෙක් නෑ. අධ්‍යාපන ඇමැති කෙනෙක් නැහැ. විභාගය තියෙන දවස කියන්න කෙනෙක් නෑ. කෘෂිකර්ම ඇමැති කෙනෙක් නෑ. ඒක නිසා පොහොර ටික ගේන විදියක් නැහැ. ඇමැති මණ්ඩලයක් නෑනේ. රටේ පාලනයක් නැහැ. දැන් ඉතින් මේක මේ විදියට යන්න බැහැ. ඒක නිසා අපි කියන්නේ තාවකාලික පාලනයක් හදන්න කියලානේ. ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා හැංගිලා ඉඳලා මේ වැඩේ කරන්න බැහැ. එයා ඒකෙන් අයින් වෙන්න ඕනේ. මොකද එයාට තවදුරටත් ජන වරමක් නැහැ කියලා තේරෙනවනේ. විද්වත් මණ්ඩලයකුත් නැත්නම් එයා කොහොමද රට පාලනය කරන්නේ. ඒක නිසා ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා ඉල්ලා අස්වෙන්න ඕනේ. ව්‍යවස්ථාව අනුව තව වෙන ක්‍රම නෑ ඉල්ලා අස්වෙන ක්‍රමය තමයි හොඳම ක්‍රමය. ඊට පස්සේ අපිට හිතන්න පුළුවන් තාවකාලික යාන්ත්‍රණය මොකක්ද කියලා. ජනබලවේගය රට යථාතත්වයට ගෙන ඒමේ වගකීම භාරගන්න. අපේ යටතේ තාවකාලික ආණ්ඩුව හදන්න කැමතියි නැතිනම් හදන කෙනෙකුට උදවු කරන්න කැමතියි. හැබැයි අපි කියන කොන්දේසිවලට කැමති වෙන්න ඕනේ.

ප්‍රශ්නය – අගමැති හා කැබිනට් මණ්ඩලය බලරහිත වීමෙන් පසු ගොඩනැඟෙන රටේ දේශපාලන සන්දර්භය කුමක් විය යුතුද? ගෝල්ෆේස් අරගලකරුවන් තමන්ට පාර්ලිමේන්තු නියෝජනයක් ඉල්ලා සිටිනවා නේද?

පිළිතුර – නෑ ගෝල්ෆේස් අරගලකරුවන් පාර්ලිමේන්තු නියෝජනයක් ඉල්ලා හිටින්නේ නැහැ. තාවකාලික යාන්ත්‍රණය අධීක්‍ෂණය කරන්නට ගෝල්ෆේස් එකේ අරගල කරන අයගේ නියෝජනයක් වෘත්තීය සමිති නියෝජනයක් සිවිල් සංවිධාන නියෝජනයක්, ත්‍රෛනිකායික මහානායකවරු ඇතුළු ආගමික නායකයින්ගේ නියෝජනයක් නීතිඥ සංගමයේ යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. ඔවුන්ගෙත් නියෝජනයක් අවශ්‍යයි.

ප්‍රශ්නය – රට ආර්ථික, සමාජීය හා සංස්කෘතික ලෙස දරුණු ලෙසම කඩාවැටිලා. ඇත්තටම විරෝධතාවලින් එහා ගිය තිරසාර සංවර්ධන වැඩපිළිවෙළක් රට ගොඩනැඟීමට ජනතා විමුක්ති පෙරමුණට තිබෙනවාද?

පිළිතුර – මේ අර්බුදය කලින්ම දැක්කේ අපි. මේ අර්බුදයට විසඳුම මේ ක්‍රමය නෙමෙයි කියලා දැඩිව විශ්වාස කරමින් ඒක සමාජගත කරන්නට ලොකු දේශපාලන අරගලයක් මුළු ඉතිහාසය පුරාම අපි කරලා තියෙනවා. මොකද අපේ රට කුඩා රටක්. කුඩා ජනගහනයක් ඉන්නේ. ඒ කුඩා ජනගහනයේ මූලික අවශ්‍යතා සපුරන්න මේ රටේ හොඳටම සම්පත් තියෙනවා. ලෝකයේ ධීවර කර්මාන්තය තියෙනවා. මැණික් සම්පත තියෙනවා, ස්වභාවික සම්පත් තියෙනවා, ඛනිජ සම්පත් තියෙනවා, අපේ දේශගුණය ඉතාම හොඳයි. වගාවට පහසු දේශගුණයක් තියෙන්නේ. රටේ සම්පත්වල ප්‍රශ්නයක් නෙමෙයි මේ තියෙන්නෙ. රටේ සම්පත්වල ප්‍රශ්නයක් නෙමෙයි මේ තියෙන්නේ. නමුත් අපේ රටේ වැරදි ආර්ථික ප්‍රතිපත්තියි වැරදි පාලන ක්‍රමය නිසා ඔබ ඔය කියන ආර්ථික අර්බුදය මේ තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඇත්තටම කියනවා නම් ලෝකයට අපි ණය වෙන රටක් නෙවෙයි ණය දෙන්න ඕන රටක්. ණය දෙන්න හැකියාවක් ඇති රටක් මේක. ඇත්තටම අපි අවාසනාවන්ත විදියට විවෘත ආර්ථිකය හා වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා ණය ගත්ත. ණය ගෙවාගන්න බැරුව ඉන්න රටක් බවට පත් වෙලා තියෙනවා. අපි ප්‍රායෝගිකව ගත්තොත් අපි අසාර්ථක රාජ්‍යයක් බවට පත් වෙලා තියෙනවා. අපි ඒක පිළිගත්තත් නැතත් ලෝකය ඉස්සරහ දැන් මට්ටමට පත් වෙලා තියෙනවා. ඉන්දියාවේ යාචකයින් අපට කන්නදෙන මට්ටමකට අපි හිඟමනට පත්වෙලා තියෙන්නේ. ඒ අපේ රටේ ඇති වැරදි ආර්ථික ප්‍රතිපත්ති හා දේශපාලන ප්‍රතිපත්ති නිසා. දැන් අපේ රටේ ජනතාව මහ පාරට බැහැලා ඉල්ලන්නේ තමන්ට වැරදිච්ච තැන නැවැරදි කරන්න. ජනතාව දැන් සූදානම්. මම හිතනවා අපි තුළ ඇති හැකියාවයි දක්‍ෂතාවයයි කැප කිරීමයි අපේ ප්‍රායෝගික වැඩපිළිවෙළක් දැන් රටේ ජනතාවගේ උනන්දුවයි එකතු කරලා දැන් මේ රට හදන්න අපට පුලුවන්.

ප්‍රශ්නය – අල්ලස, දූෂණය, වංචාව, හොර – මැරකම රජ කරන රටක් මේක, ඔබ කෝප් කමිටුවේ හිටපු සභාපතිවයෙක්. ඔබ මේ ගැන හොඳින් දන්නවා. ඔබගේ පක්ෂය මේ රටේ බලය ගත්තොත් ඒ අර්බුදය විසඳනවාද? ජනතාවගේ මුදල් සොරා කෑ පාලකයින්ගෙන් ඒ මුදල්, දේපළ යළිත් පවරා ගන්නවාද….?

පිළිතුර – ආර්ථිකය හදන්නම බෑ. මේ හොරකම් නතර කරන්නැතුව. මේ දූෂණ නතර කරන් නැතුව, මේක තමයි ආර්ථිකයේ තියෙන භයානකම හේතුව. අපි කියන්නේ නාස්තිය දූෂණය එකම හේතුව නෙමෙයි. මම කිව්වනේ හේතු ගොඩක.් ඒවාට උත්තර හොයන් නැතුව ආර්ථිකය හදන එක ගැන හිතන්වත් බැහැ. මොකද හොරකම දූෂණය තමයි අපේ ආර්ථිකයේ උපයන ලේ ටික උරා බොන මකරා. එකට උත්තර හොයන්න පුළුවන්. අපි පසුගිය දවස්වල හොරුන්ගේ රහස් හෙළිදරව් කරා. තව තියනවා. මේවායින් රටේ ධනය ඉතුරු කරන්න පුළුවන්. කරන්න ඕනේ මොකක්ද දන්නවද නීතිය හරියට ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ වගේම හොරකම් කිරීම වැරදි කියලා සංස්කෘතියක් හදන්න ඕනේ. ඒකෙන් විතරක් බෑ. ඒවා අනුමත නොකරන සමාජයක් හදන්න ඕනේ. ඒකටත් ආදර්ශය දෙන්න ඕනේ දේශපාලනඥයා. මේ දේශපාලනය කරන අයගෙන් වැඩිම බරපතළ චෝදනා තියෙන්නේ හොරකම් පිළිබඳව නාස්තිය පිළිබඳව අල්ලස පිළිබඳව. අපට ඒ පිළිබඳ චෝදනා නෑ. මේ දේශපාලනයේ අල්ලස් දූෂණ චෝදනා නැති එකම දේශපාලන ව්‍යාපාරය ජනබලවේගය ජනතා විමුක්ති පෙරමුණ. අපි හිතනවා අපේ ආණ්ඩුවකදී අපේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරලා අපිට කියන්න බෑ හොරකම සම්පූර්ණයෙන් නවත්වනවා කියලා. අවම කරන්න පුළුවන්. නාස්තිය අවම කරන්න පුළුවන්. රටේ නාස්තිය නතර කිරීමේ සංස්කෘතියක් හදන්න පුළුවන්. විශේෂයෙන් මහජන ධනය මංකොල්ලකෑම නතර කරන්න ඕනේ. එයට උපරිම දඬුවම් දෙන්න ඕනේ. අපි කියනවා මේ රාජපක්ෂ පාලනය විසිනුත් කලින් පැවති වික්‍රමසිංහ පාලනය විසිනුත් මේ මහජනතාවගේ ධනය මංකොල්ලකෑ හැමෝගෙන්ම පුළුවන් ඉක්මනට ඒ ධනය ලබා ගන්න අපි කටයුතු කරනවා.

ප්‍රශ්නය – රට ගොඩනඟන වැඩපිළිවෙළ ඔබගේ පක්ෂය රටට කියන්නේ නැත්තේ ඇයි?

පිළිතුර – කවුද අපිට ප්‍රායෝගික වැඩපිළිවෙළක් ගැන කියලා තියෙන්නේ. අපි කියන දේ පිළිගන් නැත්නම් පිළිගන්නැති කෙනාට පේන්නෙත් නෑ. අපි කියන දේට කැමති නැත්නම් කැමති නැති කෙනාට ඇහෙන්නෙත් නෑ. දැන් මම කලිනුත් කිව්වේ කෘෂිකාර්මික ආර්ථික ප්‍රතිපත්ති ආර්ථිකයක් හදන්න ඕනේ. ඒකට ජන සහභාගිත්වය ගන්න ඕනේ. ජනතාවට සාධාරණයි කියලා පෙන්නන්නට ඕනේ. ඔන්න අපේ මූලධර්ම. ඒ මූලධර්ම මත පදනම් වෙලා මැතිවරණ, රට හදන වැඩපිළිවෙළ ගැන කතා කරලා සාකච්ඡා කරලා තියෙන්නේ අපි. 1982 දී රෝහණ විජේවීර සහෝදරයා රට හදන සැලැස්ම ඉදිරිපත් කළා. ඒ මධ්‍ය කඳුකරයේ වනාන්තර වගා කරන්න ඕනේ. නැත්නම් අනාගතයේදී මේ කඳුකරයේ නාය යනවයි කියලා මීට අවුරුදු 40කට පනහකට කලින් පෙර දැක්මක් එක්ක මධ්‍ය කඳුකරය ගැන සැලැස්ම ඉදිරිපත් කළේ. අපේ පක්ෂය මේ රටේ තියෙන සම්පත් අධ්‍යයනය කරලා මේ රට හදන වැඩපිළිවෙළක් ගැන මුලින්ම කිව්වේ අපි. මං කියන්නේ මැතිවරණවලදී අපි තරම් මේ රටයි රටට ගැළපෙන සැලැස්මයි සාකච්ඡා කරපු පක්ෂයක් නැහැ. දැනුත් ජනබලවේගය හැටියට දෙසැම්බර් 23 වැනිදා මේ රට මුහුණදෙන ගැටලුව විසඳෙන විසඳුම් කඩිනම් වැඩපිළිවෙළක් ඉදිරිපත් කළා. තේරෙන්නෑ ඒවා මාධ්‍යයට පේන්නැද්ද දැනෙන් නැද්ද කියලා. පාට කණ්ණාඩි ගලවලා බැලුවොත් මේ රට හදන්න පුළුවන් ප්‍රායෝගික වැඩපිළිවෙළ ඉදිරිපත් කරලා තියෙන්නේ අපි කියලා පේනවා.

ප්‍රශ්නය – වත්මන් ආර්ථික හා දේශපාලන අර්බුදයට ඔබගේ පක්ෂය දකින යෝජනා කරන විසඳුම කුමක්ද?

පිළිතුර – මහින්ද රාජපක්ෂ අයින්වෙලා සජිත් ප්‍රේමදාස එකතු කරගන්න, බඩු මිල අඩු කරන්න, තෙල් මිල අඩු කරන්න, ගෑස් මිල අඩු කරන්න පෝලිම් නැති කරන්න මේක විසඳුමක් නොවේ. මේක බොරු වළක්. ජනතාවගේ තියෙන ඇත්ත ප්‍රශ්න අමතක කරවලා මේ සමාජයේ මතු වෙලා තියෙන දැවැන්ත පීඩනය කූල් ඩවුන් කරන වැඩක් ඒ කරන්නේ. ඒකට අපි හවුල්වෙන් නෑ. අපි කියන්නේ සර්වපාක්ෂික අන්තර් කාලීන කතා බොරු. මායම් 60 මේ ප්‍රශ්නෙට විසඳුමක් නොවෙයි. කෙටිකාලීනව හරි හිතන්න නම් මුලින්ම මේ රාජපක්ෂලා අයින් වෙන්න ඕනේ. මේ ආණ්ඩුව ඉල්ලා අස්වෙන්න ඕනේ. ජනාධිපතිවරයා අයින් වෙන්න ඕනේ. මේ ආණ්ඩුව අයින්වෙලා ජනතාවට කැමති ආණ්ඩුවක් තෝරා පත් කරන්න අවස්ථාව දෙන්න ඕනේ. මේ ජනාධිපති මෙහෙම ඉඳගෙන මේ ආණ්ඩුව මෙහෙම තියාගෙන ජනාධිපති බලතල අහෝසි කරනවා කියන එකත් කිසිම ප්‍රායෝගික උත්තරයක් නෙමෙයි. මේ අටවන කිසිම ඇටවිල්ලකින් අපි කියන්නේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන්නේ නෑ. ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන්න නම් ජනතාව විශ්වාස කරන, ජනතාවට විශ්වාස කළ හැකි, ජනතාවාදී ආණ්ඩුවක් හදන්න ඕනේ. එක හදාගන්න ජනතාවට අවස්ථාව දෙන්න ඕනේ.

ප්‍රශ්නය – ඔබලාගේ පක්ෂය ඉතිහාසයේ සිටම විප්ලවකාරී අදහස් දරන පක්ෂයක්. අද වර්තමානයේ රට තුළ තිබෙන උද්ඝෝෂණ විප්ලව පිළිබඳ ඔබතුමන්ලා දරන මතය කුමක්ද?

පිළිතුර – අතිශය සාධාරණ උද්ඝෝෂණයක්. ගෝල්ෆේස් උද්ඝෝෂණය ගත්තත්, ගෝල්ෆේස් එකෙන් එළියේ තියෙන උද්ඝෝෂණ ගත්තත් අපි මෙතෙක් කාලයක් තනියම හඬනඟපු සටන්පාඨ අද මිනිස්සු පිළි අරගෙන තියෙනවා. හොරුන්ට විරුද්ධව උද්ඝෝෂණය කළා. හොරු එපා කියලා කිව්වා. මහජනතාවගේ ධනය මංකොල්ලකන අයට දඬුවම් දෙන්න ඕනේ කිව්වා. වරප්‍රසාද අයින් කරන්න කිව්වා. අද මිනිස්සු ඒවා අයින් කරන්න කියනවා අපිට සතුටුයි. ඒ වගේම අපි හැම උද්ඝෝෂණයකටම සම්බන්ධ වෙනවා සහයෝගය දෙනවා. අපිත් උද්ඝෝෂණය කරනවා. අපි අනික් අය කරන උද්ඝෝෂණවලට මැදිහත් වෙනවා.

ප්‍රශ්නය – ඉකුත්දා ඔබලා වංචා, දූෂණ රැසක ලිපි ගොනු ඉදිරිපත් කළා. සමහරු මේවා ප්‍රතික්ෂේප කරනවා මොකක්ද ඒ සඳහා ඔබලා ගනු ලබන ඉදිරි පියවර.

පිළිතුර – ඔව් ඉතින් හොරුන්ටත් ගැළපෙන විසඳුම් නෑනේ. අපි කියන්නේ හොරෙන්ම අපිට ඒ ගොල්ලන්ට කෙටි කාලයක් දෙන්න පුළුවන් මහජනතාවගෙන් උදුරා ගත්ත මහජන දේපළ ධනය භාර දෙන්න. ඒ කෙටි කාලය තුළ ඒ දේ කළ යුතුයි. නැතහොත් ඊළඟට අනිවාර්යයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෙ. මොකද හොරු කවුද කියලා සමාජයම දන්නවා. ඔවුන්ගේ දේපළ තියෙන තැන් දන්නවා. පසුගිය ආණ්ඩු කාලවල හොරු අල්ලන්න ආවයි කියන කට්ටිය ඇල්ලුවේ නැත්තේ ඒ ගොල්ලෝ හොරු. හැබැයි අපි එහෙම කරන්නේ නෑ කියලත් දන්නවා. ඒක නිසා තමයි මෙච්චර මේ ජනතාව පලයන් පලයන් කියද්දී බලෙන් ඉන්නේ. එකක් ඒ ගොල්ලන්ට යන්න තැනක් නෑ. එක්කෝ ඒ ගොල්ලොත් නීතියට බයයි. අනිවාර්යෙන්ම ඒ ගොල්ලන්ට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. ජාත්‍යන්තරයේ ඇති මහජනතාවගේ මංකොල්ලකාපුවා ජාත්‍යන්තර සංවිධාන හා රටවල් සමග සාකච්ඡා කරලා නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්න පුළුවන් ජාත්‍යන්තර නීති තියෙනවා. ජාත්‍යන්තර සමමුතීන් තියනවා අණපනත් තියෙනවා. ලංකාවේ නීතිවලට වඩා ජාත්‍යණ්තර නීතිරීති ප්‍රබලයි. ඒවා සියල්ල අපි පාවිච්චි කරනවා. උපරිම වශයෙන් මහජනතාවගෙන් මංකොල්ලකාපුවා නැවත රැක ගැනීමට අපි කටයුතු කරනවා.

ප්‍රශ්නය – මේ මොහොතේ ජනතාවගේ පක්ෂයක් හැටියට මොකක්ද ජනතාවට දෙන පණිවිඩය...

පිළිතුර – ජනතාවට කියන්න තියෙන්නේ. අපිට ඊළඟ පරම්පරාවට රට ඉතුරු වෙන්න ඕනේ. මේ පාලකයෝ මේ රට විනාශ කරලා කාබාසිනියා කරලා නැති කරලා තියෙන්නේ. දැන් ජනතාවගේ වාරය ඇවිල්ලා තියෙන්නේ. ඒක අපි වෙනස් කරන්න ඕනේ. මේ දූෂිත ජනතාවගේ ජන පීඩක ආණ්ඩුව එළවලා ජනතාවාදී පාලනයක් නිර්මාණය කරන්නට මේ උනන්දුවෙන්ම මැදිහත් වෙනවා. මේ උනන්දුවෙන්ම දායක වෙනවා. පක්ෂයකට ගියාට පස්සේ ආයේ රැවටිලා දිනන කට්ටියට හෝයියා කියලා තමන්ටත් මොනවා හරි වාසියක් කරගන්න ඕනේ කියලා හිතලා දැන් දේශපාලකයන්ට විරුද්ධව ඇති මතය අපි මේ සමාජයේ යහපත් කිරීම සඳහා යොදා ගන්න ඕනේ. මේ ආණ්ඩුව එළවනවා වගේම මහජනතාවගේ ආණ්ඩුවක් හදා ගැනීමටයි අවශ්‍යයි.

සංවාද සටහන
සුජානි ගුරුගේ

advertistmentadvertistment
advertistmentadvertistment