ජනතාවාදී ව්‍යවස්ථාවක් හදන්න ජවිපෙට ආරාධනා කරනවා – කුමාර් ගුණරත්නම්

284

ජනතාවාදී ව්‍යවස්ථාවක් සකස් කර ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු වාමාංශික පක්ෂවලට ආරාධනා කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් කුමාර් ගුණරත්නම් මහතා පැවසීය.

කොළඹ ඊයේ (11දා) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

යම් පක්ෂයක් මේ අවස්ථාවේදී ජනාධිපතිවරයා සමග එකඟතාවයකට යන්නේ නම් එය ජන අරගලය පාවාදීමක් යැයි ද හෙතෙම සඳහන් කළේය.

ජනාධිපතිවරයා ඉල්ලා අස් වුවහොත් රට අරාජික වෙනවා යැයි පැවසීම මිථ්‍යාවක් බවත් ගෝඨා මෙන්ම විධායක ජනාධිපති පුටුවත් අහෝසි විය යුතු බවත් ඒ මහතා පැවසීය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට බාධා පවතින්නේ නම් ව්‍යවස්ථාවෙන් පරිබාහිර ක්‍රමවේද දෙස අවධානය යොමු කළ යුතු යැයිද හෙතෙම සඳහන් කළේය. එවැනි අත්දැකීම් ලෝකයේ පවතින බවද ඔහු කීවේය. අරගලයේ ඉල්ලීම්වලට උත්තර සෙවිය හැක්කේ පාර්ලිමේන්තු ක්‍රමය ඇතුළෙන් යැයි යන මතය පරාජය කළ යුතු බවද ඔහු කීවේය.

කුමාර් ගුණරත්නම් මහතා මෙසේද පැවසීය.

ජනතාවාදී ව්‍යවස්ථාවකදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි. තෝරා පත්කර යවන පාර්ලිමේන්තු නියෝජිතයන් ජනතා විරෝධී ලෙස කටයුතු කරන්නේ නම් ඔහු නැවත කැඳවීමේ බලය ජනතාවට තිබිය යුතුයි. ඇතැම් අධිකරණ තීන්දු ගැන නැවත විමර්ශනය කිරීමේ අයිතිය ජනතාව සතු විය යුතුයි. ඒ වගේම යම් කිසි මොහොතක ජනමත විචාරණයක් කැඳවිය යුතු නම් එය කැඳවීමේ බලය ජනතාව සතු විය යුතුයි. ඒවා අපේ යෝජනා.

අද ජනතාව කියන්නේ ‘ගෝඨා ගෝ හෝම්’ කියලා. ඒත් දැන් තියන ව්‍යවස්ථාව යටතේ ජනතාවට බෑ ඊට අදාළ ජනමත විචාරණයක් කැඳවන්න. ඒ අයිතිය තියෙන්නෙ ගෝඨාභයටයි. එය වෙනස් කළ යුතුයි.

අපි මේ යෝජනා කරන ව්‍යවස්ථාවත් අරගලය හා බද්ධ විය යුතුයි. එය ජනමත විචාරණයකින් සම්මත විය යුතුයි. අරගලය හා සම්බන්ධ සෑම පාර්ශ්වයක ම අදහස් අරගෙන තමයි මේ ව්‍යවස්ථාව හදන්න ඕනෙ.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment