ජනතාව ගිනිකඳු රාශියක් මැද ජීවත් වෙනවා….. විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස

159

අපේ රටේ ජනතාව ගිනි කඳු රාශියක් මැද ජීවත් වන්නේ. බඩු මිල ප‍්‍රශ්නය බරපතළ ලෙස තියෙනවා. ජීවන බර එන්න එන්නම වැඩි වෙනවා. කෘෂිකර්මාන්තයේ නියැළෙන ගොවීන්ට පෝර ටික නැහැ. මේ ප‍්‍රදේශයේ තේ ගොවියා අනාථ වෙලා. සුළු අපනයන බෝග ගොවියා නන්නත්තාර වෙලා. තරුණ පරපුරට රැකී රක්ෂා නැහැ. ලක්ෂ ගණනින් තරුණ පරපුර රට අතහැර දාල යනවා.

විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා මෙම අදහස් පළකළේ අගලවත්ත මැතිවරණ කොට්ඨාසයේ සමගි ජන බල වේග ප‍්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි. හිටපු පළාත් සභා මන්ත‍්‍රී ජගත් පින්නගොඩවිතාන මහතාගේ ආරාධනයෙන් එම අවස්ථාවට සහභාගි වූ සජිත් පේ‍්‍රමදාස මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.

අගලවත්ත මැතිවරණ කොට්ඨාසයේ සමගි ජන බල වේග කාර්යාලය විවෘත කරලා කළුතර දිස්ත‍්‍රික්කයෙන් රට ගොඩ නගන දැවැන්ක ජන රැල්ල නිර්මාණය කිරීමේ අවස්ථාවට මහා ජන ගංගාව බිහි කිරීමේ ගමනට එකතු වුණු ඔබ සෑම සියලූ දෙනාටම මගේ අවංක ආදර ස්තුතිය පුද කර සිටිනවා.

පෝර හිඟතාවය, ජීවන බර වැඩි වීම, රැකියා නොමැතිකම, මේ සියල්ලක්ම තුළ දරා ගන්නට බැරි, උහුලා ගන්නට බැරි මහා අසහනයක්, දැවැන්ත පීඩනයක් නිර්මාණය වෙලා තිබෙනවා.

ජනතාව බලාපොරොත්තු වන්නේ මේ බරපතළ ප‍්‍රශ්නවලට සත්‍යවාදී, යථාර්ථවාදී විසඳුම්. පොදු ජනතාවගේ බලාපොරොත්තුව බොරුව, මුළාව, මුසාව පිටු දැකලා ඇත්ත ඇති සැටියෙන් කථාකරලා රට ගොඩනගන දර්ශනයක්, වැඩ පිළිවෙළක්. ඒ යුගය උදාකරන්නට සමගි ජන බලවේගයේ අපි සූදානම් කියන එක මේ අවස්ථාවේ ප‍්‍රකාශ කරනවා.

ජනතාවගේ කර පිටින් බිහිවුණු මේ රජය හිතාමතාම ජනතාවගේ කර පිට පීඩනය පටවනවා. හොඳට ජීවත්වුණු ගොවියා, හොඳට වී ගොවිතැන කරපු, ගොඩ බෝග වගාව කරපු, එළවළු වගාව කරපු, තේ, පොල්, රබර් වගාව කරපු, කුරුඳු වගාව කරපු, හොඳින් ජීවත්වුණු ගොවියා අද අන්ත අසරණ වෙලා. ගොවි ජීවිත කඩා වැටිලා. මවුවරුන්ට කිරි පිටි ටික දූදරුවන්ට දී ගන්න විදියක් නැහැ. 70, 77 කාලෙ වගේ පෝලින් යුගය බිහි වෙලා. දැක්ක දැක්ක තැන කිරි පිටි පෝලිම, ගෑස් පෝලිම, අත්‍යවශ්‍ය භාණ්ඩ පෝලිම, සිමෙන්ති පෝලිම, හාල් පෝලිම, මේ රජය පෝලින් යුගයක් නිර්මාණය කරලා. මේ රජය ජනතා පීඩිත රජයක්. ජන ජීවිත වට්ටන රජයක්. මම පැහැදිලිවම ප‍්‍රකාශ කරනවා මේ රටේ ජනතාව කුසට ආහාර දීලා ජීවත් කරවන, ජන ජීවිතය ශක්තිමත් කරන, මේ රටේ කම්කරුවගේ ඉඳලා ජන සමාජයේ සියලූම දෙනාට රැුකවරණය ලබා දෙන යුගය අපි බිහි කරනවා.

හිතාදර මිත‍්‍රවරුණි. මහ ලොකුවට කථා කරා දේශපේ‍්‍රමිත්වය ගැන, කොන්ද කෙළින් තියෙන වීර පාලනය ගැන කිව්වා, අද වීර පාලකයෝ විදේශීය තානාපති වරුන්ට යටවෙලා. අද ඇමැතිවරු යනවා තානාපතිවරුන්ගේ සෙරෙප්පු ලෙවකන්න. මහ ලොකු වීරත්වය. මහ ලොකු දේශාභිමානය, අගලවත්තේ ජනතාවටත්, රටේ ජනතාවටත් මම කියනවා නැවතත් වරක් ශ‍්‍රී ලාංකිකයන් හැටියට කොන්ද පණ තියාගෙන ජීවත් වෙන්න පුළුවන් යුගය අපි පිහිටුවනවා.

අපි විදේශීය රටවල් ඉදිරියේ, තානාපතිවරුන් ඉදිරියේ දනගහන්නට යන්න ඕන නැහැ. මතක තබා ගන්න රටේ ආත්මය රැුක ගන්න ඕන. රටේ ගරුත්වය රැුක ගන්නට ඕන. අපේ ඉපැරණි ශිෂ්ටාචාරය, අපේ සංස්කෘතිය, අපේ සභ්‍යත්වය, අපේ ආගම ධර්මය, සෑම ආගමකම, ජාතියකම අයිතිවාසිකම් සුරකමින් අපේ රටට නැවතත් වරක් ගෞරවයෙන් ලෝකයේ අනිකුත් රටවල් සමග ගනුදෙනු කරන තත්ත්වයක් සමගි ජන බලවේගය ඇති කරනවා.

අපේ රටේ පර්යේෂණායතන, නිරෝධතා ඒකකය, අසමත් කරන, නැවේ ආපහු හරවලා යවපු පෝර ටික දැන් බලහත්කාරයෙන් ආපහු ඇවිල්ලා. මම අහන්නේ මේ ආණ්ඩුවට කොන්ද පණ තියෙනවාද. කොන්දක් තියනවාද. මේ රටේ ජනතාවට හොඳින් බලාගන්න තිබුණා මම රටේ නායකත්වයේ හිටියනම්, අපි අසමත් කියලා හරවලා යවපු බාල පෝර නැව ආපහු ආවනම් හොඳට බලාගන්න තිබුණා නායකත්වය කියන්නේ මොකක්ද කියන එක මේ සජිත් පේ‍්‍රමදාසගෙන්.

මේ මොහොත වනවිට අපේ රට, අපේ මාතෘ භූමිය තවත් රටවල්වලට යටත් වෙලා හමාරයි. අපේ රටේ සම්පත්, භූමිය තුට්ටු දෙකට වෙන්දේසි කරලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි අපේ රටේ සංස්කෘතියත්, සභ්‍යත්වයත් තුට්ටු දෙකට වෙන්දේසි කරලා ඉවරයි මේ ආණ්ඩුව.

අද බලන්න පත් කර ගත්තු ආණ්ඩුව වැරදියි, ආණ්ඩුව හොර ආණ්ඩුවක්, දූෂිත ආණ්ඩුවක් කියලා කවුද කියන්නේ, ආණ්ඩුවේ මැති ඇමැතිවරු කියන්නේ. එදා 2019 අපිට චෝදනා කළා, අපිට මඩ ගැහුවා, අපේ චරිත ඝාතනය කළා, අවුරුදු දෙකක් යන්නට පෙර රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමා කිව්වා වගේ සත්‍ය ජය අරන් තියනවා. අපිට මඩ ගහපු, අපිට අභූත චෝදනා එල්ල කරපු, අපි මේ රටේ දේශද්‍රෝහීන් කියපු ඒ හැමදෙනාටම සිදු වෙලා තිබෙනවා මහජන සභාව ඉදිරියට ඇවිල්ලා පොදු ජනතාව අතරට ඇවිල්ලා දණ ගහලා සමාව ඉල්ලන්න, අනේ අපි මේ කරේ වැරදි වැඩක්, අනේ අපි මේ කළේ වංචාකාරයෝ පත්කර ගැනීමක්, මේ රටට වින කරන වංචාකාරයෝ පත්කර

ගැනීමක් කියලා. ඒ පත්කරපු අයටම සිද්ධ වෙලා තියෙනවා රට ඉදිරියේ ඇවිල්ලා සමාව ඉල්ලන්න.

මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවති මෙම ජන හමුවෙන් පසුව සජිත් පේ‍්‍රමදාස මහතා ඇතුළු පිරිස අගලවත්ත නගරයට පැමිණ පෝර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය පිළිබඳව රජයට විරෝධය දැක්වූහ.

මෙම අවස්ථාවට හිටපු පළාත් සභා මන්ත‍්‍රී ජගත් පින්නගොඩ විතාන, වලල්ලාවිට ප‍්‍රාදේශීය සභා විපක්ෂ නායක දිලිප් පිටිගල යන මහත්වරු ඇතුළු පිරිසක් හා විශාල ජනතාවක් එක් වූහ.

මහිලාල් පද්මසූරිය – අගලවත්ත.

advertistmentadvertistment
advertistmentadvertistment