ජනතාව ජනපති මැඳුර අත්පත් කරගනී

298

යකඩ කම්බි මාර්ග බාධක බිඳ කඳුළු ගෑස් වෙඩි උණ්ඩ මැද මහා ජන ගඟ කොළඹට
තිස්නවයකට තුවාලයි තුනකට බරපතළයි
ජනතාව කොළඹ අගනුවර සහ ගෝල්ෆේස් හි රොද බැඳ ගනී….
ප්‍රභූ පිරිසක් ගුවනින්, මුහුදින් පැන ගිය බවට ආරංචි

ඉතිහාසයේ දැවැන්තම ජන අරගලය අප මාතෘ භූමියේ සටහන් කරමින් ‘ගෝඨා ගෝ හෝම්’ එකම හඬ බවට පත්කරගත් ලක්‍ෂ සංඛ්‍යාත මහා ජන සන්නිපාතය ඊයේ (9 දා) බාධක මැදින් ගොස් ශ්‍රී ලංකාවේ ජනාධිපති මන්දිරය හා ජනාධිපති ලේකම් කාර්යාලය අත්පත් කර ගැනීමට සමත් වූහ.

ජනතාව ජනපති මැඳුර අත්පත් කරගනී

ත්‍රිවිධ හමුදා බලඇණි හා පොලිසිය අනේකවිධ බාධක යොදමින් කඳුළු ගෑස්, ජල ප්‍රහාර නොනවත්වාම එල්ල කරද්දී ඒ සියලු බලයට වඩා ජන බලය බලවත් බව යළි යළිත් සනාථ කරන්නට අපේ ආදරණීය ජනතාව එකම පවුලක සාමාජිකයන් සේ සමත් වූහ.

ඊයේ පෙරවරුව වන විට දිවයිනේ නන් දෙසින් කොළඹට ගලා එන්නට වූ මහා ජන ගඟ ජන පීඩක ආණ්ඩුව තමන්ට එල්ල කරන පීඩාව හා රට විනාශය කරා ඇදගෙන ගිය දුර්වල ආර්ථික කළමනාකරණය ඇතුළු සමස්ත දූෂිත ක්‍රියාවලිය තවදුරටත් ඉවසනු බැරි බව ලෝකයටම සනාථ කර සිටියේය.

ජනතාව ජනපති මැඳුර අත්පත් කරගනී

ජාති ආගම් භේද නොතකා එකාවන්ව ශ්‍රී ලාංකීය පුරවැසියන් ලෙස ජාතික ධජය පෙරටුකොට ගෙන ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයාට හා රජයට ඉවත්ව යන ලෙස වූ සටන් පාඨ හඬ නැඟූහ.

යොදා තිබූ කටු කම්බි, ස්ථිර මාර්ග බාධක බිඳ දමමින් ජනතාව ජනාධිපති මන්දිරයට චැතැම් වීදිය ඔස්සේ ගමන් කරද්දී ආරක්‍ෂක හමුදා එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරවලින් 39 දෙනකු තුවාල ලදහ.

ජනතාව ජනපති මැඳුර අත්පත් කරගනී

ජනාධිපති මන්දිරයට ඇතුළු වූ ජනතාව එහි සියලු ස්ථාන සෝදිසි කරනුද දක්නට විය.

එම සිදුවීමට පෙර ප්‍රභූ රථ පෙළක් කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ කටුනායක ගුවන්තොටුපළින්ද, තවත් රථ කිහිපයකින් ගමන් මලු සමග කිහිප දෙනකු කොළඹ වරායේ නැංගුරම්ලා තිබූ නැව් කිහිපයකින් පිටව ගොස් ඇති බවද වාර්තා විය.

ජනතාව ජනපති මැඳුර අත්පත් කරගනී

ලක්‍ෂ සංඛ්‍යාත ජනකාය ඊයේ රාත්‍රිය වනතුරුම කොළඹ රැඳී සිටියහ.

මේ අතර කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයටද ජනතාව ඇතුළු වූහ. මහනුවර ජනාධිපති නිල නිවාසය හා තංගල්ලේ පිහිටි කාල්ටන් නිවස අසලද දිවයිනේ සියලුම ප්‍රදේශවලද ජනතාව වීථි බැස ගෝඨාභය රාජපක්‍ෂ ජනපතිට ඉවත්ව යන ලෙස බල කරමින් විරෝධතාවල නිරත වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment