ජනතාව තෙල් පෝලිම්වල දුක් විඳිද්දී කොළොන්නාවේ සේවකයන්ගේ කල්ලමරේ

380

ජනතාව ඉන්ධන නොමැතිව දින ගණන් පෝලිම්වල සිටියදී ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමේ සේවකයන් 600 කට පමණ ඊයේ (06 දා) පෙරවරුවේ උසස්වීම් සමග වැටුප් වර්ධක ලබාදී ඇත.

පර්යන්ත සමාගමේ සේවකයන් 2800 ක් පමණ සේවය කරන අතර ඔවුන්ට මේ වනවිට මාසිකව රුපියල් කෝටි දෙකහමාරක පමණ වැටුප් හා දීමනා ලබාදෙන බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. මෙම පිරිසට උසස්වීම් ලබාදී වැටුප් වර්ධක ලබාදීම නිසා වැටුප්, අතිකාල ඇතුළු අනෙකුත් දීමනා ද ඉහළ යෑමෙන් පර්යන්ත සමාගමට අමතර වැයක් දැරීමට සිදුවන බවද එම ආරංචිමාර්ග පැවසීය.

පාසල් වෑන්රථ, බස්රථ, දුම්රිය ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන ලබාදීමට නොහැකිව සිටින මේ අවස්ථාවේ මෙවැනි උසස්වීම් හා වැටුප් වර්ධක ලබාදීම අනුමත කළ නොහැකි බවද එම ආරංචි මාර්ග පැවසීය. සපුගස්කන්ද පිරිපහදුව බොර තෙල් නොමැතිව වසා දමා තිබියදී සේවා කාලය වසර 10 ඉක්මවූ පිරිසට උසස්වීම් හා වැටුප් වර්ධක ලබාදීමට පෙර තෙල් සංස්ථාව යථා තත්ත්වයට පත්කර ජනතාව පෝලිම්වලින් මුදාගන්නා තෙක් හෝ සිටිය යුතු බවද මෙවැනි සිදුවීම් නිසා ඛනිජ තෙල් සංස්ථාව ලබන පාඩුව තවත් වැඩිවන බවද ආරංචිමාර්ග පවසයි.

චමින්ද සිල්වා

 

advertistmentadvertistment
advertistmentadvertistment