ජනතාව තෙල් පෝලිමේ සිටියදී – මාවරමණ්ඩිය පිරවුම්හලේ තෙල් බෙදාහැරීම මැරයෝ අතට ගනිති

211

ආරක්ෂක අංශ බකං නිලාගෙන ඉඳලා

 මාවරමණ්ඩිය ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ප්‍රදේශයේ මැර කණ්ඩායමක් විසින් සිය අණසකට ගෙන ඔවුන්ගේ පිරිසකට පමණක් ඉන්ධන ලබාදීමට මූලිකවීමේ සිද්ධියක් පසුගිය දා (17 දා) මාවරමණ්ඩියෙන් වාර්තා විය.

 එදින සවස 3.30 ට පමණ මාවරමණ්ඩිය ඉන්ධන පිරවුම්හලට පෙට්‍රල් ලීටර් 6600 ක් රැගත් බවුසරයක් ඉන්ධන ගොඩබෑමෙන් විනාඩි කිහිපයකින් පසුව මෙම සිදුවීම සිදුවී ඇත.

 දාහසය වැනිදා උදේ සිට 17 වැනිදා සවස දක්වා ඉන්ධන පෝලිම්වල සිටි දහස් සංඛ්‍යාත ජනතාවට ඉන්ධන ලබා නොදී ප්‍රදේශයේ නමගිය මැර කණ්ඩායමක් විසින් ඔවුන්ගේ වාහනවලට හා හිතවතුන්ගේ වාහන සියයකට පමණ ප්‍රමාණයදකට පමණක් ඉන්ධන ලබාදීමට කටයුතු කර ඇත.

 ඉන්ධන ගොඩබෑමට පෙර පෝලිම්වලට පිටින් වාහන ගැනීමට එරෙහිව කතා කළ තරුණයන් තිදෙනකුට මැර කණ්ඩායම විසින් ඉතා අමානුෂික ලෙස පහරදී ඇත. පසුව පොලිස් නිලධාරියකුගේ මැදිහත්වීමෙන් තරුණයකු බේරාගෙන ඇති අතර අනෙක් තරුණයන් මැරයන්ගෙන් බේරී පලාගොස් ඇත.

 දින ගණනක් පෝලිමේ රැඳී සිටිය ද ඉන්ධන බෙදාහැරීම නතරවීම පිළිබඳ කැළඹුණු ජනතාව පිරවුම්හලට රැස්වී ඇත. බලධාරීන් හා ආරක්ෂක අංශ දැනුවත් කළ ද ඉන් පලක් නොවූ නිසා ටැංකි විවෘත කර පෙන්වන ලෙස ජනතාව බලධාරීන්ට කියා ඇත.

 ‘මාවරමණ්ඩියේ තෙල් ටැංකි කාටවත් අරින්න දෙන්නෙ නෑ. පුළුවන්නම් වරෙල්ලා’ යැයි මැර කණ්ඩායම විසින් ජනතාවට මැර බලය පෙන්වා ඇත.

 ජනතාව පවසන්නේ තමන්ට මෙතරම් අසාධාරණයක් වනතුරුත් ආරක්ෂක අංශ මුනිවත රකිමින් නිහඬව සිටි බවයි. එහි රාජකාරියේ නියුතු හමුදා නිලධාරීන් තිදෙනා පවසා ඇත්තේ තමන්ගේ රාජකාරිය ඉන්ධන පිරවුම්හල ආරක්ෂා කිරීම පමණක් බවත් ඉන්ධන බෙදාදීමේ කටයුතු සහ පෝලිම පිළිබඳව තමන්ට අදාළ නොවන බවත්ය.

 රැස්වූ පිරිස අතරින් කිහිපදෙනකු මෙම දර්ශන වීඩියෝ කර ඇති අතර මැර කණ්ඩායම විසින් එම පුද්ගලයන්ට ඉතා කෲර ලෙස පහරදී ජංගම දුරකථන කිහිපයක් ද පොළොවේ ගසා විනාශ කර ඇත.

 මෙම සිදුවීම පිළිබඳව සියලු දර්ශන පිරවුම්හලේ සීසීටීවී කැමරාවල සටහන්ව ඇතැයි ද ඒ පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් කර පොදු මහජනතාවට කළ මේ අසාධාරණයට එරෙහිව නීතිය වහා ක්‍රියාත්මක කළ යුතු බව ද ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment