ජනතාව දුකෙන් මුදවා ගැනීමට සියලු දෙනා එක්විය යුතුයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

86

චීනය සහ ඉන්දියාවේ එකඟත්වයෙන් ආර්ථිකය නිසි මගට ගත්තා
ආර්ථිකය කඩා වට්ටපු චෞරයන්ට එරෙහිව ක්‍රියාකළ යුතුයි – අනුර කුමාර දිසානායක (ජාජබ)
තීන්දු තීරණ ගැනීමේදී ප්‍රතිවිපාක ලැබෙන බව පාලකයන් දැනගත යුතුයි – නලින් බණ්ඩාර (සජබ)

ණය සම්බන්ධයෙන් චීනය සහ ඉන්දියාවේ එකඟත්වය ලබාගනිමින් මෙරට ආර්ථිකය නිසි මගට යෙදවීමට හැකිවී තිබෙන බවත් එබැවින් ජනතාව දුකෙන් මුදවා ගැනීමට සියළු පාර්ශව මේ මොහොතේ එක්විය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (17දා) පැවසීය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 9.30 ට ආරම්භ කෙරිණ.

නිවේදන, ලිපිලේඛන, කාරක සභා වාර්තා, වාර්ෂික වාර්තා, මහජන පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව ආනයන හා අපනය (පාලන) පනත යටතේ රෙගුලාසිද, විදේශ විනිමය පනත යටතේ නියෝගද පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත් ලෙස මන්ත්‍රී ඉමිටියාස් බාකීර් මාකර් මහතා විසින් ඉදිරිපත් කරන ලද පළාත් පාලන ආයතන මැතිවරණ (සංශෝධන) පනත් කෙටුම්පත සහ මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා විසින් ඉදිරිපත් කරන ලද පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ආරම්භ කෙරිණ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා-

මේ වන විට අපේ ආර්ථිකය නිසි මගට ගැනීම සඳහා අපි කටයුතු කරගෙන යනවා. දැන් අපට තිබෙන්නේණයප්‍රතිව්‍යුහගතකරණ කටයුතු සඳහා ඉන්දියාවේ සහ චීනයේ එකඟතාව ලබා ගැනීමටයි. අපි ඒ සඳහා සාකච්ඡා කරගෙන යන අතර දැනට එම සාකච්ඡා සාර්ථක බව මට මෙම සභාවට ප්‍රකාශ කළ හැකියි.

අපි බලාපොරොත්තු වන ආදායම අපිට එකවර ලැබෙන්නේ නැහැ. ඒ සියලු‍ දේ සමග මේ වැඩකටයුතු ඉදිරියට ක්‍රියාත්මක කිරීමයි අපේ අපේක්ෂාව. වැටුප් ගෙවීම අපේ ප්‍රධානම කාර්යයක්. දෙවැනි තැන තිබෙන්නේ විශ්‍රාම වැටුප් ගෙවීමට. ඒ වගේම සමෘද්ධිය ලබාදිය යුතුයි. ඒ සමගම තවත් නව වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සඳහාත් අපි මුදල් ලබාදිය යුතුයි. දැන් අපිට චෝදනාවක් තිබෙනවා අපි ඖෂධ සඳහා මුදල් ලබා දෙන්නේ නැහැ කියලා. තවත් මිලියන 100ක් දෙන්න තිබෙනවා කියලා. ඇත්ත වශයෙන්ම සෞඛ්‍ය අංශයේ එක ගැටලු‍වක් තිබෙනවා. ඒ තමයි අපිට පසුගිය වසර කිහිපය සඳහා රුපියල් බිලියන 50ක බිලක් ගෙවීමට තිබෙනවා. ඒ වුණත් අවශ්‍ය ඖෂධ ලබාදීමට අපි මේ වසරේදී රුපියල් බිලියන 30-40ක මුදලක් වෙන් කිරීමට අපේක්ෂා කරනවා. කෙසේ හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ මහා භාණ්ඩාගාරය එක්වෙලා මේ කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කරනවා. මෙම ඖෂධ ඇණවුම් කිරීමට ටික කාලයක් ගතවෙයි. අපිත් කැමති නැහැ අපේ රෝහල්වල අඩු පාඩු තිබෙනවට. ඒ වගේම ඖෂධ නැතිව ජනතාව මිය යනවට. ඒ නිසා ඒ වැඩකටයුතු වෙනුවෙන් අවශ්‍ය මුදල් අපි වෙන් කර තිබෙනවා. පසුගිය වසරේ අපේ රටේ ආහාර හිඟයක් ඇති වුණා. අපි බලාපොරොත්තු වුණා මේ ‍වසරේදීත් ආහාර හිඟයක් ඇති වෙයි කියලා. කෙසේ හෝ අපි ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ලබා දුන්නා. දැන් අපට අස්වැන්නේ අතිරික්තයක් ඇති වී තිබෙනවා. පසුගිය මහ කන්නය මෙන්ම යල කන්නය සාර්ථකවීම නිසා අපට මේ වී අතිරික්තය ලැබී තිබෙනවා.

දැන් අපට තිබෙන්නේ වී කිලෝ එක රුපියල් 100ක මට්ටමේ පවත්වාගෙන යාමට. ඒ සඳහා රුපියල් බිලියන 10ක් වෙන් කර තිබෙනවා. ඊට පෙර වෙන් කළේ රුපියල් බිලියන 05ක වගේ මුදලක්. මීට පෙර සිදු වුණේ මේ වී අතිරික්තය අලෙවි කිරීමයි. ඒත් අපි එසේ සිදු කරන්නේ නැහැ. මෙම මාර්තු සහ අප්‍රේල් මාසවලදී පවුල් මිලියන 02කට සහල් කි.ග්‍රෑම් 10 බැගින් ලබාදීමේ වැඩපිළිවෙළක් අපි සැලසුම් කර තිබෙනවා. ඊට වඩා ලබාදිය හැකිනම් මම කැමතියි. අපි මේ 75 වන නිදහස සමරන අවස්ථාවේ දී ජනතාවට කුසගින්නේ සිටීමට ඉඩ දෙන්න බැහැ. අපි ඒ සඳහා අවශ්‍ය මුදල් යොදවනවා. මේ නිදහස් සැමරුම වෙනුවෙන් මුදල් ‍වියදම් කරනවා කියලා අද ඇතැම් අය දොස් කියනවා. එහෙත් අපි ජනතාවට මෙම සහන ලබාදිය යුතුයි.

ඒ වගේම ඊළග වසර කිහිපයේ දී අපිට තවත් බිලියන 10ක් පමණ වැය කිරීමට සිදු වෙනවා. අද නිදහසින් පසු 75 වසරක් ගත වී තිබෙනවා, නිදහසේ 100 වන සැමරුම වන විට මේ රටට අවශ්‍ය ප්‍රතිසංස්කරණ වෙනුවෙන් අපි ආයතන ගණනාවක් ඇති කිරීමට පියවර ගන්නවා. ඒ අනුව ඉතිහාසය පිළිබඳ ආයතනයක් ස්ථාපිත කිරීමට අපි කටයුතු කරනවා. දැන් අපට තිබෙන ලොකුම චෝදනාවක් තමයි ඉතිහාසය අමතක වෙලා කියන එක. එ‍සේ නම් අපි එවැනි ආයතනයක් ඇති කළ යුතුයි. ආර්ථික විද්‍යා හා වෙළෙඳ ආයතනයක් අපි ස්ථාපිත කරනවා. මේ සම්බන්ධයෙන් ලෝකයේ රටවල විවිධ ආයතන තිබෙනවා.

ඒ වගේම ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ ආයතනයක් පළමු වතාවට අපේ රටේ ඇති කිරීමට කටයුතු කරනවා. ඒ වගේම අපේ නිලධාරීන්ගේ පුහුණු කටයුතු සඳහා රජය සහ රාජ්‍ය ප්‍රතිපත්ති විශ්වවිද්‍යාලය ඇති කරනවා. අපේ කෘෂිකර්මාන්තයේ නවීකරණයක් සිදු කරනවා නම් කෘෂි තාක්ෂණ විශ්වවිද්‍යාලයක් ඇති කළ යුතුයි. ඒ ව‍‍ගේම දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලය ඇති කිරීමට අපි පියවර ගන්නා අතර ඒ සඳහා සහාය ලබාදෙන බවට විදේශ රටවල් අප සමග දැනටමත් ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම ජාත්‍යන්තර මට්ටමට මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගෙන යාම වෙනුවෙන් ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් ඇති කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ කටයුතු සඳහා මුදල් අවශ්‍යයි. මේ සඳහා රුපියල් බිලියන 10කට වඩා මුදල් වැය විය හැකියි. මේ සඳහා අපි එකවර මුදල් යොදවන්නේ නැහැ. මේ ආරම්භ කරන්නේ මුදල් ලැබීමට තිබෙන ආයතන. ඉන් අනතුරුවයි අපිට ප්‍රතිඵල ලැබෙන්නේ. අපේ මේ 75 වන නිදහස් සැමරුම එතනින් අවසන් වන්නේ නැහැ. අනාගතය වෙනුවෙනුයි අපි ඒ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ.

ඒ වගේම අපි නව නීති කිහිපයක් ගෙන ඒමට කටයුතු කරනවා. කාන්තා පනත පිළිබඳ ජාතික කොමිෂන් සභාව, ස්ත්‍රී පුරුෂ සමානාත්මතා පනත, කාන්තාවන් සවිබල
ගැන්වීමේ පනත මේ නීති පනත් 03 ගෙන ආ විට දකුණු ආසියාවේ කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වැඩිම පියවර ගෙන තිබෙන රට බවට අපේ රට පත්වෙනවා.

ඒ වගේම පරිසරය වෙනුවෙන් දේශගුණික විපර්යාස පිළිබඳ පනත, වනාන්තර ප්‍රතිරෝපණය සහ වෘක්ෂ ආවරණ පනත ගෙන එනවා. ජීවමාන අස්ථිත්ව පනත මඟින් මහවැලි ගඟ, සිංහරාජය, ශ්‍රීපාද අඩවිය, හෝර්ටන් තැන්න, නකල්ස්, ආදම්ගේ පාලම යන ස්ථානවලටත් ජීවමාන අයිතිය ලැබෙනවා. සාගර සම්පත් ගවේෂණය සහ කළමනාකරණය සඳහා නීති, මුතුරාජවෙල (සංරක්ෂණ) පනත මේ සියල්ල තුළින් මේ කලාපයේ හොඳම පරිසර නීති තිබෙන රට බවට අපේ රටපත්වෙනවා. අනාගත පරපුර අපෙන් ඉල්ලා සිටින්නේ මේ සම්පත් ආරක්ෂා කර දෙන්න කියලා.

ඒ වගේම අපි සමාජ සාධාරණත්වය පිළිබඳ කොමිෂන් සභා පනත හඳුන්වා දෙනවා. අපි සමාජ සාධාරණත්වය උදෙසා කටයුතු කළ යුතුයි. මේ වැඩසටහන්වලට අමතරව මේ වසරේදී නාගරික වනාත්තර 75ක් ඇති කිරීම වෙනුවෙන් හා ජාතික තරුණ වේදිකාව පිළිබඳ ව්‍යාපෘතියේ වැඩසටහන් වෙනුවෙන් මුදල් යෙදවිය යුතුයි. ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයේ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභීන් සදහා නිවාස 1996ක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අපි කටයුතු කරනවා.

ර‍ටේ ආර්ථික ගැටලු‍වක් තිබුණත් ජනතාවට සහන ලබාදීම වෙනුවෙන් තමයි අපි මේ කටයුතු කරන්නේ. මේ නිදහසේ 75 වන සැමරුමේ දී මම සියලු‍දෙනාගෙන් ඉල්ලා සිටින්නේ අපේ දේශපාලන ක්‍රමය අපි දැන් වෙනස් කරමු කියලා. ජනතාව පීඩාවෙන් මුදා ගනිමින් ඔවුන්ට සහන සැලසීම සඳහා අපි එකතුවෙලා වැඩ කරමු. මේ සීමාසහිත සම්පත් ප්‍රමාණය සමග මෙවැනි ප්‍රගතියක් ලබා ගැනීමට අපට හැකිවුණා නම්, රටේ අනාගතය වෙනුවෙන් අපි සියලු‍දෙනා එකට එකතුවෙලා වැඩකරමු කියලා මම ඉල්ලා සිටිනවා.

විවාදය ආරම්භ කරමින් මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා-

මේ රටට ඉවක් බවක් නැතුව ගෙන එන ලද භාණ්ඩ රැසක් අපි ගෙන්වීම නවත්වා දමනු ලැබුවා. අපි ඒ අනුව මාස තුනක් ඇතුලත ඩොලර් මිලියන 1211ක් අපි ආරක්ෂා කර ගෙන තිබෙනවා. නමුත් අපේ ව්‍යාපාරිකයන්ට මේකෙන් ප්‍රශ්න ඇති වුණා කියලා අපි පිළිගන්නවා. ඒ අනුව අපි නැවතත් භාණ්ඩ 708කට නැවත ඒ අවසරය ලබා දුන්නා. නමුත් ඒ තුළිනුත් අපට තේරුණා තවත් භාණ්ඩ රැසක් සඳහා එම අවසරය ලබා දිය යුතුයි කියලා. ඒ අනුව අපි අද මේ කතා කරන සංශෝධිත ගැසට් පත්‍රය අනුව භාණ්ට 67කට අවසරය ලබා දුන්නා. විශේෂයෙන් කාර්මික මෙහෙයුම්, යන්ත්‍ර සඳහා, ක්‍රීඩා, රූපලාවන්‍ය ආදි කටයුතුවලට අදාළව එම නිදහස දුන්නා. නමුත් අපි එතනදී දැක්කා යම් ගැටළු තිබෙන බව. අපේ අපනයන කර්මාන්තයට අවශ්‍ය දේවල් මොනවාද කියා ඒ අනුව තවදුරටත් කරුණු සලකාගෙන යනවා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක (ජාජබ)

අපි එකතු විය යුතුයි. ඒ එකතු විය යුත්තේ ජනවරමක් ඇති පාලනයකට. හාල් මෙටි්‍රක් ටොන් මිලියනයක් පිටරටින් ගෙනාවා. හාල් අතිරික්තයක් තියෙනවා කියලා ආණ්ඩුව කියනවා. අතිරික්තය ඇති වුණේ ඒ නිසයි.

රටේ ආනයන සීමාවන් රැසක් තිබුණා. බොහෝ බදු 2020 ඉක්මවා යෑමක් ආදායම් මාර්ග ඇහිරී ඇති වෙලාවක බදු පැනවීම යුක්ති සහගත නෑ. ආර්ථික අපරාධකරුවන්ට නිසි දඬුවම් ලබාදිය යුතුයි.

උපයන විට බද්ද විශාල ලෙස වැඩි වී තිබෙනවා. මේ මාසයේ වැටුපට එය ඇතුළත් වෙලා. වෘත්තීයවේදීන් අද අසරණ වෙලා. අසීමිත බද්දක් පනවලා වෘත්තීයමය ශ්‍රමයට ලොව හොඳ අවස්ථා තිබියදී ඔවුන් ලංකාවේ රැඳී සිටින්නේ. වැටුපට සරිලන ලෙස ණය සහන හා අනෙකුත් වියදම් හදාගත්තා. මේවා නොතකා බදු පැනවූවා. බැංකු පද්ධතිය අද පවත්වාගෙන යෑමේ අර්බුදයක් තිබෙනවා. තමන්ගේ වැටුපෙන් මුදලක් කපාගන්නවා නම් ආර්ථිකය කඩා වට්ටපු චෞරයන්ට එරෙහිව ක්‍රියාකළ යුතුයි. ඔවුන් හොඳින් වැජඹෙනවා.

අද කර්මාන්ත පද්ධතිය විශාල අවුලකට ලක් වෙලා. මේ ගැන හිතා පනත් සම්මත කළ යුතුයි. චීනය සමග නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කරන්න යනවා. මේ නිසා දේශීය නිෂ්පාදකයා බියට පත්වෙලා. මේ ගිවිසුම් අත්සන් කළොත් ඉතිරි වී තිබෙන කර්මාන්තශාලා ටිකත් විනාශ වේවි.

පත්කළ මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර (ශ්‍රීලපොපෙ)

වර්තමාන අර්බුදය අපි පමණක් භූක්ති විඳින එකක් නොවෙයි. ලෝක ආර්ථික අවපාතය අපට බලපෑවා. කොවිඩ් නිසා රට වහලා තිබුණා. ගොඩක් අය එම තත්ත්වය අමතක කළා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා (සජබ)

මිනිස්සු බදු ගෙවනවා නම් දේශපාලකයන් වන අපිත් බදු ගෙවිය යුතුයි.

ජනතාවට පටි තදකරගන්න කියන්න පුළුවන්ද? වැටුප වාර දෙකකට ගෙවන්නේ කියලා කියන්න පුළුවන්ද?

සහල් කිලෝ 10 බැගින් දෙනවලු. ඡන්දය ෂුවර් කියන එකයි ඒකෙන් පේන්නේ. රනිල් වික්‍රමසිංහ මම හොඳට හඳුනනවා. ඉදිරියේදී තවත් බෙදයි.

ස්ටෑන්ඩඩ් චාටඩ් බැංකුව නිකුත් කර ඇති වාර්තාව අනුව දේශීය හා විදේශීය ණය දෙකම ප්‍රතිව්‍යුහගත කළ යුතුයි.

කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර

ලබන මාසය වනවිට බිත්තර මිල රුපියල් 40 දක්වා අඩු වේවි යැයි කියලා ඒ අංශ ප්‍රකාශ කරනවා. යම් ප්‍රමාණයක් ආනයනය කරන්නත් සිදු වේවි.

වසර දහයකට පස්සේ වැඩිම වගා කරපු කන්නය තමයි මෙවර යල කන්නය. ඉදිරි මහ කන්නය ඊට වඩා වැඩි කරගත හැකියි. හාල් යම් ප්‍රමාණයක් ගෙනාවා. ඒ කිලෝව රුපියල් 300 ට යනවා කියලා කියපු නිසයි.

අද ජනතාවගේ ප්‍රමුඛ අවශ්‍යතාව කුමක්ද කියලා තීරණය කරන්න. කන්න බොන්න ඕන, බෙහෙත් ඇතුළු අත්‍යවශ්‍ය දෑ අවශ්‍යයි. ඡන්දය ආවම බඩු බෙදීම් සිදුවෙනවා. එය නවත්වන්න තීරණය කලා. හරිනම් මේ වගේ වෙලාවක මිනිස්සුන්ට ප්‍රශ්නවලට විසඳුම් අවශ්‍යයි.

රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ –

හැම තැනම කරන්නේ විවේචනය පමණයි. ආර්ථික අවපාතයෙන් රට බේරාගන්න සහය දෙන්නෙත් නැහැ. හරි වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්නෙත් නෑ. තමන්ගේ දේශපාලන මතය කුමක් වුවත් සියල්ල පසෙකලා ජනාව නැංවීමට සහය දිය යුතුයි. විපක්‍ෂය පිළිගත හැකි යෝජනාවන් තියෙනවා නම් ඉදිරිපත් කරන්න.

මාස දහයකට කලින් රටේ තිබුණ තත්ත්වය අමතක වෙලා. අද යම් ස්ථාවරත්වයක් ඇති වූ විට එය යළි අස්ථාවර කරන්න යම් පිරිසක් උත්සහ කරනවා.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ. සී. අලවතුවල (සජබ) –

විදෙස් ණය ගෙවීම නවත්වපු නිසා රටට යම් ස්ථාවරතාවයක් ඇති කරන්න හැකි වුණා. අපිට චෝදනා කරන්න එපා. රට බංකොලොත් කළේ අපි නොවෙයි. මේ ආණ්ඩුවමයි. කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත රැසක් වැසී ගියා. ආනයන අපනයන රෙගුලාසි ඉවත් කර වැඩපිළිවෙළක් හදනවා නම් හොඳයි.

ප්‍රධාන විපක්‍ෂය ලෙස රට ගැන හිතන කණ්ඩායමක්. රටේ මේ තත්ත්වය ඇතිවන බව එදා පෙන්නුවා. ඒත් ආණ්ඩුව ගණන් ගත්තේ නෑ. මොන ප්‍රශ්න තිබ්බත් අපි ජනතාව වෙනුවෙන් හොඳ දේට සහය දෙනවා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සරත් වීරසේකර –

අද රටේ ප්‍රශ්න ඇති වුණේ විදේශ විනිමය අර්බුදය නිසයි. සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් බිලියන 5ක් විතර ලැබුණා. හැම රජයකටම ලැබුණු විදේශ විනිමය ආදායම කොවිඩ් නිසා 2019 දී ලැබුණෙ නෑ. එන්නත්වලට මුදල් වැය වුණා.

ආනයන දිගටම සිදු කිරීමට විදේශ විනිමය අවශ්‍යයි. ඊට අපනයන කර්මාන්ත දියුණු කළ යුතුයි.

ආර්ථික අර්බුදයෙන් අපි පෙළෙනකොට බටහිර රටවල් හා ඩයස්පෝරා රට බෙදන්න බල කරනවා. 13 සංශෝධනය ගේන්න ජනපතිට බල කරනවා. 13 සංශෝධනය අපට බලෙන් පැටෙව්ව එකක්. අපේ පුංචි රට පළාත් 09 කට බෙදලා. එහෙම බෙදන්න අවශ්‍ය නැහැ. ඇමෙරිකාවේ ප්‍රාන්තයක් අපේ රටට වඩා ලොකුයි. ඒකීය රට ෆෙඩරල් කරන්න අපි කිසි ලෙසකත් ඉඩ තබන්නේ නෑ.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර (සජබ) –

තීන්දු තීරණ ගැනීමේදී ප්‍රතිවිපාක ලැබෙන බව පාලකයන් දැනගත යුතුයි. එදා පොහොර තහනම නිසා එහි ප්‍රතිවිපාකය හිටපු ජනපතිට ලැබුණා. ආනයන අපනයන සීමා කිරීමේදී ගන්න තීන්දු ගැන හොඳින් සලකා බලන්න.

පාර්ලිමේන්තුව අද (18දා) පෙරවරු 9.30ට රැස්වෙයි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment