ජනතාව නොමරා මරණ බදු බර

421

සෘජු හා වක්‍ර බදු අය කිරීම් මගින් රටක් පවත්වා ගැනීම සිදු කෙරේ. මෙය ඕනෑම රටකට අදාළය. නමුත් එහි සාධාරණයක් තිබිය යතුය. විවිධ ක්ෂේත්‍ර හරහා සෘජු බදු අය කරන අතර වක්‍ර බදු අය කිරීම් කෙලින්ම ජන ජීවිතය හා බැඳී පවතී. ආහාරපාන, ඖෂධ, සේවාවන් අධ්‍යාපනය, කෘෂිකර්මය හා නිරතුරුවම සම්බන්ධය. මේවා ජනතාවගෙන් වැඩි ප්‍රතිශතයක් උදෙසා බලපාන කරුණුය. ඒවා ලබාගැනීම සඳහා ජනතාව මුදල් වියදම් කළ යුතු වේ. එසේ වියදම් කිරීමට ජනතාවට මුදල් අවශ්‍යය. මුදල් ලබා ගැනීමට ජනතාව විවිධ ආදායම් ඉපැයීමේ මාර්ග සඳහා යොමු වෙති. මෙසේ ලබා ගන්නා ආදායමට සාපේක්ෂව භාණ්ඩ හා සේවා ලබාගැනීමේ දී සාධරණ මිල ගණන් යටතේ ඒවා ලබා ගැනීමට ජනතාවට පහසුකම් තිබිය යුතු අතර ඊට අවශ්‍ය ක්‍රමවේදයන් පාලනය කිරීම රජය සතු වගකීමයි.

ශ්‍රී ලංකාවේ වර්තමාන බදු ප්‍රතිපත්තිය හරහා දෙකෝටි විසි ලක්ෂයකට අධික ලංකාවේ ජනගහණයෙන් 90% ක් පමණ වූ සාමාන්‍ය ජනතාව දරුණු ලෙස පීඩනයට පත් කරන යුගය දැන් ආරම්භ වී ඇත. 2023 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන මේ බදු ක්‍රමය මගින් වක්‍රව හා සෘජු ලෙස ජනතාව පීඩාවට පත් කිරීමේ ක්‍රියාවලියේ ආරම්භය 1977 තෙක් විහිදී යයි.

ලංකාවේ පාලනය ඉංග්‍රීසීන්ගෙන් ස්වේදේශිකයන් අතට මාරු වීමෙන් පසු 1948 සිට 1977 දක්වා ජනතාවට යම් සහනදායි පාලනයක් පැවැතිණි. 1977 න් පසු බිහි වූ කොල්ලකාරී හා දූෂිත දේශපාලනය අද දක්වා පැටව් ගසමින් වර්ධනය විය. බලය ලබා ගැනීම උදෙසා ඕනෑම ජඩ වැඩක් කිසිදු හිරිකිතයක් නැතිව සිදු කරන දූෂිත දේශපාලන සංස්කෘතියක් පෝෂණය කිරීමට බොහෝ දේශපාලන පක්ෂ ක්‍රියාත්මක විය. දේශපාලනය යනු උගත්කමක් නැතත් මුදල් උපයන රැකියාවක් බවට පත්වීම රටේම අභාග්‍යය බවට පත් විය.

1977 ට පෙර ලංකාවේ නිෂ්පාදන ආර්ථිකයට ලැබුණු මුල් තැන ඉන් පසුව වෙළෙඳපොළ ආර්ථිකයට මාරු විය. විවෘත ආර්ථිකයත් සමගම සුනාමියක් මෙන් රටට අවශ්‍ය දේත් අනවශ්‍ය දේත් ගලා ආවේය. පාලනයකින් තොරව ඇති වූ මේ තත්ත්වය මත ලංකාව තුළ නිෂ්පාදනය කළ හැකි භාණ්ඩත්, ලංකා පොළව මත වගා කළ හැකි ආහාරමය භව භෝගත් පිටරටින් ගෙන්වා ගැනීමේ විපාක අද දවසේ රටක් වශයෙන් අත්විඳිමින් සිටී. ආනයනය හරහා දේශපාලකයෝ ද නිලධාරීන් ද කොමිස් කුට්ටි ඩැහැ ගැනීම සරුවටම සිදු කෙරින. අපනයනයෙන් උපයන ලද විදේශ විනිමය දුර්වල කරමින්, රට තුළ භාණ්ඩ නිෂ්පාදනය කළ බොහෝ කර්මාන්ත හා විවිධ වගාවන් අත්හැර දැමිණ. නැතහොත් නොසලකා හැරිණ.

රටේ උන්නතිය වෙනුවෙන් නොව බලය ලබා ගැනීමේ හා බලය පවත්වා ගැනීමේ පරමාර්තය මුල්කර ගනිමින් පාලකයෝ ජනමනස තුළ සුරංගනා ලෝක මවමින් ජන ජීවිතයට අත්‍යවශ්‍යම දේවල් නොව, අනවශ්‍ය දේ පසුපස යන ජනතාවක් බිහි කිරීමට උනන්දු වූහ. දේශපාලකයෝ වේදිකා මත පොරොන්දු වූයේ ජාතියම කුසීතයන් කරන, පිට රටටම කට ඇරගෙන බලා සිටිය හැකි පොරොන්දු ය. ඒ අනුව ජනතාව සිය ඡන්දය දී පාලකයෝ පත් කර ගත්හ. ඔවුන් බලයට පත් වූ තැන සිටම ජනතාව අමතක කර සිය පැවැත්ම හා පරම්පරාවේ පැවැත්ම උදෙසා වංචාවත්, කොමිස් ගැනීමත් මහජන දේපළ කොල්ල කෑමත් පෝෂණය කළහ. එපමණක් නොව පාර්ලිමේන්තුවේ බදු ප්‍රතිපත්ති සකස් කිරීමේ දී වැඩි ප්‍රතිශතයක් වන සමාන්‍ය ජනතාව පීඩනයට පත් වන ආකාරයටත් අතළොස්සක් වන සිය හිත මිතුරු ව්‍යාපාරිකයන්ට හා බහුජාතික සමාගම්වලට වාසි වන ආකාරයටත් බදු ප්‍රතිප්තති සකස් කළහ. මෑත කාලයේ රුපියල් 50 ක් වූ සීනි බද්ද ශත විසිපහ දක්වා අඩු කිරීමෙන් ජනතාවට සෙතක් නොවූ අතර සීනි ආනයනය කරන සිය හිතමිතුරු ව්‍යාපාරිකයන්ට අදටත් අධික මිල ගණන්වලට විකිණෙන සීනි තොග ආනයනය කර ගබඩාකර ගැනීමට හැකි විය. මේ අහිමි වූයේ රජය පවත්වාගෙන යෑමට අවශ්‍ය බදු මුදල් ය.

රටක් පවත්වාගෙන යෑමට බදු අයකිරීම අවශ්‍ය කාරණයකි. මල නොතලා රොන් ගන්නා සේ බදු අය කිරීම පාලකයන්ගේ යුතුකම වේ. එහෙත් දැන් සිදු වන්නේ ජනතාවගේ බොටුවම මිරිකා හුස්ම හිරකර ජනතාවගේ රීරි මංශය උරාගන්නා බදු ප්‍රතිපත්තියකි. රැකියා කරන්නන්ගේ මාසික වැටුප හා බැංකු ස්ථාවර තැන්පතු පොලියට අදාළ ආදායම් බදු අයකිරීමේ සීමාව ඉතාමත් අසාධාරණ සීමාවකට යටත් කර ඇත. ලක්ෂයක් ලක්ෂ දෙකක් අතර ආදායම් සීමාව අද පවතින උද්ධමනයට අනුව විශාල මුදලක් නොවේ. අයකර ගන්නා බදු වලින් රටත් ජනතාවත් පෝෂණය කිරීම වෙනත් රටවල මූලික පරමාර්ථය වුවද, ලංකවේ පාලකයන්ගේ පරමාර්ථය ජනතාව පීඩාවට පත් කර පාලකයන් හා ඔවුන්ගේ හිත මිතුරන් පෝෂණය කරමින් හා සුඛ විහරණ විඳිමින් පරම්පරා ගණනකට හරිහම්බ කර ගැනීමයි.

සෘජු හා වක්‍ර බදු අය කිරීම් මගින් රටක් පවත්වා ගැනීම සිදු කෙරේ. මෙය ඕනෑම රටකට අදාළය. නමුත් එහි සාධාරණයක් තිබිය යතුය. විවිධ ක්ෂේත්‍ර හරහා සෘජු බදු අය කරන අතර වක්‍ර බදු අය කිරීම් කෙලින්ම ජන ජීවිතය හා බැඳී පවතී. ආහාරපාන, ඖෂධ, සේවාවන් අධ්‍යාපනය, කෘෂිකර්මය හා නිරතුරුවම සම්බන්ධය. මේවා ජනතාවගෙන් වැඩි ප්‍රතිශතයක් උදෙසා බලපාන කරුණුය. ඒවා ලබා ගැනීම සඳහා ජනතාව මුදල් වියදම් කළ යුතු වේ. එසේ වියදම් කිරීමට ජනතාවට මුදල් අවශ්‍යය. මුදල් ලබා ගැනීමට ජනතාව විවිධ ආදායම් ඉපැයීමේ මාර්ග සඳහා යොමු වෙති. මෙසේ ලබා ගන්නා ආදායමට සාපේක්ෂව භාණ්ඩ හා සේවා ලබාගැනීමේ දී සාධරණ මිල ගණන් යටතේ ඒවා ලබා ගැනීමට ජනතාවට පහසුකම් තිබිය යුතු අතර ඊට අවශ්‍ය ක්‍රමවේදයන් පාලනය කිරීම රජය සතු වගකීමයි. එහෙත් පසුගිය අවුරුදු දෙකකට ආසන්න කාලය තුළ සිදු වූයේ කුමක් ද? ජන ජීවිතයට අදාළ සියලුම භාණ්ඩ හා සේවාවන්වල මිල ගණන් තුන් හතර ගුණයකින් ඉහළ ගියේය. පුද්ගල ආදායම පෙර පැවති මට්ටමේම පැවතිණි. මාසිකව වේතන ලබන එක් සාමාජිකයකු සිටින පවුල් ලක්‍ෂ ගණනක් නන්නත්තාර විය. දෛනිකව රැකියාවක් හෝ කුලියක් කර ජීවත් වන පවුල් ලක්ෂ ගණනක් මන්දපෝෂණයට ගොදුරු විය. දශක කීපයක් රජයේ රැකියාව කර විශ්‍රාම පඩියෙන් බෙහෙත් හේත් ගත් පෝෂදායී ආහාර වේලක් ලබා ගත්, ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ මරණය පෙනී පෙනී නොමැරී මැරෙන තත්ත්වයට පත් වූහ. වියපත් වූ පසු දරු මල්ලන්ට බරක් නොවී ජීවත් වීම සඳහා සිය දේපළක් විකුණා එම මුදල් බැංකුගත කර ලැබෙන මාසික පොලියෙන් ජීවත් වූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ගිණුම් වලිනුත් බදු අයකර ගන්නා තැනට පාලකයෝ අමානුෂික වූහ. එහෙත් පාලකයෝ සහ එක්තරා නිලධාරි පැලැන්තියක් සියලු වරප්‍රසාද භුක්ති විඳිමින් සුවසේ මේ තත්ත්වයට මුහුණ දෙමින් බලය රැක ගැනීමටත්, බලය ලබා ගැනීමටත් වෙහෙසෙති. ජනතාව සුඛිත මුදිත කිරීම රට ගොඩ ගැනීම ඔවුන්ට අවශ්‍ය නැත.

බලය ලබා ගැනීමටත්, බලය රැකගැනීමටත් පාලකයෝ පසුගිය දශක කීපය මුළුල්ලේම කටයුතු කළා මිස පුද්ගල ආදායම වැඩි කිරීමේ හා බදු ක්‍රම යාවත්කාලීන කිරීමේ කටයුතු සම්පාදනය නොකළහ. විවිධ දැවැන්ත ව්‍යාපෘති සඳහා දෙස් විදෙස් ණය ගනිමින් ඉන් කොටසක් ව්‍යාපෘතියට යොදවා වැඩිකොටසක් නිලධාරීන් හා එකතුව දේශපාලකයෝ සිය සාක්කුවලට දමා ගත්හ. ආරම්භ කළ දැවැන්ත ව්‍යාපෘති අතරමග නතර කර දැමූ නිසා හෝ ගත් ණය ගෙවාගත නොහැකිව පොලිය පැටව් ගසන්නට විය. ඊට අමතරව සෘජු බදු අයකර ගැනීමට හැකි බොහෝ ව්‍යාපාරවලට බදු සහන දීම තුළින් රාජ්‍ය ආදායම බිංදුවට බස්සවා පාලකයෝ තමන්ගේ හිත මිතුරන්ට කෝටි ප්‍රකෝටි ගණන් උපයා ගැනීමට අවස්ථාව සැලසූහ. ඔවුන් උපයන අසීමිත ධනයෙන් පාලකයන්ට ද කොටස ලැබිණ. මේ ආකාරයට පාලකයෝ අවභාවිතා කළේ රටත් ජනතාවත් පෝෂණය කිරීමට තිබූ මුදල්ය.

දශක කීපයක් මුළුල්ලේම වැරදි ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ පාලකයෝ කොරෝනා ව්‍යවසනයට මුහුණ දෙන්නේ රටේ ආර්ථිකයේ මළගම හැඩවෙමින් තිබියදීය. ගහගෙන යනවිට පිදුරු ගහේ හෝ එල්ලෙන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ පාලකයෝ රටම වසා දමමින් තිබෙන සොච්චිමත් කොරෝනා වෛරසයට එරෙහි ඖෂධ ගෙන්වීම වෙනුවෙන් වැය කළහ.

ඉන්ධන, ගෑස්, ඖෂධ, කෘෂි රසායනික ද්‍රව්‍ය හා මෙරට නිෂ්පාදනය නොකරන එහෙත් මෙරටට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට නොහැකි ඩොලර් අර්බුදයකට රට මුහුණ දුන්නේ ය. මහපාරේ වැඩබිමේ, ගොවිබිමේ, ගම් නියම්ගම්වල ජන ජීවිතයට අදාළ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟකමින් සැතපුම් ගණන් දිග මිනිස් පෝලිම් නිර්මාණය විය. සමහරු එම පොලිම්වල මැරී වැටුණහ. ඌරෝ කැකුණ තලන විට හබන් කුකුළන්ට රජ මඟුල් වගේ විරුද්ධ දේශපාලන ධාරා, පැවති පාලනයට එරෙහිව විදී බැස්සහ. සම්ප්‍රදායානුකූල දූෂිත පාලන ක්‍රමය ආරක්ෂා කර ගැනීම සඳහා දේශපාලන හතුරෝ මිතුරේ බවට පත්වූහ. හැටනව ලක්ෂයක මහජන ඡන්දයෙන් තේරී පත් වූ ජනාධිපතිවරයාට රට හැර යන්නට සිදු වූ අතර, ඡන්දයේ දී ප්‍රතික්ෂේප වූ දේශපාලකයකු ජනාධිපති බවට පත්විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව වුවද එය මහජන මතය පිළිඹිබු වීමක් නොවීය.

පාලනය පටන් ගත්තේම දුෂ්කර ක්‍රියා කිරීමට මහජනතාවට සිදුවන බවට කරන කසකාර දැනුම් දීමක් ඇතිවය. මෙහි දී මහජනතාව වශයෙන් අප තුළ ඇතිවන ප්‍රශ්නය නම් දශක කීපයක් මුළුල්ලේ රටට හා ජනතාවට සිදු වූ මේ ව්‍යවසනය දූෂිත පාලකයන්ගේ වරදින් නොව ජනතාවගේ වරදින් සිදු වූවක් බව සිතා වර්තමාන සියලුම පාලකයන් කටයුතු කිරීමය. රටේ ජනතාවගෙන් බහුතරයට ජීවත්වීම සඳහා උග්‍ර මාරක සටනක් කරන්නට සිදුවන පසුබිමක ඒ ජනතාවගේම

බොටුව මිරිකා දමන්නට බදු ප්‍රතිපත්ති හදනවා හැරෙන්නට ආර්ථික අර්බුදයට විසඳුම් වශයෙන් වෙනත් විකල්ප නොයෙදීම ඛේදජනකය. දශක කීපයක් මුළුල්ලේම මේ රට පාලනය කළ පාලකයෝ මහජන දේපල කොල්ල කෑහ. බැංකු හිස් කළහ. ජාතික ධනය සිය හිත මිතුරන් අතර බෙදී යෑමට බදු ප්‍රතිපත්ති සකස් කළහ. විදේශ ආයෝජනවලින් කොමිස් ගත්හ. ජාතික සම්පත් විකුණා ඉන් අඩක් සිය ගිණුමට බැර කරගත්හ. මේවා ඔවුන් ගඟේ මුහුදේ දැම්මේ නැත. ලෝකයේ කොහේ හරි තැනක ඒවා සුරක්ෂිතව ඇත. මේ ධනය රාජසන්තක කිරීමට අණ පනත් සම්මත කර ගැනීමට පාලකයන්ට නොහැකි වීම අරුමයකි.

එපමණක් නොව, දේශපාලකයන්ට දී ඇති වරප්‍රසාද, ගෙවන වේතන, ආයතන වෙනුවෙන් පවත්වා ගෙන යන පහසුකම්වලට වැයවන වියදම් සීමිත කාලයකට අත්හිටුවා කැපකිරීම් කරන්නට දේශපාලකයන්ට නොහැකි ද? මන්දයත් ඉතිහාසය මුළුල්ලේම ඔවුන් අසාධාරණ ලෙස ධනය උපයා ඇති බැවිනි. රාජ්‍ය ආයතනවල ඇති අසීමිත වියදම් පවතින දූෂණ වංචා නතර කිරීමට නොහැකි ද? නිලධාරීන් අතර ඉතාම සුළු පිරිසක් සීත කාමරවල සිට සියලු යාන වාහන පහසුකම් ලැබ, වරප්‍රසාද ලැබ ලක්ෂ දහයට වැඩි වේතන ලබා ගැනීම යම් කාලයකට පාලනය කළ නොහැකි ද? අසීමිතිව ආදායම් ගලා එන පෞද්ගලික අංශයේ ක්ෂේත්‍ර ගණනාවක් ඇත. වෛද්‍ය, නීතිඥ, විවිධ ව්‍යාපාර, පෞද්ගලික අධ්‍යාපන, විවිධ සේවාවන් විසින් උපයනු ලබන ධනය අසීමිතය. මේවා නියාමනය කර ඒ මඟින් නීත්‍යානුකූලව රජයට බදු අයකර ගැනීමට ක්‍රමවේද සකස් කිරීමට නොහැකි ද ? කිසිදු අපහසුතාවයක් නැතිව ආදායම් උපයන රජයට බදු ගෙවිය හැකි ක්ෂේත්‍ර ගණනාවක් ඇත.

රජයේ හෝ පෞද්ගලික අංශයේ සේවකයාට ලක්ෂයක දෙකක පඩියක් අත්සන් කර ලබා ගන්නට සිදු වී ඇති අතර, ඒ මුදලින් කෑම බිම, බෙහෙත් හේත්, ජල විදුලි බිල්, දරුවන්ට අධ්‍යාපනය, ගෙයක් දොරක් හදා ගැනීම, ඇඳුම් පැළඳුම් ගැනීම, තමන්ගේ ප්‍රමාණයට ගැළපෙන වාහනයක් අත්නම් එය නඩත්තු කිරීම, යුතුකම් ඉටුකිරීම වැනි සාමාන්‍ය පවුලක අසීමිත අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා කරන්නට සිදුව ඇති සටන අපමණය. පාලකයෝ හිතන්නේ දන්නේ මේ සේවකයන් අත්සන් කර ලබා ගන්නා එකම වැටුප ගැනය. ජන ජීවිතයට අත්‍යවශ්‍ය සියලු භාණ්ඩ, සියලුම සේවාවන් මෙයට වසරකට පමණ පෙර තිබූ මිල මෙන් හතර පස් ගුණයක් වැඩි වී ඇති වර්තමානයේ රුපියල් ලක්ෂයක් දෙකක් මහා විශාල මුදලක් සේ පාලකයෝ හිතනවා ඇත. එහෙත් කොහොමත් බදු නොගෙවා හෝ නිසි පරිදි බදු නොගෙවා අසීමිතව ධනය උපයන සුළු පිරිසක්ද සිටින බව පාලකයන් කල්පනා නොකරන අතර ඔවුන්ගෙන් බදු අයකර ගැනීමට කටයුතු නොකරති.

දේශපාලකයන් පාර්ලිමේන්තුවෙන් හොඳට කා බී සියලු වරප්‍රසාද විඳ කොමිස් ගසා, මහජන දේපල කොල්ල කා පරම්පරා ගණනකට ධනය උපයා වසර පහ සම්පූර්ණ වූ පසු විශ්‍රාම වැටුපකටත් හිමිකම් ලබා බලයෙන් විසිවෙයි. වසර 30 ක් 35 ක් විවිධ දුෂ්කරතා මැද රාජ්‍ය සේවයේ නියුතුව විශ්‍රාම වැටුපත් ඇතිව සිය දරු මුණුබුරන් සමග නිවාසගත වී ජීවත් වෙන්නට උත්සාහ කරන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ටත් බදු ගැසීම කොරතම් අමානුෂික ද?

සමහර දෙමව්පියන් සිය දරුවන්ට නිසි පරිදි යුතුකම් ඉටුකර යම් දේපළක් විකුණා එම මුදල බැංකුගත කරන්නේ මාසිකව කිසියම් පොලියක් ලැබ සිය කෑම බීම, බෙහෙත් හේත් යුතුකම් ඉටු කිරීම ආදි අවශ්‍යතා කිසිවකුට බරක් නොවී ඉටුකර ගැනීමටය. එවැනි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් බැංකුවක තැන්පත් කරන ස්ථාවර තැන්පතුවෙන් බැංකුකරුවෝ ආයෝජනය කරති. මුදල් හිමිකරුට මාසිකව පොලියක් ගෙවති. ඒ පොලියෙන් රජය බදු අය කිරීම මානුෂික නැත. සමහර රෝග සඳහා මාසිකව ප්‍රතිකාර ගැනීමට හා ඖෂධ ගැනීමට මෙයට මාස කීපයකට පෙර රුපියල් විසි පන්දහසක් වැය කිරීමට සිදු වූ ජ්‍යෙෂ්ඨ පුරවැසියකු කීවේ අද ඔහුට රුපියල් පනස් දහසක් පමණ වැය වන බවය. ඔහුගේ කතාව ඇත්තය. මාස හතරකට පෙර ඇසට දැමූ ඖෂධය මිල රු. 1470 කි. අද එය රු. 4350 කි. අනිත් ඒවා ගැන කවර කතා ද ?

ඉහළ යන ජීවන වියදමට සාපේක්ෂව ජනතාවගේ ආදායම වැඩි විය යුතුය. එසේ වැඩි වීමක් නැතිව වක්‍ර බදු හරහා ද ජනතාවගේ බොටුව මිරිකමින් පවතී. ආහාරපාන ඇතුළු සියලුම පාරිභෝගික භාණ්ඩ හා සේවා තුන්හතර ගුණයකින් වැඩි වී ඇති බැවින් අඩකින් මැරුණ ජීවිතයක් ජනතාව ගත කරති. මෙසේ තිබිය දී රජය අසාධාරණ බදු ප්‍රතිපත්තියක් මෙම ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාවට නංවා ඇත. 2023 ජනවාරි 20 වැනි දින ‘දිවයින’ පත්‍රයේ දෙවන පිටුවේ පළවූ වාර්තාවක ‘බදු ප්‍රතිසංස්කරණවලට මහ බැංකු නිලධාරීන්ගේ විරෝධය’ යන මැයෙන් වාර්තාවක් විය. ආර්ථික පසුබෑම නිසා පීඩාවට පත්ව ඇති විශාල පිරිසකට බදු වැඩි කිරීම දරාගත නොහැකි බව එම වාර්තවේ සඳහන්ය. පරිණත දේශපාලකයන් සිටින රජයක වගකිවයුතු නිලධාරීන් සිටින රටක, ජනතාවගෙන් 90% ක් පමණ වූ මෙම පීඩා විඳින ජනතාවගේ ජන ජීවිතය සෘජු බදු හා වක්‍ර බදු මගින් පීඩාවට පත් කරමින් කරන ක්‍රීඩාවේ ජය පරාජය කෙසේ අවසන් වේදැයි කිව නොහැකි තරමටම ව්‍යාකූලය. රජයේ මෙම අසාධාරණ බදු ප්‍රතිපත්තිය පිළිබඳව යළින් සලකා බැලීම හැම පැත්තටම ගුණදායකය.

එන්. එච්. ශ්‍රියාරත්න
සාම විනිසුරු – මුළු දිවයිනටම
කිරිබත්ගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment