ජනතාව පිළිගන්න නව ආණ්ඩුවකට අවස්ථාවදීම එකම විසඳුමයි – අනුර කුමාර

258

* ගෝඨාභය – මහින්ද ඇතුළු ආණ්ඩුවම යා යුතුයි

* කබ්රාල් හිරේ දමනවා

*  අරගලය එක මිටකට ගේන්න නායකත්වය දෙනවා

* ජනපතිට – අගමැතිට අද ජනතාව ඇමතීමටත් බැරිවෙලා

රට පුරා තැන තැන පැන නැඟී ඇති සියලු තරුණ අරගල, සටන් සහ නැඟිටීම් පොදු එක්සත් ව්‍යාපාරයක් තුළට ගෙන ඒම සඳහා නායකත්වය ලබා දීමට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය සූදානම් යැයි එහි නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඒ මහතා මේ බැව් පැවසුවේ එම පක්ෂය ඊයේ (01 වැනිදා) කොටුව දුම්රියපළ ඉදිරිපිට දී පැවැත්වූ මැයි දින රැලියේදීය.

“එම අරගල එකතැන වේලීමට හෝ මියැදීමට ඉඩ ලබා දිය යුතු නැහැ” යැයි කී හෙතෙම අරගලය ඉදිරියට ගෙන යා යුත්තේ වෙන් වෙන්ව නොව එක්සත්ව, එකමුතුව යැයි ද කීවේය.

ඒ සඳහා දේශපාලන නායකත්වයක් සහ මඟපෙන්වීමක් අත්‍යවශ්‍ය බවත් සමාජය නව පරිවර්තනයක් ඉල්ලා සිටින අවස්ථාවක එවැනි කටයුත්තක් සඳහා නායකත්වය දීම අත්හල නොහැකි වගකීමක් බවත් දිසානායක මහතා පැවසීය.

තැන තැන පැන නැඟී ඇති සියලු අරගලයන්ට ජනතා විමුක්ති පෙරමුණ ධෛර්යය සහ සුබ ප්‍රාර්ථනා කරන බවත් එය නොනවත්වා ඉදිරියට ගෙන යන ලෙස ඉල්ලා සිටින බවත් අනුර කුමාර දිසානායක මහතා කීවේය.

තරුණ පරම්පරාව අනතුරේ ඉව දැනී අන් කවරදාටත් වඩා වේගයෙන් අවදි වී ඇතැයි සඳහන් කළ දිසානායක මහතා එය සුවිශේෂී තත්ත්වයක් බවත් කීවේය.

සිරිමන්ත රත්නසේකර, ඡායාරූප – තුෂාර අතපත්තු
 

advertistmentadvertistment
advertistmentadvertistment