ජනතාව පීඩාවට පත්කරන අනීතික ණය තහනම් කරනු!

322

ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුදය ආහාර, ඉන්ධන, ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල උග්‍ර හිඟයක් ඇති කර වැඩි පිරිසක් ගැඹුරු දරිද්‍රතාවයට තල්ලු කර ඇත. කාන්තාවන් සහ ගැහැනු ළමයින් වැටුප් නොලබන ශ්‍රම බළකායට විශාල වශයෙන් එකතු වෙමින් සිටී. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් මිලියන නවයක් පමණ එදිනෙදා ආහාර පාන ලබාගත නොහැකි තත්ත්වයකට පත්කර ඇති හෙයින් ජනතා අසහනය වැඩිවී, කොල්ලකෑම් මෙන්ම ඇතැම් කාන්තාවන් හා ළමුන් ලිංගික සේවයේ යෙදවීම දක්වාම තත්ත්වය බැරෑරුම් වී ඇත.

වර්තමාන ආර්ථික අර්බුදයේ දරුණුතම ප්‍රතිඵල අත්විඳීමට සිදුව ඇත්තේ රටේ දුප්පත්ම ජන කොටස්වලට වන අතර අර්බුදයට විසඳුම් වශයෙන් රජය ඉදිරිපත් කරන සැලසුම් මගින් ද එම ජනතාව වඩාත් පීඩාවට පත්වනු ඇතැයි මේ වෙනුවෙන් උනන්දුවක් දක්වන බොහෝ පිරිස් අද බියට පත්ව සිටී.

මෙවන් තත්ත්වයක් යටතේ පසුගිය රජයයන් ජනතා අභිලාෂය නොසලකා, ලංකාවට අවශ්‍ය වූ සංවර්ධනය ළඟාකර ගැනීම වෙනුවට අනවශ්‍ය ව්‍යාපෘති හා ජනතාවට හානිකර ව්‍යාපෘති සිදුකිරීම සඳහා ලබාගත් ණය ගෙවීම සඳහා ජනතා බදු භාවිත කිරීම සහ ඊට අවශ්‍ය මුදල් ලබාගැනීමට අසාධාරණ බදු පැනවීම අනුමත කළ නොහැකිය. පසුගිය රජයයන්වලදී අසීමාන්තිකව ලබාගත් ඇතැම් ණය ලෝක බැංකුව විසින් පවා හඳුනාගෙන ඇති ආකාරයට හානිකර ණය, අසාධාරණ ණය, පලක් නොමැති ණය වැනි අනීතික ණය ලෙස සඳහන් කළ හැක. එසේ වුවද අත්තනෝමතිකව කටයුතු කළ රජයයන් විසින් සිදු කරනු ලැබූ දූෂණයේ සහ වගකීම් විරහිත ණය ගැනීමේ පිළිවෙත්වල බර; ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ අනෙකුත් ණය දෙන්නන් විසින් ඉවක් බවක් නොමැතිව ණය ජාවාරම් කිරීම සහ ශ්‍රී ලංකාව සහ අනෙකුත් රටවල්වල දැඩි ලෙස හෙළිදරව් වී ඇති පුද්ගලික ණය හිමියන්ගේ දණ්ඩමුක්තිය (impunity) මේ වන විට ජනතාව මත පටවා තිබේ.

මේ වන විට ජනතාවගේ සහභාගිත්වයකින් හා විවෘත භාවයකින් තොරවම වර්තමාන ශ්‍රී ලංකා ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග සාකච්ඡා යළි අරඹා ඇති බැවින්, වඩාත් දැඩි කප්පාදු සහ කොන්දේසිවලට මුහුණ දීමට සිදුවන බවට අපට බියක් ඇතිවී තිබේ. දරාගත නොහැකි සහ නීත්‍යනුකූල නොවන ණය බරින් මිරිකී සිටින ශ්‍රී ලාංකීය ජනතාව සමඟ අනෙකුත් සියලුම රටවල්වල ජනතාවගේ සහයෝගීතාවයෙන් යුතුව විරෝධය පෑමේ සහ ප්‍රතිරෝධය දක්වන මේ මොහොතේ පහත සඳහන් ඉල්ලීම්වලට ගරුකරන ලෙස රජයට හා ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලට මේ අවස්ථාවේ බලකර සිටී.

සැප්තැම්බර් 07 සාධාරණත්වය සඳහා වන ක්‍රියාකාරිත්වයේ දිනය වශයෙන් නම් විය. ඒ අනුව පැවැත්වූ මාධ්‍ය හමුවේදී පරිසර යුක්ති කේන්ද්‍රයේ (CEJ) අධ්‍යක්ෂ මෙන්ම Friends of the Earth International (FOEI) හි වත්මන් සභාපති හේමන්ත විතානගේ මහතා පෙන්වා දුන්නේ, මේ වන විට තිබෙන දත්තවලට අනුව මිලියන 9ක් ආහාර ගැටලුවෙන් පීඩාවට පත්ව සිටින බවයි. ඒ විතරක් නොව ඔවුන්ට වේල් තුනක් ආහාර ලබා ගැනීමේ නොහැකියාව පිළිබඳවත් පෙන්වා දුන්නේය. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සිවිල් සමාජය වගේම ජාත්‍යන්තරව කටයුතු කරන Asia Pacific Movement of Debt and Development (APMDD) පිලිපීනය මූලික කොටගෙන පිහිටුවා ඇති සංවිධානයකි. එහි ප්‍රධානී ලීඩිං ඇක්විල් සාමාජිකත්වය සහ ලෝකයේ විවිධ රටවල්වල සිටින සිවිල් සමාජ සංවිධානවල මූලිකත්වය සහිතව ලංකාවේ ජනතාව සමග තමන්ගේ එකමුතුකම ප්‍රදර්ශනය කිරීම සඳහා දිනයක් වෙන් කර ඇති බව පෙන්වා දෙයි. ඒ පිළිබඳව වන සහයෝගිතාවයේ දිනය වශයෙන් සැප්. 07 යොදාගෙන තිබූ අතර අද මේ මොහොත වන විට ලෝකයේ රටවල් රාශියක සිවිල් සමාජ ජනතාව සමග අත්වැල් බැඳගෙන මතුව ඇති ගැටලුවත් ඒ වගේම ආහාර ප්‍රශ්නය ඇතුළු ශ්‍රී ලංකාවේ මේ වන විට මතුව තිබෙන ඔවුන්ගේ ක්‍රියාමාර්ග මාධ්‍ය හරහා එකමුතුව බෙදා හදා ගැනීමට කටයුතු කරමින් සිටී.

අද අපට මුහුණ දීමට සිදුව ඇති ප්‍රධාන ගැටලුව මෙම ණය පිළිබඳ ගැටලුවයි. අපට නොදන්වා, අපට නොකියා ලබා ගෙන ඇති මෙම ණය පිළිබඳව කටයුතු කිරීමට බැංකුද සමග සාකච්ඡා කරමින් යම් වැඩපිළිවෙළක නිරතවී සිටී. මෙම වැඩපිළිවෙළේ අවසානය විධියට අපට මෑත කාලයේදී පෙනී ගිය ආකාරයට බදු බර ලංකාවේ වැඩිවෙමින් පවතී. ජනතාව සතු යම් යම් ව්‍යාපාර අපට සේවය සලසන ඒවා පුද්ගලිකකරණය කිරීමට පෙළඹෙමින් සිටී. පසුගිය කාලයේ ආයතන තිස් නවයක් පුද්ගලිකකරණය කළ යුතු යැයි යෝජනා වී ඇත. මේ මොහොත වන විට අපට ඇති ප්‍රධාන ප්‍රශ්න අතරට රජය විසින් සිදුකර ගෙන යන මර්දනකාරී වැඩපිළිවෙළ අවධානයට ලක් විය යුතුය. ණය පිළිබඳ ගැටලුවේදී අංශ දෙකක් පිළිබඳව අපගේ අවධානය යොමු කළ යුතුය. සියයට හතළිහක් (40%) පමණ වන ණය පුද්ගලික බැංකුවලින් ලබා ගත් ණයයි. මේ පිළිබඳ තොරතුරු අපි වෙනුවෙන් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දන්නෙත් නැහැ. ඒ පිළිබඳ නිවැරදි තොරතුරු සොයා ගැනීම පවා අසීරු වී තිබෙන බව හේමන්ත විතානගේ මහතා විසින් පෙන්වා දෙන ලදී.

අප නොදන්නා, අපට තොරතුරු නොකියැ වූ ආයතනවලින් ලබා ගත් ණයක් ගෙවීම සඳහා ජනතාවට මේ අවස්ථාවේදී සිදුව තිබේ. මෙම ණය වැය කරන ලද්දේ කිනම් සංවර්ධන කටයුත්තකටදැයි නොදනී. ලංකාවට ණය ලබාදෙන ආයතනවලින් ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, Asia Infrastructure investment Bank – China යන බැංකු මෙහිදී ඉදිරියෙන් සිටී. මෙම ණය පිළිබඳ තොරතුරු රජය විසින් ලබා දීම යුතුකමකි.

අනීතික ණය – (Illegitimate Dept)

රටක් ණය ගැනීම පිළිබඳව විවෘතභාවයකින් යුක්තව කටයුතු කළ යුතු වන අතර යම්කිසි රජයක් ඒ රජය පත්කළ ජනතාවට එරෙහිව කටයුතු කිරීමට ලබාගත් ණයක් භාවිත කරනවානම් හෝ යම්කිසි ණයක් හේතුවෙන් විශාල පාරිසරික හානියක් ඇතිකර තිබේ නම්, සමාජ හානියක් ඇතිකර තිබේනම් ඒ මගින් ආර්ථිකයට යම් වැදගත් එකතු කිරීමක් – ලාභයක් නොලැබෙන්නේ නම් විවිධ ණය හඳුන්වාදීමට ‘අනීතික ණය’ යන්න භාවිත වෙනවා. Illegitimate Dept යනුවෙන් මෙය හඳුන්වනවා. මෙහි ණය වර්ග 03 ක් තිබෙනවා.

අපරාධමය ණය (Criminal Dept)
අසාධාරණ ණය කොන්දේසි මත ලබා දී ඇති ණය (Unfair Dept)
අකාර්යක්ෂම ණය (Ineffective Dept) ආදී වශයෙනි.

ගිං ගඟ – නිල්වලා ගඟ ව්‍යාපෘතිය සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව සකස් කිරීමට තිබූ ව්‍යාපෘතියක්. ඒ සඳහා රු. බිලියන 4කට අධික ණයක් ලබාගෙන තිබෙනවා. ඒ ණය මුදල චීන සමාගමකට ලබා දී ඇත්තේ සේවය සැපයීමේ මුදලක් වශයෙනි. නමුත් භූමියේ කිසිම දෙයක් සිදුව නැති බව අනාවරණය වී ඇත. විගණකාධිපති වාර්තාවට අනුව මේ CAMEC නම් චීන සමාගමට ලබා දුන් එම මුදල ඵලක් රහිත ණයක් ලෙස පැහැදිලිව සඳහන්ව ඇත. එවැනි ණයක් අපි ආපසු ගෙවන්නේ ඇයි? ද යන්න ගැන අප හැමෝටම තිබෙන ප්‍රශ්නයක්.

නෙලුම් කුලුන ව්‍යාපෘතිය සඳහා මේ ආකාරයටම එක් අවස්ථාවකදී සකස් කළ විගණකාධිපති වාර්තාවක සඳහන් වන්නේ රු. බිලියන දෙකක් සම්පූර්ණයෙන් වියදම් කළ ආකාරය සොයා ගැනීමට නොහැකි බවයි. ඒ වාගේම ඇ. ඩො. මිලියන 104 ක් (රු. මිලියන 15,238ක්) වාණිජ ණයක් වශයෙන් චීනයෙන් ලබාගෙන ඇත. ආරම්භ කර වසර 03 ක් ගත වූවත් අදටත් එයින් සේවයක් සැපයී තිබේද?. ලබාගත් ණයකින් සේවයක් සැපයෙන්නේ නැතිනම් එම ව්‍යාපෘතිය අසාර්ථක ව්‍යාපෘතියක්. මේ සඳහා ශක්‍යතා අධ්‍යයනයක් කර නැතිවාක් මෙන්ම පරිසර අධ්‍යයනයක්ද සිදුව නැහැ. අපේ නම විකුණා ඇයි මෙසේ ණය ලබාගෙන තිබෙන්නේ? මේවා අනීතික ණය ගොන්නට ඇතුළත් වනවා.

ඊළඟට උමා ඔය ව්‍යාපෘතිය. මේ ඉරානයෙන් ලබාගත් ණයකි. මේ ණය භාවිත කළේ අසාර්ථක ආකාරයෙන් හම්බන්තොට ව්‍යාපෘති වලට බව පැහැදිලියි. මත්තල ගුවන් තොටුපළ මෙන්ම හම්බන්තොට වරාය මෙහිදී පෙන්වා දිය හැකියි. පොළොව යටින් කැණීම් කරගෙන ගිය නළ මාර්ගය ගිලා බැස, අද බණ්ඩාරවෙල, හීල් ඔය දක්වා වන ප්‍රදේශයට හානි ඇතිකරමින් නිවාස 4000-5000 අතර ප්‍රමාණයක් විනාශයට පත්වුණා. නිවාස ගිලා බැස්සා. ළිං සම්පූර්ණයෙන් හින්දවමින්, ජල මාර්ග විනාශ කරමින් සිදු කළ ව්‍යාපෘතියක්. මේ අසාධාරණ ණයක් වශයෙන් පෙන්වා දිය හැකියි. අරුවක්කාරු ව්‍යාපෘතිය සඳහා වියදම් කළේ චීනෙන් ලබාගත් ණයක්. මේ ව්‍යාපෘතියට විරුද්ධ වුණා. විල්පත්තු මායිමේ, ලුණු ඔය ආසන්නව හුණු ගල් ගත් වළකයි මෙය හැදුවේ. පසුගිය වර්ෂාවට ජලය පිරී මෙම ව්‍යාපෘතිය විනාශ වුණා. කොළඹ කුණු කි.මී. 170 ක දුරක් දුම්රියෙන් රැගෙන ගොස් මෙම ස්ථානය ගොඩ කරන්න සැලසුම් වුණා. මෙයද අනීතික ණයක්. හොඳින් නිම කළ හැකි ව්‍යාපෘති එසේ නොකර, ඒ සඳහා වෙනත් ව්‍යාපෘති ගෙන එමින් සිදුකළ අක්‍රමවත් ව්‍යාපෘති වලින් වුණේ නොසිතූ විනාශයක්. දක්ෂිණ අධිවේගී මාර්ගය පිළිබඳව මහාචාර්ය අමල් කුමාරගේ ට අනුව හම්බන්තොට ව්‍යාපෘති සාර්ථකනම් කොළඹ සිට මාතර දක්වා දිවෙන මාර්ගය හම්බන්තොට දක්වා දීර්ඝ කිරීමේ ගැටලුවක් නැහැ. එවිට අපට ඇති ලාභය ඉහළයි. නමුත් අද වන විට අසාර්ථක තැනකට බලෙන් මාර්ගයක් ගෙනිහින් කොළඹ සිට ගමන් කරන වාහන කිහිපයකට පහසුවක් වූවත් රටක් විධියට අපට සිදුව තිබෙන්නේ අනවශ්‍ය පිරිවැයක් දැරීමටයි. උතුරු අධිවේගී මාර්ගය, කොළඹ වරාය නගරය (Port City), යාන් ඔය ව්‍යාපෘතිය අනීතික ණය සඳහා නිදසුන් වශයෙන් පෙන්වා දිය හැකියි. පරිසර විනාශයක් සිදුකරමින් කළ ව්‍යාපෘති ගණනාවක්ම අනීතික ණය වලින් සිදු කළ ඒවායි. ඒ වගේම මේ ණය පිළිබඳව ඇති තත්ත්වය ජනතාවට හෙළි කළ යුතුයි. මෙහිදී එක ඉල්ලීමක් විදියට තිබෙන්නේ Cancel illegitimate Dept යන්නයි. මේ අතර අනෙක් ඉල්ලීම් වන්නේ,

නිදහසේ කතා කිරීමට සහ රැස්වීමට ඇති අයිතිය ආරක්ෂා කරනු! දේශපාලන මර්දනය නතර කරනු!

ක්‍රියාකාරීන් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත කිරීම නවත්වනු !

සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව හමුදා සහ පොලිස් ප්‍රචණ්ඩත්වය භාවිත කිරීම නවත්වනු!

දුගී බවට පත්ව ඇති ජනතාවගේ ගැටලුවලට නිසි විසඳුම් ලැබෙන සමාජ ආරක්ෂණ වැඩ පිළිවෙතක් ස්ථාපිත කරනු !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ද්වීපාර්ශ්වික ණය හා අනෙකුත් සියලුම (රාජ්‍ය සහ පුද්ගලික) ණය දෙන්නන්ගේ වැරදි ක්‍රියා හෙළි කරනු !

පුද්ගලික ණය දෙන්නන්ගේ දණ්ඩමුක්තිය (impunity) අවසන් කරනු !

මහජන විගණනයක් සිදුකොට සියලු අනීතික ණය ගෙවීම නතර කරනු !

IMF හා ලෝක බැංකුව: දරිද්‍රතාව සහ අසමානතාවය වැඩි කිරීමට කරන සියලු කටයුතු නතර කරනු !

ශ්‍රී ලංකාවේ සහ දකුණේ සියලුම රටවල තිරසාර නොවන සහ අනීතික ණය, කොන්දේසි විරහිතව වහාම අවලංගු කරනු !

මර්දනකාරී IMF කප්පාදු ණය කොන්දේසි ශ්‍රී ලාංකික ජනතාව මත නොපටවනු !

විගණනයක් සිදුකොට අයථා ලෙස කළමනාකරණය කළ හා වංචා කළ මුදල් අදාළ දේශපාලකයන්ගෙන් අය කර ගැනීමට ක්‍රමවේදයක් සකස් කරනු!

දූෂණය සහමුලින් පිටුදකිනු!

යන්නයි.

රන්ජන් කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment