ජනතාව  බඩගින්නේ තබන්නේ නැහැ – අගමැති

156

ආහාර අර්බුදය හමුවේ කිසිවකු බඩගින්නේ තැබීමට කටයුතු නොකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඉදිරි කාලයේදී ශ්‍රී ලාංකීය ජනගහනයෙන් සියයට 40 ත් 50 ත් අතර පිරිසකට මේ ආහාර අර්බුදය සෘජුව බලපෑ හැකි අතර එම තත්ත්වය පාලනය කර ගැනීමට අවශ්‍ය කටයුතු සකස්කරන බවත් අග්‍රාමාත්‍යවරයා කියයි.

මෙහිදී විශේෂයෙන්ම කුඩා දරුවන් හා වැඩිහිටියන් ගැන වැඩි අවධානයක් යොමුකරන ලෙස ද අගමැතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත.

පසුගියදා 17 වැනිදා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආහාර සුරක්‍ෂිතතාව පිළිබඳ කමිටුව අගමැති කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේදී මේ උපදෙස් දී ඇත. එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතාගේ ප්‍රධානත්වයෙන් මේ ආහාර අර්බුදයට සාර්ථකව මුහුණදීම සඳහා කමිටුවක් පත්කරන ලෙසට ද අගමැතිවරයා උපදෙස් දී ඇත.

මේ කමිටුව සඳහා ඇමති නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරුන් සහ ජනාධිපති කාර්යාලය, මුදල් අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, යුද හමුදාව සහ පෞද්ගලික අංශය ඇතුළු අදාළ ආයතනවල නියෝජිතයන් ඊට එක්කරන ලෙසත් දැනුම්දී ඇති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ කමිටුවේ සැලසුම සති දෙකක් ඇතුළත තමාට ලබාදෙන ලෙස ද දන්වා තිබේ.

ආහාර සුරක්‍ෂිතතාව යන කාරණයේදී ළමා නිවාස, වැඩිහිටි නිවාස සහ ආබාධිත පුද්ගලයන් සිටින නිවාස සඳහා විශේෂ අවධානයක් යොමුකරන ලෙස ද අගමැතිවරයා උපදෙස් දී තිබේ.

ආහාර සුරක්‍ෂිතතා වැඩසටහන යටතේ මෙරට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 336 සංවර්ධනය කර ඉලක්ක කරා ගෙනයෑමට නායකත්වය ලබාදීම සඳහා ඉන් කොට්ඨාස 225 ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ඉතුරු ඒවා අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන්ට සහ පෞද්ගලික අංශ යටතේ භාරදිය යුතු බවට ද අගමැතිවරයා වැඩිදුරටත් අදාළ අංශවලට උපදෙස් දී ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment