ජනතාව බිය වද්දමින් පත්‍රිකා බෙදූ ආවා කල්ලියේ 42 ක් අත්අඩංගුවට

312

උතුරේ ජනතාව බිය වද්දමින් පත්‍රිකා බෙදා හරිමින් කඩු කිණිසි ළඟ තබා ගෙන සිටි ආවා කල්ලියේ සාමාජිකයින් බව කියන පුද්ගලයින් 42 ක් වවුනියාව හා කිළිනොච්චිය පළාත්වලදී පොලිසිය විසින් 01දා අත්අඩංගුවට ගෙන තිබේ.

වවුනියාවේ ඕමන්ත නොච්චිකුලම ප්‍රදේශයේ සැඟ වී සිටි පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් සමග කටයුතු කළ තවත් 19 දෙනෙකු කිළිනොච්චිය ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන තිබේ.

ඉතිරි හත් දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ මුලතිව් හා යාපනය ප්‍රදේශයෙන් වන අතර ඔවුන්ව අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔවුන් ළඟ පත්‍රිකා විශාල ප්‍රමාණයක්, කඩු කිණිසි හා වෙස් මුහුණු යනාදිය තිබී ඇත.

ආවා කල්ලියේ සාමාජිකයින් බව පවසමින් පසු ගිය සතිය පුරාම උතුරේ බොහෝ පළාත්වල පත්‍රිකා විශේෂයක් බෙදා හැර තිබූ අතර ඉන් ප්‍රකාශ කොට තිබුණේ සමාජයේ වැරදි ක්‍රියාවලට යොමු වන පුද්ගලයින්ට දැඩි දඬුවම් ලබා දෙන බවයි.

මුලින්ම මෙම පත්‍රිකා කීපයක් සමග මුලතිව් ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනෙකු පොලිසියට හසු වීමෙන් පසුව ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී සෙසු පිරිස අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.

යාපනයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ ආවා කල්ලිය මේ වන විට සම්පූර්ණයෙන්ම මර්දනය කොට ඇති බවත් පත්‍රිකා බෙදමින් මේ දිනවල පෙනී සිටින්නේ ආවා කල්ලියේ නම විකුණමින් කටයුතු කරන කප්පම්කරුවන් පිරිසක් හා හොර කණ්ඩායමක් බවයි. අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන්ගෙන් ප්‍රශ්න කොට ඔවුන්ව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලසිය පියවර ගෙන තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment