ජනතාව බොරුවෙන් මුලා කරන මේ දුර්දාන්ත ආණ්ඩුව හැකි පළමු අවස්ථාවේදීම පළවා හරිනවා – විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස

125

* තවදුරටත් ඉවසන්න රටේ ජනතාව සූදානම් නැහැ

හැකි පළමු අවස්ථාවේම මේ දුර්දාන්ත ආණ්ඩුව පෙරලීමට පියවර ගන්නා බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය. විපක්ෂ නායකවරයා මේ බව පැවසූවේ ඊයේ (13දා) පෙරවරුවේ උඩුදුම්බර හසලක දී පැවැති සමගි ජන ජනබලවේගයේ ජනහමුවකට එක්වෙමිනි. ජනහමුවට පෙරාතුව හසලක නගර මැද ඉදිකොට ඇති ගාමිණී කුලරත්න රණවිරුවාගේ පිළිරුව සහ දිවංගත ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූ විපක්ෂ නායකවරයා රණවිරු ගාමිණී කුලරත්නගේ මෑණියන් ද හමුවිය.

මෙම ජනහමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා මෙසේද පැවසීය.

ශ‍්‍රී ලංකාව මෙතෙක් තම අරමුදලෙන් මුල්‍ය සහයක් ඉල්ලා නෑ කියා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නිල වශයෙන් පවසනවා.

හැබැයි ආණ්ඩුව එම අරමුදලත් එක්ක කතා කළ බව කියනවා. ඇත්ත කියන්නේ ආණ්ඩුව ද එහෙම නැත්තං ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද කියා රටේ ජනතාව දැනගත යුතුයි.

මේ ආණ්ඩුව පවතින්නේ බොරුවෙන්. ඔවුන්ගේ එදාවේල න්‍යාය පත‍්‍රය වන්නේ ජනතාව ඇන්`දවීමයි.

”සීනි නැතිව තේ බොන්නම්, මිරිස් නැතිව හොදි කන්නම්, පිදුරු වුණත් අපි කන්නම්” කියලා ඉතිහාසයේ සමහරු කීවා. එදා වගේම අදත් පොහොර නැතිව වී ගන්නම්, හාල් නැතිව බත් කන්නම්, ලයිට් නැතිව අපි ඉන්නම් කියා මිනිස්සු ඉවසාගෙන සිටිනු ඇතැයි ආණ්ඩුව හිතනවා.

”තමුන්නාන්සේලා තවදුරටත් ඉවසනවද?

ඔබට පොහොර දුන්නේ නැති ආණ්ඩුව තවදුරටත් ඉන්න ඕනද? හැම ගෙදරකටම ගෑස් බෝම්බයක් දුන්න ආණ්ඩුව තවදුරටත් ඉන්න ඕනද? රටපුරා ජනතාව පෝලිමේ ඉන්න තැනට මේ රට පත් කරපු ආණ්ඩුව තවදුරටත් ඉන්න ඕනද? ඔබේ ඊටීඑෆ් සහ ඊපීඑෆ් කොල්ල කන්න හදන ආණ්ඩුව තවදුරටත් ඉන්න ඕනද?

පත් වෙච්චි ගමන් ධන කුවේරයින්ට බදු සහන දීලා රටේ ආර්ථිකය ආදාහනය කරලා දාපු මේ දුර්දාන්ත ආණ්ඩුව තවදුරටත් ඉන්න ඕනද?

ජීවිත 15,000 කට වැඩියෙන් කොරෝනාවලට බිලි වෙනකන් මිථ්‍යාව මත කටයුතු කරපු ආණ්ඩුව තවදුරටත් රකින්න ඕනද කියා මා ඔබෙන් ප‍්‍රශ්න කරනවා. එහෙනම් අප ලැබෙන පළමු අවස්ථාවේම මේ ආණ්ඩුව පෙරළා දැමිය යුතුයි. ඉන් අනතුරුව

මතු පරම්පරාවේ ප‍්‍රශ්නවලට උත්තර හොයන, හැකියාවට කුසලතාවයට දක්ෂතාවට ඉඩ දෙන ආණ්ඩුවක් බිහි කළ යුතුයි. ඒ වෙනුවෙන් ඇති එකම විකල්පය සමගි ජන බලවේගයයි.

අකිත පෙරේරා, මහියංගනය – රංජිත් කරුණාවීර

advertistmentadvertistment
advertistmentadvertistment