ජනතාව මිරිහානේ ජනපති නිවස වටලයි

795

අනපේක්‍ෂිත මොහොතක මිරිහානේ ජනපති නිවස හා ඒ අවටට ගලා ආ මහජන ගඟ පාලනය කිරීමට පොලිසිය, යුද හමුදාව සහ විශේෂ කාර්ය බළකායද යෙදවූ නමුත් පත‍්‍රය මුද්‍රණය වන විටත් තත්ත්වය පාලනය වී නොතිබිණි.

ගෑස් නැහැ, ඉන්ධන නැහැ, විදුලිය නැහැ, කන්න නැහැ, අපේ ජීවිත මරුවා කරා යනවා. පාලකයෝ මර නින්දේ… තවත් වද නොවී බලයෙන් ඉවත්ව යනු…. අනේ සර් දැන් යන්න…… මැයෙන් ජනතාව නැගූ හඬ රැව් දුන්නේ තමන් පත්ව ඇති ඛේදනීය තත්ත්වය ලොවටම පෙන්වමිනි. දහස් සංඛ්‍යාත ජනකාය ජනපති නිවස වටා ඇති සියලූ මාර්ගවලට රැස්ව නගන මහ හඬ හා විරෝධය මැද අවට වාහන

ගමනාගමනයද මුළුමනින්ම ඇන හිටියේය.

ජුබිලි කණුව ප‍්‍රදේශයෙන් පළමුව නැගුණ නිහඬ ජන විරෝධය අවසානයේ ජනපති නිවස දක්වා ඇදී ගියේ මහා ජන සන්නිපාතයක් පෙරටු කොටගෙනය. සටන් පාඨ කියමින් ජනපති නිවස පිහිටි මාර්ගය මුළුමනින්ම හරස් කරමින් ඇතමෙකු මාර්ගය මත නිදාගෙන තම ජීවිත පුදන්නේ රට වෙනුවෙන් මිස අන් කිසිවකු වෙනුවෙන් නොවන බව මහ හඬින් ප‍්‍රකාශ කළේ තත්ත්වය පාලනය කිරීමට පැමිණි ආරක්‍ෂක අංශවලට තම දුක කියමිනි. කිසිවකු විසුරුවා හැරීමට පොලිස් නිලධාරීන් හෝ ආරක්‍ෂක බලඇණි පියවර නොගත්තේ ජනතා හඬ මැද කිසිවක් කළ නොහැකි වූ නිසාය. මාර්ග බාධකවල සිටි ආරක්‍ෂක බලඇණිවලට රටේ තත්ත්වය හදවතින් දකින්නැයි විරෝධය දැක්වූවන් ආයාචනා කරනු ද එහි ගිය අපට දක්නට ලැබිණි.

විරෝධතාව අතරතුර විටින් විට විදුලි ඇනහිටීම් ද සිදුවිය. වෙනදා එම ප‍්‍රදේශයේ විදුලිය විසන්ධි වීමක් සිදු නොවීය.

ඊයේ මධ්‍යම රාත‍්‍රිය වන විට අපට වාර්තා වූයේ පිරිස් විසුරුවා හැරීමට කඳුළු ගෑස් හා ජල ප‍්‍රහාර එල්ල කිරීමට පියවර ගනු ලැබූ අතර එම ප‍්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් උද්ගතව තිබිණි.

කඳුළු ගෑස් හා ජල ප‍්‍රහාර එල්ල කිරීමත් සමග කෝපවූ මහ පිරිස් තම වේදනාව පිට කළේ තමන් අතට අසුවන දෙයින් ප‍්‍රති ප‍්‍රහාර එල්ල කරමිනි. ඊයේ පත‍්‍රය මුද්‍රණය වන විට මිරිහාන එම ප‍්‍රදේශය විලාප නැගුණු යුද පිටියක් බවට පත්ව තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment