ජනතාව  වේදනාවෙන්:  ගන්න පියවර  කියන්න – නීතිඥ සංගමය රජයට කියයි

298

රටේ පවත්නා බරපතළ තත්ත්වය හේතුවෙන් බලාපොරොත්තු සුන්වී ජනතාව කෝපයට සහ දැඩි අසහනයට පත්ව ඇති අවස්ථාවක ඉන්ධන සහ ගෑස් හිඟය සම්පූර්ණ කිරීමට රජයේ සැලසුම් සහ ගන්නා දෛනික ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මහ ජනතාව නිරන්තරයෙන් දැනුවත් කළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

කුරුණෑගල මාස්පොත ඉන්ධන පිරවුම්හලක් අසලදී පිස්තෝලයක් අතැති පොලිස් නිලධාරියකු පුද්ගලයකුට පහරදෙන ආකාරය සහ ඉන්පසු ඇතිවූ බහින්බස්වීමේ වීඩියෝ පට සහ අතුරුගිරිය ඉන්ධන පිරවුම්හලක් අසල ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබද වාර්තා ආදියෙන් රට පුරා තිබෙන ආතතිය නිරූපනය වන බව ද එම සංගමයේ සභාපති නීතිඥ සාලිය පීරිස් මහතා කියා සිටී.

එම විශේෂ ප්‍රකාශයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

පොලිස් හා ත්‍රිවිධ හමුදා නිලධාරීන් හට සේවය කිරීමට සිදුවී තිබෙන්නේ දුෂ්කර පසුබිමක බව අපි පිළිගන්නෙමු. ඔවුන් සහ ඔවුන්ගේ පවුල්ද සෙසු මහජනයා මුහුණදෙන පීඩාවන්ට ලක්වනවා ඇත. කෙසේ වෙතත් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් දැඩි ඉවසීමෙන් හා වගකීමෙන් යුතුව මහජනතාව සමඟ කටයුතු කිරීම ඉතා වැදගත්ය. රාජකාරි කරන පොලිස් නිලධාරීන් මහජනතාව මුහුණදෙන දැඩි පීඩාව පිළිබඳ දැනුවත්භාවයකින් හා අවබෝධයෙන් යුතුව සම කම්පනයෙන් යුතුව කටයුතු කිරීම අත්‍යවශ්‍යය. නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් හැමවිටම සාධාරණ සහ අපක්‍ෂපාතී විය යුතුය. පක්‍ෂපාතී සහ අසාධාරණ ලෙස පෙනෙන ඕනෑම ක්‍රියාවක් හේතුවෙන් දැනට ද ගොඩනැගෙමින් පවතින අවිශ්වාසය තවත් වැඩිවනු ඇත.

මහජනයා මුහුණදෙන ජීවන බර සැහැල්ලු කිරීම සඳහාත්, මහජනයාගේ අවශ්‍යතා සාධාරණ අන්දමින් ඉටුකිරීම සඳහාත් වහාම ක්‍රියාමාර්ග ගන්නා ලෙස අපි රජයෙන් ඉල්ලා සිටින්නෙමු. පවත්නා තත්ත්වයේ බැරෑරුම්කම මහජනයාට හෙළිදරව් කරනවාට අමතරව, රට දේශපාලනික, ආර්ථික සහ සමාජ අර්බුදයෙන් මුදාගැනීමට ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබදවද රජය නිරන්තරව මහජනයා දැනුවත් කිරීම ඉතා වැදගත්ය. එසේම, එම ක්‍රියාමාර්ගවල සිදුවන ප්‍රගතිය පිළිබදව ද ඉන්ධන, ගෑස් සහ වෙනත් අවශ්‍යතා සපිරීම සදහා සකස්කර තිබෙන සැලසුම් සහ එම සැලසුම්වල ප්‍රගතිය පිළිබදවද දැනුම්දිය යුතුය.

මෛ අර්බුද විසඳීම සඳහා කටයුතු කිරීමේදී මහජනතාව තුළ විශ්වාසය නැවත තහවුරු කිරීම සහ මහජන විශ්වාසය ගොඩනැගීම ඉතා වැදගත් පියවර බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කරයි. රජය සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන කෙරෙහි මහජනයා අතර නිර්මාණය වෙමින් තිබෙන දැඩි අවිශ්වාසය හේතුවෙන් භයානක ප්‍රතිඵල ඇතිවිය හැකි අතර එමගින් නැවත සැකසිය නොහැකි දැඩි හානි සිදුවිය හැකිය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment