ජනතාව හාමතේ සිටියදී  මන්ත්‍රීවරුන් වෙන්දේසි වෙනවා

62

– එක්සත් සංවර්ධන පෙරමුණේ සභාපති රණවක ආරච්චි

ජනතාව හාමතේ සිටියදී මන්ත්‍රීවරුන් වෙන්දේසි වෙනවා යැයි එක්සත් සංවර්ධන පෙරමුණේ සභාපති රණවක ආරච්චි මහතා පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ  රාජගිරියේ පිහිටි එම සංවර්ධන පෙරමුණේ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් රණවක ආරච්චි මහතා මෙසේද පැවසීය.

රට මුහුණපා සිටින බරපතළ දේශපාලන හා ආර්ථික අර්බුදය හමුවේ ඇතිවූ ජනතා අරගලය නිසා හිටපු අගමැතිතුමාට තනතුර දාලා යන්න වුණා. හිටපු ජනාධිපතිතුමාට තනතුර විතරක් නෙමෙයි රටත් දාලා යන්න වුණා. කටින් වැඩ පෙන්නපු විෂය අවබෝධයක් නැති අමාත්‍යවරුන්ට මොකද වුණේ කියල අපි දැක්කා. මේ තුළින්වත් සමහරු තවමත් යථාර්ථය අවබෝධ කරගෙන නැහැ. ජනතාව පිල් බෙදිලා රණ්ඩුවෙලා ගම් නගරවල කෝලහාල කරගනිමින් ජීවිත නැතිකර ගනිමින් තම තමන් ඡන්දය දීලා පත්කළ මන්ත්‍රීවරු කොහිද ඉන්නෙ කියල අලුත් ජනපතිවරයා තෝරන පාර්ලිමේන්තු ඡන්දයේදී දකින්න ඇති. ජනතාව පිල් බෙදිලා මරාගෙන ලේ හලාගෙන තෝරාගත් මන්ත්‍රීවරු අද දේශපාලන පක්ෂවල කවලම් වෙලා අච්චාරු වෙලා මොවුන්ගේ පක්ෂය මොකක්ද යන්න හොයාගන්න බැරි තරමටම සමහරු විකිණිලා. සමහර මන්ත්‍රීවරුන්ට රටක් අවශ්‍ය නැහැ. තමන්ගේ වාසිය පමණයි අවශ්‍ය. ජනතාව හාමතේ මන්ත්‍රීවරු වෙන්දේසියේ. ඡන්දය දුන් ජනතාව අමතක කර ජනතාවගේ වේදනාවත් විකුණලා කීයක් හරි හොයා ගන්න බලනවා. අද උදෑසන අරගල භූමියට එල්ල කළ ප්‍රහාරය අපි දැඩි පිලිකුලෙන් හෙළා දකිනවා. ප්‍රශ්න විසඳිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ සිට බව පාලකයන් මතක තබා ගත යුතුයි. එසේ නොමතිව රට ලේ විලක් බවට පත් කිරීමට රජය ක්‍රියා නොකළ යුතුයි. මෙම ක්‍රියාදාමයන් නිසා අපිට සිටින ජාත්‍යන්තර මිතුරන් අහිමි විය හැකියි. එලෙස වුවහොත් රට වැටී තිබෙන බරපතළ ආර්ථික අගාධයෙන් අපට ගොඩයෑමක් නොමැතිව සිතීමටත් නොහැකි බරපතළ ව්‍යසනයකට අප රට මුහුණපා තිබෙනවා.

වසන්ත ලියනගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment