ජනතා අභිවෘද්ධියට කැපවූ ගාමිණී දිසානායක

229

හිටපු අමාත්‍ය ගාමිණී දිසානායක මහතාගේ  28 වන ගුණ සමරුව වෙනුවෙනි

 වර්ෂ 1947හි මාර්තු මස 21 වැනි දින උපත ලද ලයනල් ගාමිණී දිසානායක මහතා දේශපාලන වටපිටාවක් සහිත පවුලක හැදී වැඩුණු දරුවෙකු විය. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ කීර්තිමත් ආදී සිසුවකු වන එතුමන් එක්සත් රාජධානියේ කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයේ නීති අංශයෙන් උසස් අධ්‍යාපනය සපුරාලීමෙන් අනතුරුව අධිනීතිඥවරයකු ලෙස සිය වෘත්තීය ජීවිතයට අවතීර්ණ විය. එතුමන් ජාතික දේශපාලනයට පිවිස ඍජු සහ අවංක අරමුණු ඔස්සේ සමස්ත පොදු ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා කටයුතු කළ ජන නායකයකු ලෙස ජන හදවත් තුළ සදානුස්මරණීය සටහන් තැබූ චරිතයකි.

 වසර දහස් ගණනක් අප රට ස්වයංපෝෂිත කර වූ කෘෂිකර්මාන්තය නඟාසිටුවීමටත්, ජල විදුලිය උත්පාදනය තුළින් රට තුළ නව කාර්මික ප්‍රබෝධයක් ඇති කරලීමටත් හැකි වූයේ ගාමිණී දිසානායකයන් නායකත්වය දුන් මහවැලි ව්‍යාපාරය හරහායි. කෘෂිකර්මාන්තයට හා විදුලි උත්පාදනයට පමණක් සීමා නොවූ මහවැලි ව්‍යාපාරය එම කලාපයන්හි ආගමික, සංස්කෘතික, අධ්‍යාපන, සෞඛ්‍ය, ක්‍රීඩා ආදී සෑම අංශයක්ම එකිනෙකට සමගාමීව සංවර්ධනය කිරීමට එතුමන් විදිමත් සැලැස්මක් සකස් කළේය. මහවැලි ප්‍රජා ගුවන් විදුලිය ජනතාව සංවර්ධන කටයුතු සඳහා නැඹුරු කරගැනීම සහ ඔවුන් තුළ සුභවාදී ආකල්ප ඇති කිරීම අරමුණු කරගත් වැඩසටහනකි. වසර 30 කට සැළසුම්ගත ව්‍යාපෘතියක් පස් අවුරුදු සැළැස්මකට අනුව ක්‍රියාත්මක කරන්නට ඔහුට හැකි වන්නේ එවැනි සැළසුම්සහගත ව්‍යාපෘතියක් බවට පත්කිරීම නිසාවෙනි. අද දවසේත් රටේ බලශක්ති අවශ්‍යතාවයෙන් 60% පමණ සම්පූර්ණ කරනුයේ මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේ ඉදිකළ ජල විදුලි බලාගාරයන් මගිනි.

 ගාමිණී දිසානායක මැතිතුමන් ශ්‍රී ලාංකික තරුණයාට මුහුණදීමට සිදුවන අනාගත ලෝක අභියෝග විනිවිද දැකීමට සමත් වූ තුන්කල් දුටු නායකයෙකි. ලෝක ශ්‍රම වෙළෙඳපොළට අලෙවි කළ හැකි අද්විතීය ශ්‍රමිකයෙක් බිහි කිරීමේදී ග්‍රාමීය උගත් තරුණයා මුහුණදුන් ප්‍රධානතම ගැටලුව එතුමන් මැනවින් දුටුවේය. පාසල් වියේ සිටම ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණත්වය ඇති කිරීමේ වැදගත්කම සෑමවිටම පෙන්වාදුන් එතුමන් සිය මන්ත්‍රී වැටුප හා පෞද්ගලික මුදල් යොදවා නුවරඑළිය දිස්ත්‍රික්කයේ තරුණ දූදරුවන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම දියුණු කිරීමට මහත් වෙහෙසක් දරා කටයුතු කළේය. එපමණක් නොව

 ගාමිණී දිසානායකයන් අප රටට බොහෝ දෑ දිනා දුන් චරිතයකි. අප මාතෘභූමිය දිනා දීමට තව බොහෝ දෑ ස්වකීය හදවතේ පිඹුරුපත් සැකසෙමින් තිබුණා වන්නට ඇත. එහෙත්, නිස්සාර වර්ගවාදී බෙදුම්වාදයේ ගොදුරක් වීම හේතුවෙන් අද වැනි දිනෙක 52 වැනි වියේ දීම ඔහුගේ ජීවන ගමන හැර දමන්නට සිදු විය. අතීතය සාක්ෂි දරන එවැනි සිදුවීම් තුළින් ජාතිවාදයේ හා ආගම් වාදයේ අඳුරු පැතිකඩ පිළිබිඹු කරන්නකි. අතීතය ආදර්ශයට ගෙන ජාතීන් අතර එකමුතුව, සංහිඳියාව ඇති කිරීම එතුමන්ට කරනු ලබන ඉහළම ගෞරවයක් සේ අප දකිමු.

 ගාමිණී දිසානායකයන් වැනි අනාගතවාදී දේශපාලන නායකයන් විරළ මොහොතක එවැනි නායකයන්ගේ චරිතයන් ආදර්ශයට ගත් විනයගරුක, සත්‍යවාදී සහ සිය පටු දේශපාලන අරමුණු පසෙකලූ දේශපාලන සංස්කෘතියක් රට තුළ බිහිවනු දැකීම අපගේ ඒකායන ප්‍රාර්ථනාවයි.

කරු ජයසූරිය
 හිටපු කථානායක

advertistmentadvertistment
advertistmentadvertistment