ජනතා කෝපය පුපුරා ගියොත් ආණ්ඩුවටත් පාර්ලිමේන්තුවටත් බලපෑමක් – රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්

288

තමන් මුහුණ දී තිබෙන ප‍්‍රශ්න හේතුවෙන් ජනතාව කෝප වී ඇති බවත්, කෝප වුණ ජනතාව අතර පිපිරීමක් ඇති වුවහොත් එය ආණ්ඩුවටත් පාර්ලිමේන්තුවටත් බලපාන බවත් එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය. විශේෂ ප‍්‍රකාශයක් කරමින් වික‍්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

‘ඩොලර් හිඟය ඉතාමත් දරුණු තත්ත්වයකට පත්ව තිබෙනවා. විශේෂයෙන් මේ වන විට ව්‍යාපාර කඩා වැටෙමින් පවතින බවත්, රැකියා නැතිවන බවත්, මධ්‍යම පන්තිය පිරිහෙමින් පවතින බවත්, ගොවීන් අතරමංවී ඇති බවත්, මේවාට විසඳුම් අවශ්‍ය බවත් ඔවුන් පෙන්වා දෙනවා.

කොවිඞ් වසංගතය පැවතියද 2020/2021 වර්ෂයේ රටවල් ගණනාවක් ආර්ථික ප‍්‍රගතියක් පෙන්වා දී තිබෙනවා.

මේ මොහොතේ ආණ්ඩුවේ ප‍්‍රධාන යුතුකම වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් ආධාර ගැනීම හෝ ඊට පිළිගත හැකි විකල්පයක් ඉදිරිපත් කිරීමයි. නමුත් මේ වන විට ඒ දෙකම සිදු වී නොමැති බව පෙනී යනවා. එමෙන්ම මේ වන විට රටේ ජනතාව දැඩි කෝපයෙන් පසු වෙනවා.

මීට අමතරව රට තුළ ඇතිවීමට නියමිත ආහාර හිඟය අප මුහුණ පා සිටින තවත් ප‍්‍රශ්නයක්. ලැබී තිබෙන ආරංචි මාර්ගවලට අනුව සිංහල අලූත් අවුරුදු කාලය වන විට රට තුළ ආහාර හිඟයක් ඇතිවෙනවා.

බොහෝ ප‍්‍රදේශවලින් වාර්තා වන පරිදි මේ කන්නයේ අස්වැන්න ගිය කන්නයේ අස්වැන්න හා සසඳන විට 60 % ක ප‍්‍රමාණයකින් අඩු වෙනවා. මෙවැනි තත්ත්වයක් ඇති වුවහොත් අපට මුහුණ දීමට සිදුවන දේශපාලන පසුබිම ගැන ද සිතිය යුතුයි. මේ තත්ත්වය මත කෝප වන ජනතාව අතර පිපිරීමක් ඇති වනවා. ඒ පිපිරීම ආණ්ඩුවටත් පාර්ලිමේන්තුවටත් බලපායි. ආණ්ඩුව ඉන්දියාව සමඟ මේ වන විට තෙල් සහ ආහාර ණයට ලබා ගැනීම සම්බන්ධයෙන් සිදු කරන සාකච්ඡා වහාම අවසන් කළ යුතුයි.

ණය ලබා ගැනීමෙන් හෝ භාණ්ඩ ලබා ගැනීමෙන් රටේ විදේශ විනිමය තත්ත්වය විසඳෙන්නේ නැහැ. නමුත් තාවකාලික හෝ සහනයක් ලබා ගැනීමට නම් ණයට තෙල් සහ ආහාර ලබා ගන්නා වැඩසටහන් ආණ්ඩුව ක‍්‍රියාත්මක කළ යුතුයි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment