ජනතා ජන්දයෙන් ආණ්ඩුවක් හදා ගැනීම අර්බුදයට පළමු පියවරයි

69

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක

බදුල්ල ආසන සමුළුව අමතා කියයි

අපි සංවිධානය වෙමු. ජනතාව පෙළ ගස්සවමු. ජන්දය දිනා ගෙන ආණ්ඩුවක් හදා ගනිමු. රට පත්වෙලා තිබෙන අර්බුදයට පළමු පියවර එයයි. මේ දහස් සංඛ්‍යාත මුහුණුවලින් පෙන්නුම් කරන්නේ බලය අත්පත් කර ගැනීම සඳහා බදුල්ල ආසනයෙන් ලොකුම ජයග්‍රහණය අරන් දෙන්න සූදානම් බව යැයි ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක පසුගිය(19)දා බදුල්ල ආසන සමුළුව අමතා ප්‍රකාශ කෙළේය.

බදුල්ල සේනනායක පිටියේ පැවැති එම සමුළුවට එක්ව සිටි විශාල පිරිස ඇමැතූ හෙතෙම තවදුරටත් මෙසේද පැවැසීය.

මේ රට ගොඩ ගන්නා නායකයා. මේ රට ගොඩ ගත හැකි නායකයා…කිව්වට එහෙම අය නැහැ. අපි ඔක්කෝම එකතුවෙලා සාමුහික ප්‍රයත්නයක් දැරුවොත් මේ රට

ගොඩගන්න පුළුවන්. අපිට මේ වැඩේ කරන්න පුළුවන්. අපි කවුරුත් දන්නවා අපේ රට පත්වී තිබෙන අනතුර. රටකට විය හැකි රටේ ජනතාවට විය හැකි සියලු‍ම පන්නයේ විනාශ මේ රටට සිදුවී අවසන්. අපි දීර්ඝ කාලයක් මේ රටේ ජනතාව සමග මේ විදියට රට යන්න දෙන්න එපා කියලා සංවාදයක යෙදුනා.

පහුගිය අප්‍රේල් මාසේ 12දා ලංකා ඉතිහාසයේ ඉතාමත් කළු දිනය බව මතක තබා ගන්න. එදා මහ බැංකු අලු‍ත් අධිපති නන්දලාල් මහත්තයා අපි ලෝකෙන් අරන් තිබෙන ණය නොගෙවන්න තීරණය කළා. එදා සිට අපි අරන් තිබෙන විදේශ ණය

ගෙවන්නේ නැහැ. ලෝකයේ රටකට අනෙක් රටවල්වලින් විදේශ ආයතනවලින් ගත් ණය නොගෙවා ඉන්න පුළුවන් කියලා ඔබ හිතනවාද? එහෙම ලෝකයේ ඉන්න බැහැ.

අපි ඉන්දියාවට ණයයි. චීනයට ණයයි. ජපානයට ණයයි. බංගලාදේශයට ණයයි. ප්‍රංශයට ණයයි. එංගලන්තයට ණයයි. ලෝක බැංකුවට ණයයි. ජාත්‍යන්තර මුල්‍ය ණය අරමුදලට ණයයි. ආසියානු සංවර්ධන බැංකුවට ණයයි. එක්සින් බැංකුවට ණයයි. ජැයිකා අරමුදලට ණයයි. කුවේට් අරමුදලට ණයයි. මේ ණය නොගෙවා ඉන්න නම් අපි වෙන ග්‍රහ ලෝකයකට යන්න ඕන.

සමහර අය හිතනවා රනිල් වික්‍රමසිංහ ආවාට පස්සේ තෙල් පෝලිම් නැහැ. ගෑස් පෝලිම් නැහැ. වැඩේ විසඳලා කියලා. මතක තබා ගන්න විසඳලා නැහැ. පසුගිය අප්‍රේල් 12දා සිට අපි ඩොලර් කෝටි 320 ක් ලෝකෙට පොලු‍ තියලා තිබෙනවා. රුපියල් කෝටි එක් ලක්ෂ දහසය දාහක්. අපේ රටේ හැම පුරවැසියෙක්ම රුපියල් පනස්දාහක් පොලු‍ තබා තිබෙනවා. ඉදිරි වසරේ ගෙවන්න ඇති විදෙස් ණය මුදල ඩොලර් කෝටි 650 යි. මහ බැංකුව එම ණය මුදලත් ගෙවන්නේ නැහැ කියා ගණන් හිලව් හදනවා. ණය දුන් අය නිකන් ඉන්නේ නැහැ. මේ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට යන්න සිදු වුණා. අපේ ආදායම් වැඩි කරගෙන වියදම් අඩු කරගන්නා බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහතිකයක් ඕනෑ කියනවා. ආදායම වැඩි කරන්න බදු පිට බදු ගැහුවා. පසුගිය ඔක්.01දා සිට වැට් බද්ද 8% සිට 15% දක්වා වැඩි කළා. මේ නිසා භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යනවා. මේ නිසා පාසල් දරුවන්ගේ අභ්‍යාස පොත් පෑන පැන්සල සපත්තු බෑග් මේ සියල්ලේ මිල ඉහළ යන්න පටන් ගත්තා. ජනතාවට ජීවත් වෙන්න බැරි තරමට භාණ්ඩ හා සේවා මිල ඉහළ යමින් තිබෙනවා.

දැන් අපි හමුවේ ඇති අභියෝගය කුමක්ද?

මෙතෙක් මේ රට පාලනය කරන කණ්ඩායම් වලින් ජනතාවගේ ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා බලය ගත යුතුයි. එතැනින් එහා මේකට උත්තරයක් නැහැ. නව ජන්දයක් හරහා නව ආණුඩුවක් පිහිටුවන්න ඕන. ජාතික ජනබල වේගය ආණ්ඩුවක් පත් කරගත යුතුයි. ලෝකයේ හැමතැනම කඩා වැටුන රාජ්‍යයන් ගොඩනැගුවේ කඩා වැටුන ආර්ථිකයන් හැදුවේ විනාශ කරපු රටවල් ගොඩනැගුවේ විනාශ කරපු කෙනා නොවෙයි. රට විනාශ කරපු කෙනා රට ගොඩ නගයි කියලා ජනතාව විස්වාස කරන්නේ නැහැ. මේ රට යළි ගොඩනැගිය හැක්කේ අලු‍ත් බලවේගයකට පමණයි. අන්න ඒක තමයි ජාතික ජන බලවේගය.
බදුල්ල එච්.එම්. සමරකෝන් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment