ජනතා සහයෝගය මේ ආණ්ඩුවට නෑ කියා ජාත්‍යන්තර ෆිච් රේටින් කියනවා

122

සමාජ සාධාරණත්වය ගැන කතා කළ රනිල් අද මර්දනය අතට අරගෙන
ජනතා නැගිටීම මර්දනයෙන් නතර කළොත් රට අගාධයකට යනවා

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්

“එදා සමාජ සාධාරණත්වය ගැන කතා කරපු රනිල් වික්‍රමසිංහ මහතා අද ජනාධිපති වුණාට පස්සේ අනිත් පැත්තට හැරිලා. ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පාරට බැහැපු, දරිද්‍රතාවය නිසා නැඟී ආපු ජනතා සටනට නායකත්වය දීපු සිවිල් ක්‍රියාකාරීන් හා ඒකට සම්බන්ධ වෙච්ච විශාල පිරිසක් අද අත්අඩංගුවට ගන්නවා” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (29 දා) පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.

“රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වෙන්න කලින් රටේ ඇතිවෙලා තිබුණ අහේනිය, දරිද්‍රතාවය හරහා ආපු ජනතා විරෝධය පිළිබඳ පාර්ලිමේන්තුව තුළ කතාකළා. ඒ වගේම අරගලයේ සාධාරණත්වය ගැන කතා කළා. මේ අරගලය පොදුජන පෙරමුණ විසින් නිර්මාණය කරපු වැරදි ආර්ථික කරුණු කාරණා උඩ ඇතිවූ එකක්. ඒ සඳහා මේ වනවිට හදිසි නීතිය ක්‍රියාතමක කර තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා විපක්ෂයේ ඉඳගෙන කියපු දේවල් සමාජ ආර්ථික අර්බුදය ඇති කරපු උදවියට විරුද්ධව එතුමා ප්‍රකාශ කරපු දේවල්, ජනතාවගේ අරගලය සාධාරණයි කියලා ප්‍රකාශ කරපු දේවල් එක්ක එතුමාගේ අද ක්‍රියාකාරීත්වය සමාජයට ප්‍රශ්න සහගත තත්වයක් ඇතිවෙලා.

රනිල් වික්‍රමසිංහ මහතා අද ජනාධිපතිතුමා වුණාට පස්සේ අනිත් පැත්තට හැරිලා. අපිට ආරංචියි ජනපති නිල නිවසේ ස්විමින් පූල් එකේ නාපු අයගේ ලයිස්තුවක් මේ වෙනකොට හදාගෙන යනවා කියලා. ආණ්ඩුව බලාපොරොත්තු වෙනවද මර්දන ක්‍රියාවලිය තුළින් මේ රටේ ජනතාවගේ නැඟිටීම යටපත් කරන්න පුළුවන් කියලා. ඒ අර්ථයෙන් ආණ්ඩුව මේක කරන්න උත්සාහ කරනවා නම් මම විශ්වාස කරනවා මේ රට විශාල අගාධයකට ආණ්ඩුව යනවා කියලා.

නීතිරීති දාලා මර්දනය කරලා, සමාජ ක්‍රියාකාරීන් අත්අඩංගුවට අරගෙන කවදාවත් ලංකා ඉතිහාසයේ ජනතාවගේ නැගිටීම නවත්තලා නෑ. ආණ්ඩුව ඒ දේවල්වලට උත්සහ කරනවා නම් මීට වඩා දරුණු ලෙස වෙන වෙන ක්‍රියාකාරකම්වලට මේ තරුණයෝ යන්න පුළුවන්. අපි විශ්වාස කරනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා අවුරුදු 50ක් පාර්ලිමේන්තුව නියෝජනය කරලා අගමැති හැටියට හය වතාවක් තනතුරු දැරූ අවබෝධයක් තියෙන නායකයෙක් හැටියට මේක සම්මුතියෙන් විසඳ ගන්න එතුමා ඉදිරිපත් වෙයි කියලා.

නමුත් අද වෙනකොට පොදුජන පෙරමුණ මන්ත්‍රීවරුන් හැසිරෙන ආකාරයට සහ කියන ආකාරයට පහුගිය කාලයේ ඔවුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ බලය අතට අරගෙන සමාජය බියට පත් කරන්න හැසිරෙච්ච ආකාරයටම තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයත් හැසිරෙන්නේ.

ජාත්‍යන්තර ෆිච් රේටින්ග් ආයතනය නිවේදනයක් නිකුත් කරලා කියනවා, පාර්ලිමේන්තුවේ බහුතරයක් හදාගත්තට වැඩක් නෑ මේ රටේ ජනතාවගේ සහයෝගයක් නැති ආණ්ඩුවක් මේ හැදිලා තියෙන්නෙ. ඒ හින්දා මේ ණය දෙන ක්‍රියාවලිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟත්වයට යන ක්‍රියාවලිය මේවා එකඟත්වයකට එන්න වෙන එකක් නැහැ. මොකද මේ හැදිලා තියෙන ආණ්ඩුව දිහා බැලුවම මේ ආණ්ඩුවට කිසිදු ආකාරයෙන් ජනතා ප්‍රසාදයක් නෑ කියලා. පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි ටික තියෙනවා. එය විකෘති වෙලා. පාර්ලිමේන්තුවේ මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමේ ඉඳන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඉල්ලා අස්වීම දක්වා ජනතාවගේ ජන මතය හා විකෘති භාවයක් අද පාර්ලිමේන්තුවේ තියෙනවා.

advertistmentadvertistment
advertistmentadvertistment