ජනන බලපත්‍රයක් නැති කම්පැනියකට මණ්ඩලයෙන් මිලියන 1499ක බදු ගෙවලා

102

ඩොලර් අර්බුදයක් තිබියදී සමාගමට ගෙවිය යුතු ගෙවීම් ඩොලර්වලින් ගෙවලා

විදුලිය මිලදීගෙන ඇත්තේ විදුලි බල පනතට පටහැනිවයි

විදුලිබල මණ්ඩලය පාඩු ලබද්දී එහි සේවකයන් ප්‍රසාද දීමනා වශයෙන් බිලියන 2.7ක් අරන්

සමාගම අධික ලාභයක් අරන්

රට්ටුන්ගේ ඇඟවල් හිරිවැටෙන තරමට විදුලිබිල වැඩිවී ඇත. විදුලි බල මණ්ඩලයට වී ඇති පාඩුව පියවා ගැනීම සහ ආදායම වැඩිකර ගැනීම සඳහා විදුලි බිල වැඩි කිරීමට සිදුවී ඇති බැව් බලධාරීන් පවසති. සියලු කුණු බෙංගාල බොක්කට කියන්නාක් මෙන් රට්ටුන්ගේ දෙවුරවල් මත බර පටවා පාලකයන් අත පිසදමා ගෙන ඇත. විදුලි බිල වැඩිකොට සියලු බර ජනතාව මත පටවද්දී විදුලි බල මණ්ඩලය විසින් පුද්ගලික විදුලි බල සමාගම් සමග විවිධ ගිවිසුම්වලට එළඹෙමින් රජයට අවාසිවන අයුරින් කටයුතු කර ඇත. ඒ විතරක් නොව අධික මිලකට පුද්ගලික විදුලි ජනන බලාගාරවලින් විදුලිය ලබාගෙන ඇත. විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට බිලියන ගණනින් ප්‍රසාද දීමනා හා විවිධ දීමනා ගෙවා ඇත. විදුලි බල මණ්ඩලයේ වියදම් සීමාකිරීම සඳහා කිසිදු පියවරක් ගෙන නැත.

පසුගිය වසර 20 (2002 – 2021) ක කාලය තුළදී මෙරට විදුලි ඉල්ලුමේ සාමාන්‍ය වර්ධනය සියයට 5.54කි. 2021 වර්ෂය තුළදී විදුලි ඉල්ලුම ගි. වො. පැ. 15214කි. මින් පුද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීම ගි.වො.පැ. 4004කි. මේ අනුව 2021 වර්ෂයේ සමස්ත විදුලි ඉල්ලුමෙන් සියයට 26.32 පුද්ගලික විදුලි බලාගාරවලින් මිලදී ගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය විසින් කටයුතු කර තිබුණි. නව විදුලි ජනන බලාගාර ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සැලකිය යුතු ලෙස පහත වැටීම නිසා 2021 වර්ෂයේ දී පමණක් පුද්ගලික විදුලි බලාගාරවලින් රුපියල් බිලියන 6.54ක් වටිනා ගිගාවොට් පැය 267.17ක අතිරේක විදුලි බලයක් මිලදී ගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය විසින් කටයුතු කර තිබුණි.

කෙසේ වුවද ඉකුත් වසර 04ක කාලය තුළදී මෙගාවොට් 2,032ක ධාරිතාවයකින් යුත් නව ජනන විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමට සැලසුම්කොට තිබුණි. කෙසේ වුවද මින් සපයා ගැනීමට හැකිවී ඇත්තේ මෙගාවොට් 661.6ක විදුලිබල ධාරිතාවයක් පමණක් බවද විගණනය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ. මේ නිසා සැලසුමේ අරමුණු වූ අඩු පිරිවැයකින් යුත් විදුලි බලය සැපයීම ඉටුකර ගැනීමට නොහැකිවී තිබුණි. කෙසේ වුවද මේ සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලය විසින් සඳහන් කොට ඇත්තේ දීර්ඝකාලීන විදුලි බලය පුළුල් කිරීමේ සැලසුම් සකස් කළද මෙකී සැලසුම්වල හඳුනාගෙන ඇති මෙවැනි බලාගාර සංවර්ධනය කිරීම සඳහා විදුලි බල මණ්ඩලයට තනිව බලයක් නොමැති බවය. විදුලි බල මණ්ඩලය දිගින් දිගටම පාඩු ලබමින් තිබියදී චක්‍රලේඛ විධිවිධානවලට පටහැනිව අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අනුමැතිය මත පමණක් වරින් වර විවිධ කාර්යමණ්ඩල දීමනා විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට ගෙවා තිබුණි. ඒ අනුව 2021 වර්ෂයේ දී ගෙවා ඇති විවිධ කාර්යමණ්ඩල දීමනාව රුපියල් මිලියන 2134.9කි. 2020 වර්ෂයේ දී දීමනා සඳහා රුපියල් මිලියන 1544.4කි. එමෙන්ම අධ්‍යක්ෂ මණ්ඩලයේ හා අමාත්‍ය මණ්ඩලයේ තීරණවලට පටහැනිව සේවකයන් 323 දෙනකු සඳහා ගෙවා ඇති දීමනාව ඔවුන්ගේ වැටුපෙන් සියයට 65ක් ඉක්මවා තිබුණි. ඒ විතරක් නොව විදුලි බල මණ්ඩලය විසින් 2021 වර්ෂයේදී සේවක වැටුප සියයට 25කින් වැඩිකර ගෙන තිබුණි. මේ නිසා මණ්ඩලයට සිදුවූ අහිතකර බලපෑම රුපියල් බිලියන 9.6කි.

ඒ විතරක් නොව විදුලි බල මණ්ඩලය පාඩු ලබමින් තිබියදී 2021 වර්ෂයේ දී කෙටුම්පත් සාමූහික ගිවිසුම් මත රුපියල් බිලියන 2.7ක් ප්‍රසාද දීමනාවක් ලෙස එහි සේවකයන්ට ගෙවා තිබුණි.

මේ අතර ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඒස්. පවර් ඇඹිලිපිටිය පුද්ගලික සමාගමෙන් විදුලිය මිලදී ගැනීම සඳහා වසර 10ක ගිවිසුමකට එළඹ තිබුණි. මෙකී ගිවිසුම අනුව වසර 10ක ගිවිසුම් කාලය අවසන් වීමෙන් පසු මෙම බලාගාරය රජයට මිලදී ගැනීමට අවස්ථාව උදා වී තිබුණි.

මෙහි මුල් ගිවිසුම 2015 අප්‍රේල් 06 මෙකී දිනෙන් අවසන් වූ පසු එවකට පැවති හදිසි විදුලි බල අවශ්‍යතාවය සලකා බලා මෙම විදුලිබලාගාරය ලංකා විදුලි බල මණ්ඩලය විසින් මිලදී ගැනීමට 2016 මාර්තු 23 වැනි දින රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබුණි. එහෙත් එම තීරණය ක්‍රියාත්මක කිරීමෙන් තොරව විදුලි බල පනත අනුව අනුගමනය කළ යුතු ක්‍රමවේදයන්ට ද පටහැනි ලෙස විදුලි බල මණ්ඩලය විසින් කටයුතු කර තිබූ බව මෙකී බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීම සම්බන්ධයෙන් කරනු ලැබූ විශේෂ විගණනයේදී අනාවරණය වී ඇත. තවදුරටත් විදුලි බලය මිලදී ගැනීම සඳහා මූලික ගිවිසුම් කාලය නිම වී වසරකින් පසුව විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම දීර්ඝ කිරීමට විදුලි බල මණ්ඩලය මගින් කටයුතු කර තිබුණි. අවස්ථා 04කදී වසර 05 මාස 06ක කාලයක් (2016 අප්‍රේල් 06 දින 2022 සැප්තැම්බර් 08) මූලික ගිවිසුම දීර්ඝ කිරීමට කටයුතු කර තිබුණි.

ගිවිසුමට අනුව මෙකී විදුලි බලාගාරය ලංකා විදුලි බල මණ්ඩලයට මිලදී ගෙන රජයට වඩා වාසිදායක ලෙස කටයුතු පවත්වාගෙන යෑමට තිබූ අවස්ථාව අහිමිවී තිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ. රජයේ තක්සේරුකරුගේ තක්සේරු වටිනාකම සමාගමේ හිමිකරු විසින් සමාගම විකිණීමට කැමැත්ත ප්‍රකාශ කරනු ලැබූ මිලට වඩා අඩුවෙන් අයකර තක්සේරු කිරීම නිසා මෙම මිලදී ගැනීමේ අවස්ථාව අහිමි වී තිබුණි. තක්සේරු වටිනාකම රුපියල් මිලියන 2370ක් වූ අතර බලාගාරයේ වර්තමාන හිමිකරු විසින් ලබාදුන් වටිනාකම රුපියල් මිලියන 2446කි. පළමු ගිවිසුම තුළ ප්‍රමාද පොලී ලෙස රුපියල් මිලියන 580ක් ගෙවා තිබුණි. ගිවිසුම දීර්ඝ කිරීමෙන් පසු වසර 05ක කාලයක් සඳහා ගෙවා ඇති ප්‍රමාද පොලිය රුපියල් මිලියන 1364කි. ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලය විසින් ණය ප්‍රාග්ධන යෙදවීම මගින් හෝ බලාගාරය මිලදී ගැනීමට කටයුතු කිරීමෙන් ලංකා විදුලි බල මණ්ඩලයට වඩා වාසිදායක තත්ත්වයක් නිර්මාණය කර ගැනීමට හැකිව තිබූ බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

විගණන වාර්තාවේ සඳහන් ආකාරයට මෙකී බලාගාරයේ වටිනාකම රුපියල් මිලියන 4,192කට ආසන්න අගයක් ගෙන තිබුණි. එහෙත් තක්සේරු වටිනාකම හා සැසඳීමේ දී තක්සේරු වටිනාකම රුපියල් මිලියන 1822කින් අවප්‍රමාණය වී තිබුණි. එමෙන්ම විදුලි බල මණ්ඩලය විසින් මුල් ගිවිසුම දීර්ඝ කිරීමේ දී ප්‍රාග්ධනයට ප්‍රතිලාභ වශයෙන් ගෙවනු ලබන ධාරිතා ගාස්තුවේ කොටස සඳහා පමණක් ලංකා විදුලි බල මණ්ඩලය විසින් අදාළ පුද්ගලික සමාගමට ගෙවා ඇති මුදල රුපියල් මිලියන 3650කි. එහෙත් බලාගාරයේ හිමිකරුවන් විසින් මෙකී බලාගාරය විදුලි බල මණ්ඩලයට අලෙවි කිරීම සඳහා ඉදිරිපත් කොට තිබූ ලංසුව රුපියල් මිලියන 2446කි. ඒ අනුව විදුලි බල මණ්ඩලය විසින් ධාරිතා ගාස්තු වශයෙන් අදාළ සමාගමට ගෙවා ඇති මුදල ලංසුව මෙන් සියයට 127.7කි.

අනික් කාරණය වන්නේ මෙහි මුල් ගිවිසුම් කාලය තුළ ඒස් පවර් ඇඹිලිපිටිය පුද්ගලික විදුලිබල සමාගම විසින් රුපියල් මිලියන 8572ක ශුද්ධ ලාභයක් ලබාගෙන තිබුණි. 2003 වර්ෂයේ දී සමාගම විසින් මූලික ප්‍රාග්ධන ආයෝජනය ලෙස රුපියල් මිලියන 1676ක මුදලක් ආයෝජනය කර තිබුණි. එම මුදලට සාපේක්ෂව ශුද්ධ ලාභය සියයට 511ක් වී තිබුණි. ගිවිසුම දීර්ඝ කිරීමෙන් පසු වසර පහක කාලයක් තුළ මෙකී සමාගම විසින් රුපියල් මිලියන 6270ක ශුද්ධ ලාභයක් ලබාගෙන තිබුණි. එය මූලික ආයෝජන මුදලට ප්‍රතිශතයක් ලෙස සියයට 406කි. ඒ අනුව මාර්තු මස 31 වැනි දිනට මෙකී සමාගම විසින් උපයාගෙන ඇති මුළු ශුද්ධ ලාභය රුපියල් මිලියන 14841කි. එය මූලික අයෝජනයට සාපේක්ෂව සියයට 885කි. මෙකී පුද්ගලික විදුලි බල සමාගමේ හිමිකරුවන් විසින් ආයෝජනය කළ රුපියල් මිලියන 1676ක මුදල වසර දෙකක් තුළ ශුද්ධ ලාභය ලෙස උපයාගෙන තිබුණි. මෙවැනි ලාභ ලැබූ සමාගමක් ලංකා විදුලි බල මණ්ඩලයට මිලදී ගැනීමට තිබූ අවස්ථාව අහිමිකර ගෙන තිබුණි. මෙකී බලාගාරය තක්සේරු කිරීමේ දී අඩු අගයකට තක්සේරු කිරීමට කටයුතු කිරීම ගැටලුසහගතය. එය කාගේ ඕනෑ එපාකම්වලට සිදුවූවාද යන්න පිළිබඳ සොයා බැලිය යුතුය.

අනික් කාරණය වන්නේ විදුලිය මිලදී ගැනීම සඳහා මෙකී සමාගම සමග ගිවිසුම්ගත වීමේ දී මෙකී පුද්ගලික සමාගමට ඉහළ ප්‍රතිලාභ හිමිවන අයුරින් ගිවිසුම්ගතව තිබුණි.

එමෙන්ම මුල් ගිවිසුම් කාලය තුළ ඉන්ධන වියදම් ලෙස විදුලිබල මණ්ඩලය විසින් රුපියල් මිලියන 64,873ක මුදලක් වැයකර තිබුණි. එහෙත් එස් පවර් ඇඹිලිපිටිය බලාගාරය විසින් ප්‍රතිපූර්ණය කරගෙන තිබූ මුදල සත්‍ය ඉන්ධන වියදමට වඩා රුපියල් මිලියන 3548ක් බව විගණන වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම මුල් ගිවිසුම දීර්ඝ කිරීමෙන් පසු (2016 අප්‍රේල් මස සිට 2018 ජුලි මස 31 දින දක්වා) ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඉන්ධන ගාස්තු ලෙස රුපියල් මිලියන 22,305ක මුදලක් ගෙවා තිබුණි. එහෙත් අදාළ කාලය තුළ සමාගම විසින් මිලදී ගෙන තිබූ ඉන්ධන වටිනාකම රුපියල් මිලියන 20,838කි. ඒ අනුව රුපියල් මිලියන 1467ක මුදලක් වැඩියෙන් අදාළ සමාගම වෙත ගෙවා තිබුණි. ඒ අනුව ගිවිසුමේ සඳහන් ඉන්ධන අනුපාතයේ නිවරදිතාවය පිළිබඳ අවධානය යොමුකර නොතිබූ බව විගණනය මගින් අනාවරණය කොට ඇත.

එමෙන්ම ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඒස් පවර් ඇඹිලිපිටිය පුද්ගලික සමාගමෙන් විදුලිය මිලදී ගැනීමේ දී ඇතිකර ගත් ගිවිසුම අනුව එම සමාගම විසින් ඉකුත් වසර 05ක කාලය තුළදී රජයට ගෙවිය යුතු රුපියල් මිලියන 1,499ක් වූ බදු මුදල ලංකා විදුලි බල මණ්ඩලය විසින් ගෙවා තිබුණි. මේ හේතුවෙන් රජයට හිමිවිය යුතු බදු ආදායම අහිමිවී ඇති බව විගණනය මගින් අනාවරණය කොට ඇත.

මෙහි මුල් ගිවිසුම් කාලය තුළ සමාගම විසින් විවිධ බදු වියදම් සඳහා රුපියල් මිලියන 4,784ක මුදලක් ලංකා විදුලි බල මණ්ඩලය විසින් ප්‍රතිපූර්ණය කරගෙන තිබුණි. 2016 වසරේදී විදුලි බල මණ්ඩලය විසින් එස් පවර් ඇඹිලිපිටිය සමාගම සමග පැවති ගිවිසුමේ කාලය දීර්ඝ කිරීමට කටයුතු කර තිබුණි. ඒ අනුව වසර 05ක කාලය තුළ මෙකී පුද්ගලික සමාගම විසින් රුපියල් හයසිය අසූඑක්කෝටි, තිස්තුන් ලක්ෂ, හැටදහස් හයසිය පනහක් (6,813,360,650) ශුද්ධ ලාභයක් උපයාගෙන තිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම ලංකා විදුලිබල මණ්ඩලය විසින් (2016-2021) ඉකුත් වසර පහක කාලය තුළ මෙකී බලාගාරය මගින් විදුලිය මිලදී ගැනීම සඳහා ප්‍රමාද පොලියද ඇතුළුව රුපියල් මිලියන 59,454ක මුදලක් ගෙවා තිබුණි. මෙම කාලය තුළ මෙකී මුදලින් බලශක්ති ගාස්තු වශයෙන් ගෙවූ මුදල රුපියල් මිලියන 50,953කි. කිලෝවොට් ඒකකයකට ගෙවූ මුදල රුපියල් 21.84 කි. නතර කිරීමේ ගාස්තුව ලෙස මිලියන 672ක්, බදු ප්‍රතිපූර්ණ වියදම් ලෙස මිලියන 1499ක් හා ප්‍රමාද පොලී ලෙස රුපියල් මිලියන 1,313ක් ගෙවා තිබුණි.

මුල් ගිවිසුම් කාලය තුළ (2005 අප්‍රේල් මස 06, 2015 අප්‍රේල් මස 06 දින) සිට වසර 10ක කාලය තුළ මෙකී සමාගමෙන් විදුලි බල ගි. වො. ඒකක පැය 5748ක් මිලදී ගැනීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කර තිබුණි. ඒ අනුව බලශක්ති ගාස්තු ලෙස රුපියල් මිලියන 73,651ක් අදාළ සමාගම වෙත ගෙවා තිබුණි. එමෙන්ම මෙකී කාලය තුළ නතර කිරීමේ ගාස්තු, බදු ප්‍රතිපූර්ණය, ප්‍රමාද පොලී ලෙස පිළිවෙළින් රුපියල් මිලියන 363ක්, 4784ක්, මිලියන 527ක් ගෙවා තිබුණි.

මෙකී මුල් ගිවිසුම වසර 10ක කාලයකින් පසු අවසන් වී තිබුණි. මෙවැනි කොන්දේසි ඇතුළත් බදු ගිවිසුම යළි දීර්ඝ කිරීමට කටයුතු කිරීම තුළින් පුද්ගලික සමාගමක් විසින් රජයට ගෙවිය යුතු බදු රජයේ ආයතනයක් විසින්ම ගෙවා ඇති බව විගණනය මගින් අනාවරණය කොට ඇත. විදුලිය මිලදී ගැනීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය හා ඒස් පවර් පුද්ගලික සමාගම අතර ඇති ගිවිසුම අනුව සමාගම විසින් දරනු ලබන බදු වියදම ලංකා විදුලි බල මණ්ඩලය විසින් ප්‍රතිපූර්ණය කළ යුතු බවට එම ගිවිසුමට ඇතුළත් කොට තිබුණි.

මෙකී පුද්ගලික විදුලි බල සමාගම පූර්ණ දේශීය සමාගමකි. එහෙත් දීර්ඝ කරනු ලැබූ ගිවිසුම අනුව රුපියල්වලින් දරනු ලැබූ ඇතැම් පරිපාලන වියදම් ස්ථාවර මෙහෙයුම් හා නඩත්තු වියදම්, විචල්‍ය මෙහෙයුම් සහ නඩත්තු වියදම් ඇමෙරිකානු ඩොලර්වලින් ගෙවා තිබුණි. ඒ අනුව ඇමෙරිකානු ඩොලර් සඳහා වැයවන විනිමය අනුපාතය වැඩිවීම නිසා වැඩි මුදලක් මෙකී සමාගමට ගෙවීමට විදුලි බල මණ්ඩලයට සිදුවී තිබුණි. නව ගිවිසුම අනුව (2022 මාර්තු මස 28 සිට 2022 සැප්තැම්බර් මස 27) දක්වා කාලය තුළ මෙකී සංචාරක අතුරින් ස්කන්ධ ප්‍රාග්ධනයට ප්‍රතිලාභ සඳහා පමණක් ඇමෙරිකානු ඩොලර් විනිමය අනුපාතය රුපියල් 288.75ක ස්ථාවර අගයකට එකඟවී තිබුණි. එහෙත් අනිකුත් සංරචකයන් සඳහා මෙකී කාලය තුළ විනිමය අනුපාතය රුපියල් 289 සිට රුපියල් 364 දක්වා වෙනස්ව තිබූ අතර එම අනුපාතය මත අනිකුත් ගෙවීම් සිදුකොට තිබුණි. රජය ඩොලර් සොයා ගැනීමේ ආර්බුදයකට ලක්ව තිබියදී පූර්ණ දේශීය සමාගමක් වන මෙකී විදුලිබල පුද්ගලික සමාගමට අදාළ ගාස්තු ඩොලර් වලින් ගෙවීම පුදුමසහගතය.

එමෙන්ම බලපත්‍ර හිමිවූ සමාගම් වෙතින් පමණක් විදුලිය ජනනය හා සැපයීම සිදුකළ යුතු විය. එහෙත් ජනන බලපත්‍ර ලබාගෙන නොමැති ඒස් පවර් ඇඹිලිපිටිය සමාගමෙන් (2016 වර්ෂයේ සිට 2021) දක්වා විදුලිය මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන තිබුණි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment