පාර්ලිමේන්තුව – ජනපතිගේ අසමත්භාවය හෝ රජයේ අකාර්යක්ෂමතාව නොව රටේ වත්මන් ආර්ථික අර්බූදයට හේතුව 1900 ගණන්වල සිට එක ගෙවුම් ශේෂ ගැටලූවයි

201

ඇමැති බන්දුල ගුණවර්ධන

* අධිකරණය විවේචනය කර උඩ බලාගෙන  කෙළ ගසන්න එපා – ඇමැති අලි සබ්රි

* පාස්කු ප‍්‍රහාරය බලය ගන්න කරපු කුමන්ත‍්‍රණයක් – නලින් බණ්ඩාර (සජබ)

* බංකොළොත් විපක්ෂය රටේ ජනතාව නොමග යවනවා – රාජ්‍ය ඇමැති ශෂින්ද්‍ර රාජපක්ෂ

* ප‍්‍රශ්නවලට උත්තර නැත්නම් ආණ්ඩුව බලයේ සිට වැඩක් නැහැ – ලක්ෂ්මන් කිරිඇල්ල (සජබ

රටේ වත්මන් ආර්ථික අර්බුදයට හේතුව වී ඇත්තේ ජනාධිපතිවරයාගේ අසමත්භාවයක් හෝ ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවයක් නොව එක්දහස් නවසිය

ගණන්වල සිට එන ගෙවුම් ශේෂ ගැටලූව යැයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23 ද) කීය.

වේත‍්‍රධාරි නරේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මුලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ (23 දා) පෙරවරු 10 ට රැස්විණි.

ප‍්‍රථමයෙන් නිවේදන, වාර්ෂික වාර්තා, මහජන පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව මන්තී‍්‍රවරු විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසා තිබූ ප‍්‍රශ්න සඳහා අදාළ ඇමැතිවරු පිළිතුරු සැපයූහ.

අනතුරුව මේ වනවිට රට තුළ පවතින ආර්ථික අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් විපක්ෂය ඉල්ලා සිටි කල්තැබීමේ විවාදය ඇරඹිණි.

විවාදය ආරම්භ කරමින් පත්කළ මන්තී‍්‍ර ඉරාන් වික‍්‍රමරත්න මහතා (සජබ)

අද මේ රටේ බිහිසුණු අස්ථාවරත්වයක් තිබෙනවා. සමස්ත සමාජයම විශාල පීඩාවකට ලක්වෙලයි තිබෙන්නේ. සල්ලි තිබුණත් තමාගේ දරුවන්ට කිරිපිටි පැකට් එකක් අරන් දෙන්න දෙමාපියන්ට හැකියාවක් නෑ. තැන තැන පෝලිම් ඇති වෙලා. මේ රටේ මහා ආර්ථික ඔස්තාර් කියලා හිතන මහ බැංකු අධිපතිවරයා යම් මාර්ග සිතියමක් පෙන්නුවත් රට ප‍්‍රපාතයකට අරන් ගිහින් තිබෙනවා. මේ රට කොතැනකටද යන්නේ කියන ප‍්‍රශ්නය තිබෙනවා. වාහනයක් අරන් එළියට බැස්සොත් තෙල් නැති නිසා මඟ නවතින්න වෙනවා. ආර්ථිකයම අවුලක. තෙල් නැව් මුහුදේ නවත්වන් ඉන්නවා. ඒවා මිලදී ගන්න ඩොලර් නෑ. ඉඳහිට අර රීලෝඞ් ක‍්‍රමයට ඉන්ධන මිලදී ගන්නවා. මෙහෙම ගියොත් ඉන්ධන ෂැෂේ පැකට්වලට සීමා වෙයි. දැන් විදුලියත් කැපෙනවා. දැන් සර් විතරක් නෙමෙයි සමස්ත සමාජයම ෆේල් වෙන තත්ත්වයකට ගෙනැල්ලා. දැන් තෙල් නැවකට ගෙවනවාද කියල තීරණය කරන්නේ අදාළ ඇමැතිවරයයි, ජනාධිපතියි විතරයි. එදා අපි මිල සුත‍්‍රයක් ගෙනාවහම විහිළු කළා. ආණ්ඩුවක් මොකටද ඇහුවා. ඒත් දැන් ඒ අය කියනවා මිල සුත‍්‍රයක් ඕනලූ. පරිප්පුවලින් ගසා කෑවා. රට මෙහෙම කොල්ල කන්න ගියොත් මොකද වෙන්නේ. විදුලිය නැත්නම් ලාම්පුවක් හෝ පත්තු කරන්න භූමිතෙල් කඳුළක් නෑ. ආර්ථිකය අතින් අපි අඳුරෙ ඉන්නේ.

නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා මුලාසනයට පැමිණේ.

වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා

කොවිඞ් වසංගතය නිසා රට සම්පූර්ණයෙන් වසා දැමීමට හේතු වීම නිසා රටේ ආර්ථිකය ඝෘණ අගයකට පැමිණ තිබෙනවා. ඒ තුළ විශාල ප‍්‍රශ්න ගණනාවක් තිබෙනවා. මේ ආර්ථිකය ගොඩනඟන්නේ කොහොමද කියන ගැටලූව තිබෙනවා. රාජ්‍ය ආදායම්වලට වඩා වියදම් වැඩි වෙලා තිබෙනවා. ඊළඟට විදේශ විනිමය අර්බුදයක් තිබෙනවා. මෙවැනි තත්ත්වයක් තුළ මන්තී‍්‍රවරයකු වශයෙන් මට විශාල කනගාටුවක් තිබෙනවා. මේ තිබෙන අර්බුදය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ අසමත්භායක් හෝ මේ රජයේ අකාර්යක්ෂමතාවයක් නොවෙයි. එවකට මුදල් ඇමැතිවරයකු වූ රොනී ද මැල් මහතා එදා කිව්වා හැත්තෑ ගණන්වල සිට ඇතිවූ ගෙවුම් ශේෂ අර්බුදය රටේ ආර්ථිකයට බලපානවා කියලා. මා 1989 දී මගේ මංගල පාර්ලිමේන්තු කතාවේදීත් මේ දේ කිව්වා. සරල සටන් පාඨයක් ගෙනැල්ලා තමන්ට බලය ආ පසුව සංවර්ධනය කරනවා කියන පට්ටපල් බොරුවකුත් රට තුළ කි‍්‍රයාත්මක වෙනවා. අපි දේශපාලනඥයන් ලෙස අලූතින් සිතිය යුතුයි. පසුගිය 2016, 17, 18 කාලවලදී රට විනාශ වුණා කියලා පිළිගන්න. රවි කරුණානායක මුදල් ඇමැතිවරයාගේ කාලයේ ඩොලර් පිච්චුවා. රත්තරන් ගෙනත් වංචා දූෂණ කළා. මේ දැන් තත්ත්වය ජාතික අර්බුදයක්. මේක දන්නෙ නැතිව විසඳුම් සොයන්න බෑ. මේ අර්බුදය ගැන දන්නවා නම් විපක්ෂය පිස්සො වගේ හැසිරෙන්නෙ නෑ.

විපක්ෂයේ සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල

නව දවස් කිහිපයකින් ජිනිවා සමුළුව තියෙනවා. අද තවත් ප‍්‍රශ්න ලංකාවට එකතු වෙලා. අද අසූචි ගහන රටක් ලෙසයි නම් වෙලා තියෙන්නේ. මාධ්‍ය නිදහස නැහැ.

පාස්කු ප‍්‍රහාරයේ වෙළුම් දෙන්න තිබුණේ මීට වසරකට පෙරයි. නඩු දාන්නත් පෙරයි දෙන්න තිබුණේ. දැන් මේ වෙළුම් මොනවටද මේක දැන් වටින්නේ බෝතල්කාරයන්ට විතරයි.

නීතිපතිවරයා තෝරා බේරාගෙන නඩු දාන්නේ, කොමිසමේ තීරණ අනුව නොවෙයි. මේ රට විනාශ නොකර මැතිවරණයක් තියන්න. දැන් හිටියා ඇති. ඕනෑම රටක වසර දෙකින් දෙකට මැතිවරණ පැවැත්විය යුතුයි. අපේ රටේ එහෙම නැහැ. ආණ්ඩුවට උත්තර නැහැ. බලයේ ඉන්න ආණ්ඩුවට ප‍්‍රශ්නවලට උත්තර නැත්නම් ඉඳල වැඩක් නැහැ.

මහනුවර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර එස්. බී. දිසානායක  (ශී‍්‍ර ල. පො. පෙ.) – 2009 වනවිට ලෝකයේ විශාල ආර්ථික අර්බුද තිබුණා. අපි යුද්ධය නිමා කර ආර්ථික වර්ධනය සියයට 7.00 ඉක්මවූවා.

මේ ආණ්ඩුව දුන්න බුරුල ඕනෑවටත් වඩා අරන් කොවිඞ් වසංගතය පැතිරවූයේ විපක්ෂයයි. උද්ඝෝෂණ වර්ජන කරලා, ජනතාව පාරට බස්සලා කොවිඞ් පැතිරෙව්වා.

එන්නත්කරණයෙන් අපේ රටේ සාර්ථකත්වය නිසා අද ලොව ආරක්ෂිත රටක් ලෙස ලංකාව නම් වෙලා. සංචාරකයෝ විශාල ලෙස පැමිණෙනවා.

පාස්කු ප‍්‍රහාරය ඇතිවීමට ප‍්‍රධාන හේතුව 19 සංශෝධනයයි. ජනපති විලියම් ගොපල්ලව කරල, අගමැති රනිල් ජේ. ආර්. ජයවර්ධන වෙන්න ගියා. මේ නිසා ආරක්ෂක අංශ දෙකට බෙදුණා. බලය දෙකට බෙදුණා. එය ප‍්‍රහාරයකට පාර කැපුනා. මේ ප‍්‍රහාරයට රනිල් වික‍්‍රමසිංහ වගකිව යුතුයි.

අධිකරණ ඇමැති අලි සබ්රි – පාස්කු ප‍්‍රහාරය සිදුවුණේ 2019 අපේ‍්‍රල් 21 දින. මහින්ද රාජපක්ෂ රජය ගිහින් වසර හතරහමාරකට පමණ පසුවයි. ආරක්ෂාව භාරව සිටියේ යහපාලන රජයයි. බුද්ධි අංශ වාර්තා තිබුණත් ඒ බෝලය පාස්කර ගත්තා.

ලැබෙන පැමිණිලි සියල්ල පොලිසිය විමර්ශනය කළ පසු ඒවා නීතිපතිට ලබා දීමෙන් පසුව නීතිපති නඩු දැමිය යුත්තේ කාටද කියා තීන්දු කරනවා. චෝදනා පත‍්‍ර සකස් කරන්නේ ඔහුයි. ආණ්ඩුවේ මැදිහත්වීමක් නැහැ. හිටපු නීතිපති දප්පුල ද ලිවේරා දාපු නඩුවෙන් තමයි පසුගිය දා නිදහස ලැබුණේ, අපි නොවෙයි.

ස්වාධීන අධිකරණ පද්ධතියක් තිබෙනවා. අධිභාර බදු පනතට තුනෙන් දෙකක් හා ජනමත විචාරණයක් අවශ්‍ය බව අධිකරණය කිව්වා. අපි අධිකරණය මෙහෙයවනවා නම් ඒහෙම තීන්දු එන්නේ නැහැ. විපක්ෂය ඔවුන්ට වාසි තීන්දු එනවිට අධිකරණය ස්වාධීන වීමත් විපක්ෂයට අවාසි තීන්දු එනවිට අධිකරණය ස්වාධීන නොවීමත් සිදුවන්නේ නැහැ. පුදුම විපක්ෂයක් රටේ තිබෙන්නේ. ආණ්ඩුවේ තීන්දු කිහිපයක්ම අධිකරණ තීරණ මගින් නවත්වල තියෙනවා. අධිකරණය විවේචනය කරමින් උඩ බලාගෙන කෙළ ගහන්න එපා.

පාස්කු කොමිසමේ වෙළුම් දෙන්නේ නැත්තේ ඇයි කියලා දිගටම චෝදනා කළා. අපි සියල්ල දුන්නාට පස්සේ දැන් කියනවා වැඩක් නැහැ කියලා. භාෂණයේ නිදහස තියෙන්නේ කටට එන එන හැම බොරුවක්ම කියන්න නොවෙයි, ජනතාව කුලප්පු කිරීමට නෙවෙයි. වරප‍්‍රසාදවලට මුවා වෙලා බොරු කියන්න එපා. පාර්ලිමේන්තුවේ චාර්යාවක් අවශ්‍යයි. වගකීම් සහිත ප‍්‍රකාශ කිරීම අවශ්‍යයි.

පත්කළ මන්ත‍්‍රී ආචාර්ය හරිනි අමරසූරිය (ජාජබ) – කුඩා කුඩා ව්‍යාපාර වත්මන් ආර්ථික අර්බුද හමුවේ පවත්වාගෙන යෑම ගැන සෙවීමක් නැහැ. විශාල ලාභ උපයන්නේ නැති ව්‍යාපාර අර්බුදයකට ගිහින්. සේවක රැුකියා කඩාවැටිලා. මේ තරම් ප‍්‍රශ්නවලට මුහුණ දෙනවිට ආණ්ඩුව අර්බුදයක් නැහැ කියන මතයේ ඉන්නේ. බලශක්ති අර්බුදයටත් තවම විසඳුම් නැහැ.

රාජ්‍ය ඇමැති නිමල් ලන්සා,  – පාස්කු වාර්තාවේ සියලූ වෙළුම් දෙන්න කියලා විපක්ෂය කිව්වා. දැන් සියල්ල ජනපති දුන්නා. මෙතෙක් රටේ තිබූ කිසිම කොමිෂන් වාර්තාවක් ඉතිහාසයේ පාර්ලිමේන්තුවට දීල නැහැ.

පුළුවන් හැකි ඉක්මනින් කතෝලික සභාවට පිටපතක් ලබා දෙන්න. මේ ගැන අවධානය යොමු කරන්න.

මගේ අමාත්‍යාංශයේ සිදුවූ කරුණක් ගැන දැනුවත් කළ යුතුයි. ජනපතිට ගොනු 4 ක් යටතේ ලිඛිතව වාර්තාවක් දුන්නා. එතුමා පරීක්‍ෂණයක් පවත්වයි කියලා හිතනවා.

සිද්ධියෙන් පසු මම කිසිම ප‍්‍රකාශයක් කළේ නැහැ. නමුත් අපේම මන්ත‍්‍රීවරු ප‍්‍රහාර එල්ල කළා. මටත් ප‍්‍රහාර එල්ල කරන් පුළුවන්, මම කරන්නේ නැහැ. ජීවත්වෙන්න ඔක්සිජන් අවශ්‍ය නැහැ කිව්වා. මම ඒවාට ප‍්‍රහාර එල්ල කරන්න යන්නේ නැහැ.

අපි රටේ පවතින තත්ත්වය ගැන තේරුම් ගත යුතුයි. අපේ ආණ්ඩුව ගිහින් වෙන ආණ්ඩුවක් ආවාට මේ ප‍්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඩොලර් ප‍්‍රශ්නයට හේතුව කොවිඞ් වසංගතයයි. කවුරු වුවත් පිළිගත යුතුයි. අපේ රජයට පමණක් මේ ප‍්‍රශ්නයට ඇඟිල්ල දික් කරන්න එපා. මෙය කාලයක් තිස්සේ ආපු ප‍්‍රශ්නයක්. ආදායම් උපදවන ක‍්‍රමයකට යා යුතුයි. වාද බේද අමතක කරලා යම් වැඩපිළිවෙළකට යමු. සත්‍ය කතා කරමු. රට කඩාවැටී ඇති තැනට මේ රට පාලනය කළ සියලූ පක්ෂ හා සියලූ දෙනා වගකිව යුතුයි. ජවිපෙත් අරගල කරලා ආයතන වැටෙන තැනට පත්කළා. ඔවුනුත් වගකිව යුතුයි. ආණ්ඩුවකට සල්ලි ගස්වලින් කඩන්න බැහැ. කාටවත් ඇඟිල්ල දිගුකර වැඩක් නැහැ.

පසුගිය කාලයේ මට නින්දා අපහාස කරපු අයට මට ප‍්‍රතිප‍්‍රහාර එල්ල කළ හැකියි. මම තවම එතැනට යන්නේ නැහැ.

කොළඹ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී පාඨලී චම්පික (සජබ) – මෙගාවොට් 4888ක් රටේ විදුලිය තිබෙනවා. අද දහවල් වනවිට මෙගාවොට් 2700යි විදුලිය තිබෙන්නේ. මේ ධාරිතාවයේ ප‍්‍රශ්නයක් නොවෙයි. තාප විදුලිය දීමට තෙල් නොමැති වීමයි විදුලි අර්බුදයට හේතුව. ඞීසල් හිඟයක් තිබෙනවා. ලබන මැයි මාසය වනතෙක් ජලය අරපිරිමැස්මෙන් භාවිතා කළ යුතුයි. ජල විදුලිය ඇද්දොත් යල කන්නය හා පානීය ජල අර්බුදයකට යනවා.

සල්ලි, ඩොලර් තිබෙනවා කිව්වත් අද අර්බුදයට ලක්වෙලා. ඩොලර් නැති නිසා ජනතාවගේ පරිභෝජනය කපලා ණය වාරික ගෙවන්න සිදුවෙලා. අද බැංකු පද්ධතිය කඩාවැටීමේ මහා අවදානමක ඉන්නේ. ප‍්‍රමුඛතාව හඳුනාගත යුතුයි. තෙල්, ඖෂධ, කිරිපිටි ගේන්න ප‍්‍රමුඛතාව දිය යුතුයි. පාරවල් ලක්ෂය කාපට් කරනවාද, අධිවේගී හදනවාද නැත්නම් ජනතාවට කිරිපිටි, ඖෂධ දෙනවාද කියා තීරණය කළ යුතුයි. 43 වන සේනාංකය ඉදිරිපත් කරන විසඳුම් සභාගත කරනවා.

කොළඹ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී මධුර විතානගේ (ශ‍්‍රීලපොපෙ) –

2017 නොවැම්බර් මාසයේ මොනම ආර්ථික ප‍්‍රශ්නයක්වත් නොමැතිව තෙල් නැව් එනකං බලාගෙන හිටියා. ගිය ආණ්ඩුව කිසිම බලාගාරයක් හැදුවේ නැහැ. මෙගාවොට් 1700 ක් අවශ්‍යව තිබුණා. මේ ජවිපෙ හා එජාපය ඇතුළු සියලූ දෙනා වගකිව යුතුයි. හදිසි මිලදී ගැනීම් කරන කොම්පැනිවලට ඉඩ දුන්නා.

පසුගිය කාලයේ මැතිවරණ ක‍්‍රම විනාශ කරලා මැතිවරණ කල් දැම්මා. අද විපක්ෂය මැතිවරණ ගැන කතා කරනවා. යහපාලන කාලයේ ගම්පෙරළිය වැඩසටහනේ කොන්ත‍්‍රාත්කරුවන්ට නොගෙවූ මුදලූත් අපේ ආණ්ඩුව ගෙව්වේ. ණය කන්දක් ඇති කළා.

ගම්පහ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා (සජබ)-

අද ඉන්න හිටින්න බැරි රටක් බවට ආණ්ඩුව පත්කරලා. දූෂණය අකාර්යක්ෂමතාවය මේ රට විනාශ කළේ 2010 පාලකයන්. රට ණය කරමින් ප‍්‍රතිලාභ ලබාගැනීමට ප‍්‍රයෝජනයක් නැති ව්‍යාපෘති කළා.

මධ්‍යම අධිවේගය හරහා කෝටි ගණන් දූෂණ සිදුවන බවට චෝදනා එනවා. දූෂිතයෝ නිදැල්ලේ

සැරිසරනවා. වංචාවලින් පහර වදින්නේ ජනතාවටයි.

පාස්කු ප‍්‍රහාරයේ වගකීම ආරක්‍ෂක ඇමැති සතු විය යුතුයි. අනිත් අය ගැන කතා කර වැඩක් නැහැ. මානව හිමිකම් රටේ කඩ වෙනවා. චමුදිතට එල්ල වූ ප‍්‍රහාරය හෙළා දකිනවා. ගහපු අය ගැන අපි දන්නවා. අනාගතයේදී ඔවුන්ට එරෙහිව පියවර ගන්නවා.

විදුලි අර්බුදය, තෙල් අර්බුදය රජයේ නොහැකියාවයි. රාජ්‍ය ආයතන විකිණීමට පාර කැපීමක් කරනවා.

මහජන ආරක්‍ෂාව පිළිබඳ ඇමැති ආචාර්ය සරත් වීරසේකර –

සහරාන්ව අත්අඩංගුවට ගන්න කියලා රාජ්‍ය බුද්ධි අංශය ලිඛිතව දන්වා තිබියදී අත්අඩංගුවට නොගැනීම පාස්කු ප‍්‍රහාරයට හේතුවයි. මුස්ලිම් ඡුන්ද බලාපොරොත්තුවෙන් ඇල්ලූවේ නැහැ. පෙර සිද්ධි කිසිවකට එරෙහිව ක‍්‍රියා කළේ නැහැ. එසේ නොකළ අය වින්දිතයන්ට සාධාරණය ඉටුකරන්න කීම පුදුම සහගතයි.

ප‍්‍රහාරය එල්ල වී මාස 07ක් යනතුරු කිසිම නිසි විමර්ශනයක් සිදුකර තිබුණේ නැහැ. අපේ ආණ්ඩුව තමයි පරීක්‍ෂණ සිදුකළේ. චූදිතයන් 74 කට එරෙහිව අද නඩු පවරා තිබෙනවා. මහාධිකරණ 10ක නඩු පවරා තියෙනවා. නවුෆර් මව්ලවි ඇතුළු පිරිසකට කොළඹ නඩු පවරා තිබෙනවා.

කාට හරි පාස්කු ප‍්‍රහාරය ගැන තොරතුරු තියෙනවා නම් පොලිසියට දැනුම් දිය යුතුයි. මේ ගැන වගකීමක් ඇතිව ප‍්‍රකාශ නිකුත් කරන්න.

පත්කළ මන්ත‍්‍රී රංජිත් මද්දුම බණ්ඩාර (සජබ) –

ශානි අබේසේකර මේ රටේ හොඳම රහස් පොලිස් නිලධාරියෙක්. පසුගිය අවුරුදු 15 අපරාධ 87ක පරීක්‍ෂණ කළා. මේ ආණ්ඩුව ලැජ්ජාවක් නැතිව ශානිට ඇඟිල්ල දික්කරනවා.

පාස්කු ප‍්‍රහාරයේ නඩු තීන්දුවක් දුන්නා. එහිදී විනිසුරුවරු තීන්දුවේ දක්වා තිබෙනවා රාජ්‍ය බුද්ධි අංශයේ ප‍්‍රධානියා වගකීම් පැහැර හැරි බවට, චෝදනා තිබෙන බවට. ආණ්ඩුව අද ඔහුව සාක්‍ෂිකරුවකු බවට පත්කරගෙන.

ශානි අබේසේකර මේ ගැන නිවැරදිව පරීක්‍ෂණ පැවැත්වුවා. ඔහුව දිගින් දිගටම පරීක්‍ෂණවලින් වැළැක්වුවා. අපේ ආණ්ඩුවක් යටතේ යළි පාස්කු ප‍්‍රහාරය ගැන පරීක්‍ෂණ පවත්වා වැරදිකරුවන්ට දඬුවම් පමුණුවනවා. අද වැරදිකරුවො, කුමන්ත‍්‍රණකරුවො හෙළිකරන්න.

රාජ්‍ය ඇමැති කංචන විජේසේකර

ශානි අබේසේකරගේ හැටි පහුගිය කාලයේ හඬපටවල සඳහන් වුණා. පසුගිය කාලයේ පාස්කු ප‍්‍රහාරය ගැන පාර්ලිමේන්තුවේ කිව් බොරු සියල්ලේම අපි සත්‍ය හෙළි කළා. වෙළුම් නැහැ කියලා එදා දඟලපු අය අද වෙළුම් වැඩක් නැහැ කියනවා.

ඞී.අයි.ජී. නාලක සිල්වා අත්අඩංගුවට ගත්තේ එජාප ආණ්ඩු කාලයේදී, මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආණ්ඩු සමයේ නොවෙයි. බොරු ප‍්‍රකාශ විපක්‍ෂය සිදුකරනවා.

පාර්ලිමේන්තු කොමිටියක් පත් කරලා පාස්කු ප‍්‍රහාරය වසං කරන්න උත්සාහ කළා. ආණ්ඩුවක් ලෙස යහපාලන ආණ්ඩුව ආරක්‍ෂාව සැපයීමට අසමත් වුණා.

ජනාධිපතිතුමා පත්කළ හැම ජනාධිපති කොමිසමකම වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මීට පෙර කවුරුවත් ඉදිරිපත් කර නැහැ.

කොළඹ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී මුජිබර් රහුමාන් (සජබ) –

නාමල් කුමාර නමැත්තා ගෝඨාභය රාජපක්‍ෂ හා මෛත‍්‍රිපාල සිරිසේන ජනපතිව, ඞී. අයි. ජී. නාලක සිල්වා ඝාතන කුමන්ත‍්‍රණයක සිටිනවා කියලා පැමිණිලි කළා. ඒ ගැන දැන්වත් පරීක්‍ෂණ කරන්න.

ජනපති කොමිසමේ වෙළුම් ටික වසරකට පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. කාදිනල්තුමා වතිකානුවට ගිය පසුව දුන්නා. තව පොත් ටිකක් ජනපති ළඟ තියාගෙන ඉන්නවා.

පාස්කු ප‍්‍රහාරයේ පරික්ෂණ කරපු පොලිස් කණ්ඩායමේ සියලූදෙනා මේ ආණ්ඩුව ඉවත් කළා. වෙනම අය පත්කළා. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානීන් පස්දෙනකු මාරු කළා. නියෝජ්‍ය පොලිස්පතිවරු කිහිපදෙනකු මාරුවුණා. මෙහෙම පරීක්‍ෂණ කරන්න පුළුවන්ද? ඇත්ත මහ මොළකරු යට කරන්න දැන් ක‍්‍රියාත්මක වෙමින් පවතිනවා. සහරාන්ට උඩින් ඉන්න කෙනා කවුද කියා සොයා බැලිය යුතුයි.

රාජ්‍ය ඇමැති ශෂේන්‍ද්‍ර රාජපක්‍ෂ මහතා –

බංකොලොත් විපක්‍ෂය හැමදාම කළේ රටේ ජනතාව නොමඟ යැවීමයි. රජය නොපෙනෙන දේවල් කරන බවට කියමින් ජනතාව උසිගන්වනවා. රටේ මහා සාගතයක් එන බවට බොරු කිව්වා. අද හැම ආර්ථික මධ්‍යස්ථානයකම එළවළු මිල පහළ යනවා. කාබනික පොහොර ව්‍යාපෘතිය රටේ සුබ සිද්ධියට ඉදිරිපත්වූවක්. දේශීය කාබනික පොහොර නිෂ්පාදන පරීක්‍ෂා කරන්න වැඩපිළිවෙළක් ඇති කළා. දිගින් දිගටම යවපු වැරදි ප‍්‍රචාරයන් නිසා ජනතාව වැරදි අවබෝධයක හිටියා. අපි අපේ කාර්යභාරය නිවැරදිව ඉටුකළා. තව කන්නයක් දෙකක් යන විට රටේ ජනතාව වස විසෙන් තොර ආහාර වේලක් ගන්න පළමු රට ලංකාව බවට පත්වේවි.

රත්නපුර දිස්ත‍්‍රික් මන්ත‍්‍රී හේෂා විතානගේ (සජබ) –

රටේ තිබෙන ප‍්‍රශ්නය හැමදාම හංගාගෙන ඉන්න බැහැ. සත්‍ය ලෙස ප‍්‍රශ්නය අවබෝධ කරගන්න අය ආණ්ඩුවේ ඉන්නවා.

රටේ හැම ආණ්ඩුවක්ම ණය අරගෙන තමයි ආණ්ඩු කළේ. ගිය ආණ්ඩුව ගත්ත රුපියල් බිලියන 5500 කළ වියදම් තිබෙනවා. නමුත් මහින්ද රාජපක්‍ෂ මහතා ගත්ත ණය වලින් කළ වැදගත් කාරණයක් නැහැ.

සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල –

කොවිඞ් වසංගතය දේශපාලනීකරණය කරගන්න විපක්‍ෂය මුල සිටම කටයුතු කළා. ආණ්ඩුව වසංගතය මර්දනය කරන්න පියවර ගත් හැම අවස්ථාවකදීම විවේචනය කළා. නමුත් අපි අපේ පියවර දිගටම ක‍්‍රියාත්මක කළා. අද එය ඉතා සාර්ථකයි. එන්නත් තුනක්ම ලබාදී තිබෙනවා. දැනටත් ෆයිසර් එන්නත් මිලියන 9 ක් අමාත්‍යාංශය සතුව පවතිනවා.

නිවාසවල නිරෝධායනය කිරීම අපි ආරම්භ කළා. නිවෙස් නිරෝධායනයෙන් එක් අයෙක් පමණයි

මියගියේ. එය ඉතා සාර්ථක බව ලොවම කියනවා.

බදුල්ල දිස්ත‍්‍රික් මන්තී‍්‍ර චමින්ද විජේසිරි (සජබ)

තෙල් මිලදී ගන්න ඊයේ මුදල් දුන්නා. ඒ ඇයි. මුදල් තියෙනවා නම් දෙන්න ප‍්‍රමාද, ගම්මන්පිල මහතා සමඟ තියෙන තරහට තමයි, මුදල් ඇමැති සල්ලි දෙන්න ප‍්‍රමාද කළේ, ඇත්ත එයයි.

රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ –

කොවිඞ් මර්දනයට අපි රුපියල් බිලියන ගණන් සෘජුව වියදම් කර තිබෙනවා. එහි ප‍්‍රතිඵල රටටම පේනවා. ජනවාරි මාසේ 14 දා ? ණය ගෙවාගන්න බැරිව රට බංකොලොත් වීමේ සතුට සමරන්න විපක්‍ෂය සූදානම්වී සිටියා. පාස්කු ප‍්‍රහාරය පිළිබඳ පරීක්‍ෂණ වාර්තාවේ වෙළුම් සියල්ල ලබා දුන්නම දැන් විපක්‍ෂයට ඒ ගැන කතා කරන්නත් බැහැ.

කුරුණෑගල දිස්ති‍්‍රක් මන්ත‍්‍රී නලින් බංඩාර (සජබ) –

පාර්ලිමේන්තුවට සියලූ වාර්තා දීලා නැහැ. ඒවා ජනපති ළඟ. ඒකෙ තමයි මහ මොළකරු ගැන තියෙන්නේ. පාස්කු ප‍්‍රහාරය, බලය වෙනුවෙන් ක‍්‍රියාත්මක කළ කුමන්ත‍්‍රණයක්. ආණ්ඩුවට පුළුවන් සියලූ බලය යොදලා මහ මොළකරු අල්ලා ගන්න.

දකුණු ආසියාවේ සියලූ රටවල් ආර්ථික අතින් දියුණුයි. අපේ රට විතරක් වැටිලා. මේ ආණ්ඩුවේ බැරිකම නිසයි රටට මේ තත්ත්වය ඇතිවුණේ.

කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ

සහරාන් අත්අඩංගුවට ගන්න කියලා පොලිස් ඇමැතිව සිටි රංජිත් මද්දුම බණ්ඩාරට බුද්ධි අංශ ලිඛිතව දැනුම් දැන්නා. ඒත් ඔහු කිසිම පියවරක් ගත්තේ නැහැ. ඒ බලය වෙනුවෙන්. පාස්කු ප‍්‍රහාරය ගෝඨාභය රාජපක්‍ෂ බලයට එන්න කළ කුමන්ත‍්‍රණයක් බවට විපක්‍ෂය කියනවා. එදා දිනපතා ගෝඨාභය රාජපක්‍ෂ මහතා උසාවි ගෙනාවා. මේකත් හොයන්න තිබුණානේ. ගණපූර්ණය නොමැතිවීම හේතුවෙන් සභාව අත්හිටුවනු ලැබීය.

පාර්ලිමේන්තුව අද (24 දා) පෙරවරු 10.00ට රැස්වෙයි.


මන්තී‍්‍රවරුන් නැතිව පාර්ලිමේන්තුව නවතී

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

ආණ්ඩුවේ වත්මන් කි‍්‍රයාකාරීත්වය පිළිබඳව විපක්‍ෂය විසින් ගෙන ආ යෝජනාව පිළිබඳ විවාදය ඊයේ (23 දා) පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන අතරතුර ගණපූර්ණය නොමැතිවීම හේතුවෙන් සභාව කල් තැබීමට මූලාසනයට සිදුවිය.

විපක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එරාන් වික‍්‍රමරත්න මහතා (සජබ) විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබීය. දිනය අවසානයේ ආණ්ඩුව වෙනුවෙන් පිළිතුරු කතාව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා විසින් කරන අතරතුර අනුරාධපුර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර රෝහණ බංඩාර මහතා (සජබ) පාර්ලිමේන්තුවේ ගණපූර්ණය නැතැයි මූලාසනය වෙත දැනුම් දෙනු ලැබීය.

ඒ අනුව මූලාසනයේ සිටි පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුරේන් රාගවන් මහතා සීනුව නාද කිරීමට දැනුම් දුන් අතර එහෙත් නියමිත මන්තී‍්‍රවරුන් ප‍්‍රමාණය සභා ගැබේ නොසිටි බැවින් පාර්ලිමේන්තුව අද (24 දා) පෙරවරු 10.00 දක්වා කල් තබන බව මන්තී‍්‍රවරයා දැනුම් දුන්නේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment