ජනපතිගේ ආර්ථික දැක්මට මම එකඟයි – ආචාර්ය හර්ෂ ද සිල්වා

174

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආර්ථික දැක්ම සමග තමා එකඟ බවත් විපක්ෂයේ සිටිය ද එය කියන්නට තමාට ශක්තියක් තිබෙන බවත් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (12 දා) පැවසීය.

එමනිසා රටේ වත්මන් තත්ත්වය සලකා කෙටිකාලීන සර්වපාක්ෂික වැඩපිළිවෙළකට එකඟ වෙමු යැයිද, ජනාධිපතිවරයා පසුගියදා පාර්ලිමේන්තුව අමතමින් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කීය.

කෙටිකාලීන සර්ව පාක්ෂික පොදු වැඩපිළිවෙළකට අපි එකඟ වෙමු. ඇයි අපට බැරි. අපි අවංක වෙමු. මම මේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැන කතා කරන්නේ මට ඇමැතිකමක් ගන්න නොවෙයි. විදේශ සහයෝගය ගන්න පිළිවන් පිරිසක් අපි පත් කර ගමු. එදා මේ පාර්ලිමේන්තුවේදී මම පැයක කතාවක් කරලා කිව්වා මේ යන ගමන වැරදියි, අපි මේක ගොඩින් බේර ගමු. අයිඑම්එෆ් යමු කියලා. මහ බැංකු අධිපති ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන්, මුදල් ඇමැතිවරයා වගේම පී.බී. ජයසුන්දර ගෙන යන වැඩ පිළිවෙළ වැරදියි කියලාත් මම කිව්වා. එදා ඒ අය අපට හිනා වුණා. නමුත් දැන් කියනවා ඒ අයට වැරදුණා කියලා. අපි දැන්වත් සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් හදමු. අපි ඩලස් අලහප්පෙරුම ජනාධිපති අපේක්ෂක කරන්න හදන විට අප ආර්ථිකය හදන්න වැඩපිළිවෙළක් හැදුවා. මේ තිබෙන්නේ ඒ වැඩපිළිවෙළ. මේකේ වැරදි තිබෙනවා නම් පෙන්වන්න. විරුද්ධ නම් කියන්න, අපි හදා ගෙන යමු. විපක්ෂයෙන් හදලා තිබෙනවා ආර්ථිකය හදන්න පිළිවන් වැඩ පිළිවෙළ ලෝකේ ප්‍රථම වරට විපක්ෂයෙන් ඉදිරිපත් කරලා තිබෙනවා. අපි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික වැඩපිළිවෙළත් සමග එකඟයි. මම විපක්ෂයේ හිටියත් ඒක බය නැතිව කියනවා. මේ රට දියුණු කරන්න වැඩපිළිවෙළ ඔහුට තිබෙනවා. එදා අපි මේවා ලිව්වා. එදා එතුමා විපක්ෂයේ හිටියේ. සජිත් අපි ඔක්කොම එකට හිටියේ. ඒ වැඩ පිළිවෙළ දැන් ආණ්ඩුවේ ඉන්න අය කරන්න දුන්නේ නෑ යැයි ද හෙතෙම පැවසීය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment