ජනපතිගේ වැරදි තීරණ නිසා වැවිලි කර්මාන්තය විනාශ වුණා – පා. මන්ත‍්‍රී සුජිත් සංජය

217

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගනු ලැබූ අමනෝඥ තීරණ නිසා වැවිලි කර්මාන්තය අභාවයට පත්වෙලා යැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුජිත් සංජය පෙරේරා මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (10 දා) පැවැති මාධ්‍ය හමුවේ දී ඔහු මේ බව කීවේය. වැඩිදුරටත් මෙසේද පැවසීය.

මේ ආණ්ඩුව බලයට පත් වෙනකොට සෞභාග්‍යයේ දැක්මේ සඳහන් වුණා වතුකම්කරුවන්ට රුපියල් දාහක වැටුපක් දෙන බව. ඔවුන්ගේ සුබසාධනයන්, නිවාස ප‍්‍රශ්න විසඳන බවයි

ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පොරොන්දු වුණේ. නමුත් බලයට ඇවිත් වසර දෙකක් ගතවන විට වෙච්ච පොරොන්දු ඉටුකළේ නෑ.

පස්සේ වතුකර ජනතාව නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් මේ ගැන කතා කළා. එහිදී අපි කිව්වෙත් පොරොන්දු වූ රුපියල් දහස ලබා දෙන්න කියලා. ඒ ගැන පාර්ලිමේන්තුවේත් ප‍්‍රශ්න කළා. එහිදී ගැසට් එකක් ගැහුවා රුපියල් දාහක් දෙන බවට. නමුත් වතු සමාගම් එයට එකඟ වුණේ නැහැ. එහිදී වෘත්තීය සමිති නායකයෝ විදිහට වඩිවේල් සුරේෂ් සමග මමත් හාම්පුතුන් සමග සාකච්ඡා කළා දහසේ වැටුප ලබා ගන්න. නිරන්තරයෙන් අරගල කළා. ඒත් වතු සමාගම් මේ සම්බන්ධව යහපත් ප‍්‍රතිචාර දැක්වූයේ නැහැ.

එහිදී රජයට සිදු වුණා පරිපාලක සභාවේ ආඥා පනත යටතේ නිවේදනයක් නිකුත් කරන්න. එය උසාවි

නියෝගයකින් රුපියල් දහස ලබා දෙන්න කියලා. එහිදී සිය වතු සමාගම්වලට විකල්පයක් නැති නිසා රුපියල් දාහක් දීමනාව දෙන්න කටයුතු කළා.

දැන් විශාල ප‍්‍රශ්න රැසක් හටගෙන තිබෙනවා. එහිදී වෘත්තීය සමිති හා හාම්පුතුන් අතර සාමූහික ගිවිසුමක් තිබුණා. එම ගිවිසුමත් සමග තමයි වතුකර ජනතාවගේ සේවකයන්ගේ වැටුප් ප‍්‍රශ්න සුබසාධන ප‍්‍රශ්න ඇතුළු අනෙකුත් ප‍්‍රශ්න සියල්ල සාකච්ඡුා වුණේ හා එයට විසඳුම් ලැබුණේ. නමුත් පහුගිය දවස්වල ගත් තීන්දු හා උසාවි නියෝගය නිසා සාමූහික

ගිවිසුම ක‍්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වගේම වෘත්තීය සමිතිවලට වගකීමක් ඇත්තෙත් නැහැ වතු ප‍්‍රශ්න ගැන සාකච්ඡුා කරන්න. මෙහිදී ඇත්ත වශයෙන්ම වතුකම්කරුවන්ට බරපතළ ප‍්‍රශ්නයකට මුහුණ දෙන්න සිදුවෙලා. ආණ්ඩුව මේ අවස්ථාව අනුව රුපියල් දාහක් දුන්න කියලා ප‍්‍රකාශයට පත් කළත් වතුකම්කරුවන්ට එය ලැබෙන්නේ නැහැ. අපේ කාලයේ 750ක දීමනාවක් දවසට ලැබුණේ. එහිදී වතුකම්කරුවන්ට දින විසි හයක් වැටුප් දීමනාව වැඩ දෙන්න ඕන කියලා තිබුණා. නමුත් එය දැන් ක‍්‍රියාත්මක වෙන්නේ නැහැ. වතු සමාගම් එම දින 26 ලබා දෙන්න ඕන කියන නීතිය ක‍්‍රියාත්මක කරන්නේ නැහැ. වැටුප් දාලා වැඩ දෙන්නේ නැතිව දින 15 ක් 20ක් වැටුප් ලබා දෙන ක‍්‍රමවේදයක් ක‍්‍රියාත්මක වෙන්නේ. එහිදී පසුගිය කාලයේ ලැබුණු වැටුපවත් ලබාගැනීමට හැකියාවක් ඔවුන්ට නැහැ.

රුපියල් දාහක දීමනාව දෙන විට ඔවුන්ට විශාල ඉලක්කයන් දෙනවා. එහිදී අනිවාර්යෙන්ම තේ දලූ කිලෝ පහළොවක් කඩලා පසුව අනිවාර්යෙන්ම තවත් දහයක් කඩන්න ඕනෑ. එහෙම නැත්තම් රබර් කිරි කර්මාන්තයේ යෙදෙන කර්මාන්තකරුවන්ට අනිවාර්යෙන්ම ගස් 250ක් කපන්න තිබුණු එක දැන් ගස් 350ක් වෙලා. එහිදී තමන්ට දිනකට කරන්න බැරි ඉලක්කයක් ලබා දීලා. ඒ අයගේ දින කප්පාදු කිරීමේ ක‍්‍රියාදාමයකට වතු හිමියන් අවතීරණය වෙලා. මෙය බරපතළ අසාධාරණ තත්ත්වයක්. මේ සම්බන්ධව කම්කරු අමාත්‍යාංශයට පැමිණිලි කළා, අදාළ නිලධාරීන්ට කතා කළා. වෘත්තීය සමිති නායකයෝ විදිහට හැම අවස්ථාවෙම ඒ සම්බන්ධයෙන් පෙනී සිටියත් රජයෙන් කිසිම සාධනීය තත්ත්වයක් පෙන්නුම් කළේ නැහැ. ඒ වගේම වතු සමාගම් සමග සාකච්ඡුා කරන්න කිසි කෙනෙක් මැදිහත් වෙන්නේ නෑ.

මෙම අසාධාරණ තත්ත්වය තුළ වතු සේවකයන් රැකියාව අතහැර දමන තත්ත්වයට පත්වෙලා. මම නියෝජනය කරන යටියන්තොට ඇදුරාපොත කැලණි වතු සමාගමට අයිති කොටස දින ගණනාවක සිට වැඩ වර්ජනයක් ක‍්‍රියාත්මක වෙනවා. එහිදී අය කියන්නේ කරන්න පුළුවන් ඉලක්කයක් දෙන්න කියලා. නුවරඑළිය, බදුල්ල වතුකම්කරුවන් ඒ තත්ත්වයට පත්වෙලා. දිනෙන් දින නොසන්සුන්තාවයන් හට ගන්නවා. වැවිලි කර්මාන්ත ඇමැතිතුමත් කම්කරු ඇමැතිතුමාත් මැදිහත් වෙලා වතු ක්ෂේත‍්‍රයේ අභාවයට පත්වෙන තත්ත්වය විසඳන්න කටයුතු කළ යුතුයි.

මීට අමතරව ගෝඨාභය රාජපක්ෂ මහතා ගත්ත අමනෝඥ තීරණය නිසා වැවිලි කර්මාන්තය අභාවයට පත්වෙලා. මුළු ලෝකෙම කෘෂිකර්ම ක්ෂේත‍්‍රයට වැවිලි ක්ෂේත‍්‍රයට සම්බන්ධ වෙලා ඉන්න විද්වතුන් හැම කෙනාම ප‍්‍රකාශ කළා ලෝකේ කොහේවත් රසායනික පොහොර එකවර තහනම් කර නැහැ කියලා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පැය 24න් කාබනික

වගාවට ගියා. එසේ තීරණය කළාම තේ වගාවට රබර්

වගාවට බරපතළ ලෙස බලපානවා. එහිදී රසායනික පොහොර පමණක් නොවෙයි තේ කර්මාන්තය පවත්වාගෙන යන්න පළිබෝධ නාශක, වල් නාශක, දෙකම අත්‍යවශ්‍ය වෙනවා. ඒවා එකක්වත් නැතුව එවැනි කර්මාන්තයක් පවත්වාගෙන යන්න පුළුවන් කමක් නැහැ. මේ ගත්ත තීරණය නිසා වැවිලි ක්ෂේත‍්‍රයට බරපතළ තත්ත්වයක් උදාවෙලා. අද අස්වැන්න අඩක් අඩුවෙලා. කුඩා තේ වතු හිමියෝ ලක්ෂ ගණනක් මේ රටේ ජීවත් වෙනවා. අද ඒ අය අන්ත අසරණ වෙලා. අද පොහොර මිටියක් හොයාගන්න විදියක් නැහැ. හොයා ගත්තත් රුපියල් දහදාහකට ආසන්නව ගෙවන්න වෙනවා. ඒක කාටවත් දරාගන්න බැහැ. සේවක කුලිය මදි කම නිසා එම අයට ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment