ජනපතිට සජිත්ගෙන් ‘රිටන්’ එකක්

229

අගමැති ධුරය භාර ගැනීම උදෙසා තමන් රාජපක්ෂ වන්දනාවේ නොගිය බවත්, ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපති කරනු ලැබූ ඉල්ලීමට තම ප්‍රතිචාරය ප්‍රසිද්ධියේ යොමු කළ බවත්, එය සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ පක්ෂවල සාමූහිකත්වය ඇතිව සිදු කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

තමන් විසින් ලියන ලද ලිපියෙහි කොටසක් පමණක් ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පෙර දින (24 දා) පාර්ලිමේන්තුවේදී සත්‍ය තත්ත්වය විකෘති කර ඇති බව පැවසූ විපක්ෂ නායක තමන් ඇතුළු සමගි ජන බලවේග සන්ධානය අදාළ ඉල්ලීම සිදුකළේ කොන්දේසි සහිතව බව ද පාර්ලිමේන්තුවේදී ඊයේ (25 දා) කීය.

එම තත්ත්වය යටතේ තනතුරු සහ තාන්න මාන්න භාර ගැනීමට කොන්දේසි විරහිතව තමන් කිසි විටෙකත් ක්‍රියා නොකළ බව පැවසූ ඒ මහතා එවැනි තනතුරු උන්මාදයක් තමන්ට හෝ සමගි ජන බලවේග සන්ධානයට නොමැති බව ද පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදී ජනතා අරගලය සහ ගෙවල් සහ දේපළ ගිනි තැබූ ක්‍රියාවලිය එකක් නොව දෙකක් බව පැවසූ විපක්ෂ නායක තමන් එවැනි ත්‍රස්තවාදී ක්‍රියාවලට සහමුලින් විරුද්ධ බවත් ප්‍රජාතන්ත්‍රවාදී අරගලයට කොන්දේසි විරහිතව පක්ෂ බවත් සඳහන් කළේය.

“මම කිසි දවසක අගමැතිකම දෙන්න, අර තනතුර දෙන්න කියලා එතුමට ලියුම් ලිව්වෙ නෑ. ඒ වගේම තනතුරු ඉල්ලගෙන වන්දනාවේ ගියෙත් නෑ” යැයි ද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment