ජනපතිවරණය – මහ ඡන්දය කල් දාන්න ඉල්ලුවේ ව්‍යවස්ථාවට අනුකූලව

70

එජාප මහලේකම් රංගේ බණ්ඩාර

ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ජනමත විචාරණයකින් වසර දෙකකින් කල් තබන ලෙස තමා ඉල්ලා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව යැයි එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ඊයේ (03දා) පැවසීය. ජනතාව තුළ තමාගේ ප්‍රකාශයට විරෝධතාවයක් නැතත් කයියනායකලා තමන් කළ ප්‍රකාශය ගැන නිසි අවබෝධයකින් තොරව විවේචන සහ විරෝධය පළකර තිබූ බවත් තමා එම පිරිසගෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 85, 86 සහ 87 වන වගන්ති උපවගන්ති සමග නැවත අධ්‍යයනය කර ප්‍රකාශ නිකුත් කරන ලෙස ඉල්ලා සිටින බවත් සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ ඊයේ (03 දා) පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් රංගේ බණ්ඩාර මහතා කියා සිටියේය.

තමා එම ඉල්ලීම කළේ රටේ මහජනතාව මැතිවරණයක් ඉල්ලා නොසිටින නිසා බවද හෙතෙම පැවසීය. ඔවුන් රටේ සාමාන්‍ය ජීවිතයක් ගතකරන නිසා තමාගේ ප්‍රකාශයට විරුද්ධව ප්‍රකාශ සිදුනොකරන බවද රංගේ බණ්ඩාර මහතා කීය. තමාගේ ප්‍රකාශයට ජනතාව විරුද්ධ නම් තමා රට පුරා ගමන් කරනවිට මහජන විරෝධයක් එල්ලවිය යුතු බවත් එවැනි විරෝධයක් කිසිම ප්‍රදේශයකින් තමාට එල්ල වී නැති බවත් ඔහු පැවසීය.

2022 වසරේ අරාජික වූ අවස්ථාවේ වගකීම් භාර ගැනීමට බියවී පලාගිය පිරිස් දැන් රටේ බලය ඉල්ලා සිටින බවත් ඔවුන් රටේ බලය ඉල්ලීමට පෙර රටේ දැනට කර ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ ඉදිරියට ගෙනියනවාද තම ආර්ථික සැලැස්ම කුමක්ද යන්න රටට හෙළි කළ යුතු බවත් ඒ මහතා කියා සිටියේය.

ස්ථාවර වෙමින් පවතින රට නැවත මැතිවරණයට ගොස් අස්ථාවර කරනවාට වඩා රටේ ආර්ථිකය යම් තත්ත්වයකට පැමිණි පසු වසර දෙකකින් පමණ මැතිවරණ පවත්වමු යැයි තමා යෝජනා කළේ එම නිසා බවද රංගේ බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment