ජනපති අගමැති අස් වී සර්වපාක්ෂික රජයකට ඉඩ නොදුන්හොත් අරගලයේ ඊළඟ පියවරට යනවා

227

සර්වපාක්ෂික අරගලකරුවන්ගේ මාධ්‍ය ප්‍රකාශක නිරාශන් විතානගේ

විපක්ෂය හරිහැටි කාර්ය ඉටු කරන්නේ නෑ

ජනාධිපති හා අගමැති ඉවත් කර සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා රටේ වත්මන් අර්බුදය විසඳීමට විපක්ෂය ගත යුතු නිසි පියවර නොගත් බව සර්වපාක්ෂික අරගලකරුවන්ගේ මාධ්‍ය ප්‍රකාශක නිරාශන් විතානගේ මහතා පැවසීය.

රටේ වත්මන් දේශපාලන අර්බුද ප්‍රජාතන්ත්‍රවාදීව හා සාමකාමීව විසඳා ගැනීම අරගලකරුවන්ගේ එකම අරමුණ බව ද ඒ මහතා කියා සිටියේය.

මේ වනවිට අරගලකරුවන් අත්පත් කරගෙන සිටින සියලුම රාජ්‍ය ආයතන ආපසු භාරදීමට පියවර ගෙන සිටින බවත් ජනාධිපති සහ අගමැතිවරයා ඉල්ලා අස් වී සර්වපාක්ෂික රජයක් පිහිටුවීමට ඉඩ නොදුනහොත් ඊට අදාළව ගන්නා ඊළඟ පියවර තීරණය කරන බවත් ඒ මහතා කීය.

ඉකුත් මාර්තු මාසයේදී සර්වපාක්ෂික අරගලය ආරම්භ කරන මොහොතේ සිටම විපක්ෂයේ කාර්යභාරය පිළිබඳව දැනුවත් කළ බවත් මේ දක්වා විපක්ෂය ඔවුනගේ කාර්යභාරය හරිහැටි ඉටුකර නැතැයි ද හෙතෙම කීය.

ඒ ඒ දේශපාලන පක්ෂවල පටු අරමුණු පසෙක දමා වත්මන් ජනාධිපති සහ අගමැතිවරයා ඉවත් කර රටේ සැබෑ ප්‍රශ්න විසඳිය හැකි සර්වපාක්ෂික ආණ්ඩුවක් තනා සියලු දෙනාට පිළිගත හැකි ජනාධිපතිවරයකු, අගමැතිවරයකු හා අමාත්‍ය මණ්ඩලයක් තෝරා ගන්නේ නම් කිසිදු ප්‍රශ්නයක් නැතැයි ඒ මහතා කීය. කථානායකවරයා වරින්වර විවිධ ප්‍රකාශ කරමින් කටයුතු කරන බව ද ඒ මහතා කීය.

ඒ අනුව රටේ වත්මන් දේශපාලන අර්බුදය විසඳීම සඳහා ජනාධිපති මෙන්ම අගමැතිවරයා වහා ඉල්ලා අස් වී සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවාලන්නේ නම් අරගලයේ ඉලක්කය සපිරෙන බව ද ඒ මහතා කීය.

සර්වපාක්ෂික අරගලකරුවන් නියෝජනය කරමින් එහි ලේකම් කැලුම් අමරතුංග (ප්‍රතිපත්ති දේශපාලන ක්‍රියාමාර්ග) ශේන් ප්‍රියවික්‍රම (ජාතික සංවිධායක) යන මහත්වරු ද අදහස් දැක්වූහ.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment