ජනපති අගමැති ජන අරගලයට බියෙන් බංකර තුළ හැංගිලා – අරගලය දිනවන්න එකතු වෙන්න

269

‘මයිනාගෝගම’ මැයි රැලියේදී හඬ නැඟෙයි

ඉතිහාසයේ පළමු වතාවට අනෙක් සියලු පක්‍ෂ මැයි දින රැලිය පවත්වද්දී පොදුජන පෙරමුණට ප්‍රධාන මැයි දින රැලිය පවත්වන්න බැරිවෙලා තිබෙනවා යැයි ශ්‍රී ලංකා තරුණ නීතිඥ සංගමයේ සාමාජික නීතිඥ මනෝජ් නානායක්කාර මහතා පැවැසීය.

ඒ මහතා එසේ පැවසුවේ ඊයේ (01 වැනිදා) සවස ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව වහා ඉවත්විය යුතු බවට බලකරමින් අරලියගහ මන්දිරය අසල විරෝධතාවය පවත්වාගෙන යන අට්ටාලයේ සිටය.

මෙහිදී තවදුරටත් කතා කළ නීතිඥ මනෝජ් නානායක්කාර මහතා මෙසේද කීය.

මේ තරුණයන්ගේ අරගලයට දින 23 ක් වෙලා තිබෙනවා දැන්. ජනාධිපතිවරයා අද කොටුවේ ජනාධිපති මන්දිරයේ හිරවෙලා. අගමැතිවරයා අරලියගහ මන්දිරයේ බංකරයේ හිරවෙලා. ඒ වගේම ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට අද එළියට බැහැගන්න විදිහක් නැහැ. තරුණ අරගලය නිසා ඒ අය අද බයවෙලා. 3/2 ක බලයක් තිබුණු ආණ්ඩුවේ අද මන්ත්‍රීවරු 113 හදාගන්න බැරුව හිඟා කකා ඇවිදිනවා.

මේ ආණ්ඩුව මේ අරගලය මර්දනය කරන්න හැදුවාට පලක් වුණේ නැහැ. මිරිහාන සිද්ධියේ දී, රඹුක්කන සිද්ධියේදී තරුණයන් අත්අඩංගුවට ගත්තා. මේ තරුණයන් වෙනුවෙන් නීතිඥවරුන් 500 කට වැඩි පිරිසක් පෙනී සිටියා. දැන් තරුණ අරගලයේදී අපි නීතිඥවරුන් හැටියට අඛණ්ඩවම පෙනී ඉන්න බව කියනවා. පොලිසියේ මහත්වරුන්ටත් කියන්න කැමැතියි. ඔබලා ඔය ක්‍රියාත්මක කරන්නේ කාගේ හෝ අණක්. එහෙම එක එක අණට යටත්වෙලා මේ අරගලය මර්දනය කරන්න එපා. එහෙම කළොත් අවසානයේ අමාරුවේ වැටෙන්නෙත් පොලිසියේ ඔබයි.

මෙහිදී ගාල්ල තවලම සිට කිලෝ මීටර් 130 ක් දුරගෙවා පැමිණි තරුණයකු මෙසේ පැවැසීය.

තවලම ඉඳලා අපි දවස් 7 ක් තිස්සේ මේ ආවේ රටේ මිනිසුන් වෙනුවෙන්. මේ පාර ආණ්ඩුව පන්නා දැමිය යුතුයි. අපේ රට විනාශ වෙන්න දෙන්න බැහැ. ඒ නිසා තරුණ අරගලය දිනවන්න මුළු රටේම ජනතාව එකතුවෙන්න.

“මුන්ට දැක්මක් නැහැ. පොල් ගෙඩියක් හොරකම් කරපු එකා හිරේ. කෝටි ගාණක් හොරකම් කළොත් ඔවුන් රජගෙදර.

මෙහිදී ඊයේ අලුයම පොලිසිය විසින් කඩා ඉවත් කරන ලද “මයිනාගෝගම” අට්ටාලය යළි සකස් කර ඒ තුළට විරෝධතාකරුවෝ රඳවන්නට වූහ.

අරලියගහ මැඳුර ළඟ පැවැති මෙම රැස්වීම පැවැත්වෙන අවස්ථාවේ විශාල ජනතාවක් ජාතික කොඩි ලෙළදෙවමින් රැඳී සිටිනු දැකගත හැකිවිය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, ඡායා – නිශාන් එස්. ප්‍රියන්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment