ජනපති අතුරුදහන්… කථානායක ගැන තිබූ විශ්වාසය පළුදු වෙලා…!

336

පාර්ලිමේන්තුව රැස්කර පියවර ගන්න

කථානායකවරයා සම්බන්ධයෙන් ජනතාව තැබූ විශ්වාසය බරපතළ ලෙස පළුදු වී ඇති බව ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ඊයේ (14 දා) සඳහන් කළහ.

කථානායකවරයා යනු මේ රටේ ව්‍යවස්ථාදායකයේ ගෞරවණීයම තනතුරක් දරන අයෙකු බවත් නමුත් මේ වන විට බේගල් ඇදබාන පුද්ගලයකුගේ තත්ත්වයට ඇද වැටී ඇති බවත් උන්වහන්සේ කීහ.

එවන් තත්ත්වයකට ඔහුව පත්කළ ගෝඨාභය රාජපක්‍ෂ මහතා සම්බන්ධයෙන් මීට වඩා සෘජු තීන්දු තීරණ ගැනීම ප්‍රමාද කිරීම ගැන කනගාටු වන බවද සෝභිත හිමියෝ පැවසූහ.

ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා 13 දා එම ධුරයෙන් ඉවත්වන බවට කථානායකවරයාට කළ දැනුම්දීම ජනාධිපතිවරයා ඉෂ්ට නොකිරීම නිසා කථානායකවරයා පඹයකුගේ තත්ත්වයට පත්වීම වේදනාකාරී බවද පූජ්‍ය ඕමල්පේ කීහ.

ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා කෙරෙහි යම් අල්පමාත්‍රයක හෝ විශ්වාසයක් තිබුණි නම් ඔහු කළ මුසාවාදයෙන් එම විශ්වාසය දැන් බිඳ වැටී ඇතැයිද උන්වහන්සේ කීහ.

ජනාධිපතිවරයා දැනට අතුරුදන්ව ඇති නිසා පාර්ලිමේන්තුව රැස් කරවා අවශ්‍ය ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ග ගෙන කටයුතු කළ යුතු බවත් ඊට තවත් කල්මැරීම කිසිසේත් නොකළ යුතු බවත් ඕමල්පේ හිමියෝ වැඩිදුරටත් පැවසූහ.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment