ජනපති අස්වුණොත් මන්දිරවලින් යන්න

271

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (13 දා) ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය යන තුනේ රැඳී සිටින අරගලකරුවන් වහා ඉවත්ව යා යුතු යැයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමිපාණෝ ඊයේ (12 දා) පැවසූහ.

එසේ නොවුණොත් වෙනත් විනාශකාරී බලවේග අරගලයේ කීර්තිනාමය කැතකිරීමට හා එම ස්ථාන කේන්ද්‍ර කරගෙන කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකිරීමට ඉඩ ඇතැයි ද උන්වහන්සේ සඳහන් කළහ.

කොළඹ ඊයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී උන්වහන්සේ තවදුරටත් මෙසේද කියා සිටියහ.

සමස්ත ශ්‍රී ලාංකේය ජාතියම බලාපොරොත්තු වන පරිදි අද (13 දා) ගෝඨාභය රාජපක්‍ෂ මහත්මා ජනපති පදවියෙන් ඉල්ලා අස්වෙනවා කියා අපි හිතනවා. ජනාධිපතිවරයා ධුරයෙන් ඉල්ලා අස්වීමට පෙර නව අග්‍රාමාත්‍යවරයෙකු පත්කිරීමෙන් ජනතාවගේ ඉල්ලීම් සම්පූර්ණයෙන්ම ඉටුකරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ඉන් පසුව රට අරාජික තත්ත්වයට පත්නොවී පරිපාලන කටයුතු පවත්වාගෙන යා හැකි වෙනවා. කැබිනට් මණ්ඩලය විසිරී යන්නේ නැහැ. දැන් පවතින අර්බුදකාරී ආර්ථික තත්ත්වය විසඳන්නට නව අග්‍රාමාත්‍යවරයෙක් පත් කිරීම අත්‍යවශ්‍ය බවයි ජනතාවගේ මතය. අපි බලාපොරොත්තු වෙනව එය ඒ අකාරයෙන් ඉෂ්ට වෙයි කියලා.

අද ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමත් සමග ගාලුමුවදොර අරගල බිමේ මේ දක්වා කැපවීමෙන් කටයුතු කළ තරුණ තරුණියන් මෙන්ම සමස්ත ශ්‍රී ලාංකේය ජනතාව යම් ආකාරයකට සෑහීමකට පත්විය යුතුයි තමන්ගේ ඉල්ලීම ඒ ආකාරයෙන් ඉටුවීම සම්බන්ධයෙන්. ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමත් සමඟ ජනතා සන්තකයට පත්කොට තිබෙන ජානාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය ඇතුළු ජාතික සම්පත් නිදහස් කළ යුතුයි. රටේ ආරක්‍ෂාව පිළිබඳව වර්තමානයේ ජනාධිපති ධුරය අක්‍රියව සිටින තත්ත්වයක් යටතේ ආරක්‍ෂාව තහවුරු වෙන්නේ නැහැ. ආරක්‍ෂාව භාරව ඉන්නේ ජනතාවමයි. ඉදිරියටත් මේ ආරක්ෂාව දිගට පවත්වාගෙන යෑම බරපතළ ප්‍රශ්නයක්. මේ වැදගත් ජාතික වස්තූන් විනාශ කිරීම සඳහා අපි නොදන්නා ආකාරයේ කුමන්ත්‍රණ ක්‍රියාත්මක විය හැකියි. ඒ නිසා අද ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමත් සමඟ ඒ ජාතික සම්පත් ආරක්‍ෂක අංශවලට පැවරෙන ලෙස කටයුතු කරන ලෙස අපි ඉල්ලා සිටිනවා.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ අරුණ බෝගවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment