ජනපති ඇරයුම සහ විපක්‍ෂයේ වගකීම

774

කොවිඞ් අර්බුදය මුළු ලෝකයටම එල්ල කළ බලපෑම සුළුපටු නොවේ. එය අප රටටද සෘජු ලෙස බලපා තිබේ. අපේ රටේ ආර්ථිකය නන්නත්තාර වීමට ප‍්‍රධාන වූයේ කොවිඞ් අර්බුදයයි. විදේශ සම්පේ‍්‍රෂණ රට තුළට ගලා නොඒම, සංචාරක ව්‍යාපාරය බිඳ වැටීම ඇතුළු රටට ඩොලර් සංචිත ගලා එන මාර්ග අවහිර විය. විදේශ ඩොලර් සංචිත හිඟය නිසා මේ වන විට විදුලි අර්බුදයක් ගොඩනැඟී ඇත. යම් ආකාරයකින් විදුලි කප්පාදුවක් සිදුවුවහොත් අපේ රට වැටෙන තැන සිතා ගැනීමට බැරි තරම් ය.

පවතින අර්බුදය නිර්මාණය වූයේ රජය ගත් වැරදි ආර්ථික ප‍්‍රතිපත්ති නිසා යැයි විපක්‍ෂය චෝදනා කරයි. කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පෙරේදා (18 වැනිදා) නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ආරම්භ කරමින් ප‍්‍රකාශ කළේ පසුගිය දෙවසර තම රජයට අභියෝගාත්මක කාල පරිච්ෙඡ්දයක් වූ බවයි. කොවිඞ් – 19 ගෝලීය වසංගතයට මුහුණ දීමට සිදු වූ නිසා කුඩා ආර්ථිකයක් සහිත ලංකාවට එය තදින් බලපෑම් කළ බව ජනාධිපතිවරයා එහිදී ප‍්‍රකාශ කර තිබිණි. ඉලක්කගත ජනගහනයෙන් 85% කට වැඩි ප‍්‍රමාණයකට කොවිඞ් එන්නත් මාත‍්‍රා දෙකම ලබා දී රට සාමාන්‍යකරණයට ලක්කිරීමට හැකි වූ බව ජනාධිපතිවරයා පවසයි. මේ මොහොතේ සියලූ මහජන නියෝජිතයන්ගේ වගකීම වනුයේ පීඩාවට පත් රට ගොඩනැගීම සඳහා පක්‍ෂ විපක්‍ෂ භේදයෙන් තොරව පෙරට ඒම බව ජනාධිපතිවරයා සිය කතාවේදී අවධාරණය කළේය.

ජනාධිපතිවරයාගේ මෙම ඇරයුම විපක්‍ෂය කොයි ආකාරයෙන් පිළිගත්තේ දැයි කීමට කල් වැඩිය. එහෙත් මෙහිදී සිහිපත් කළ යුතු කාරණය වන්නේ රජයට මෙන්ම විපක්‍ෂයට ද දේශපාලනය කිරීමට නම් රටක් තිබිය යුතු බවයි. රජයක් වැරදි පාරේ යන්නේ නම් හරි පීල්ලට දමා ගැනීමට විපක්‍ෂය උත්සාහ කළ යුතුය. එසේම විපක්‍ෂයේ සාධනීය යෝජනාවලට ඇහුන්කම් දීම රජය පාර්ශ්වයේ වගකීමකි. දෙගොල්ලන් දෙපසට වී චෝදනා කර ගැනීමෙන් හෝ විවිධ විවේචන එල්ල කිරීමෙන් පමණක් රට ගොඩයන්නේ නැත. රට වැටුණු විට මුළින්ම එහි ප‍්‍රතිවිපාක අත්විඳීමට සිදුවනුයේ මේ රටේ අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාවටය. බඩු මිල අහස උසට නගිද්දී ඊට සාපේක්‍ෂව මෙම ජන කොට්ඨාශයේ ආදායම් ඉහළ නොයන නිසා ඔවුන්ට තුන්වේල නොව එක වේලක්වත් කෑම අතිශය දුෂ්කර වනු ඇත.

මේ රටේ ජනතාවගේ බදු මුදල්වලින් යැපෙන අපේ මහජන නියෝජිතයෝ මේ මොහොතේ පක්‍ෂ භේදයෙන් තොරව වැටී ඇති රට මෙන්ම හතර ගාතයෙන් වැටී ඇති දුගියන්ගේ ආර්ථිකය නඟාසිටුවීම සඳහා පෙරට ආ යුතුය.

රජය මේ වන විට රජයේ සේවකයන්ට, විශ‍්‍රාමිකයන්ට රුපියල් පන්දහසක අමතර දීමනාවක් ලබාදීමට පියවර ගෙන ඇත. එම පාර්ශ්ව මුහුණ දී ඇති දැඩි ආර්ථික අර්බුදය හමුවේ එවැනි දීමනාව ලබාදීමේ වරදක් නැත. එහෙත් ප‍්‍රශ්නය වනුයේ මේ වන විට රටේ විවෘත ආර්ථික අර්බුදයෙන් බැටකන්නේ ඔවුන් පමණද කියා ය. පොදුවේ පෞද්ගලික අංශයේ සේවකයන්ට ද රටේ ආර්ථික අර්බුදය බලපා තිබේ. ඒ සඳහා යම් පියවරක් ගන්නැයි කම්කරු ඇමැතිවරයා පෞද්ගලික අංශයට යෝජනා කළ ද එය කෙතරම් දුරට ප‍්‍රායෝගික ද යන්න ප‍්‍රශ්නයකි. මුළු රටම කොවිඞ් අර්බුදයෙන් ඇද වැටෙද්දී මේ රටේ පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයෝ දැඩි ආර්ථික අර්බුදයන්ට මුහුණ දුන්හ. කොවිඞ් හමුවේ පාඩු පිට පාඩු ලබද්දී මේ රටේ පෞද්ගලික සේවකයන්ගේ රැුකියා සුරක්‍ෂිත කරමින් ඔවුන්ව මේ අයුරින් හෝ රැුකබලා ගැනීම ගැන අප ඔවුන්ට ප‍්‍රණාමය පුද කළ යුතුය. එනිසා මේ මොහොතේ රජයට කළ යුතුව තිබුණේ රුපියල් පන්දහසේ දීමනාවක් ලබා දී යම් පිරිසක් සනසනවාට වඩා බඩු මිල අඩු කරන ක‍්‍රමවේදයක් ඔස්සේ රටේ සමස්ත ජනතාවට සහන සැලසීම නොවේද?

අනෙක් අතට රුපියල් පන්දහසේ දීමනාවක් ලබාදීමෙන් පමණක් ජනතාවගේ ආර්ථික අර්බුදය විසඳේ දැයි කල්පනා කළ නොහැක. පසුගිය දිනෙක කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා අවධාරණය කර තිබුණේ රුපියල් පන්දහසක් ලබාදීමෙන් පමණක් රටේ ආර්ථික ප‍්‍රශ්නය නොවිසඳෙන බවයි. ඔහු අවධාරණය කරන්නේ මේ රටේ කර්මාන්ත පද්ධතිය බලගැන්වීම හරහා විදෙස් රටවලින් ඩොලර් මෙරටට ගලාඑන ක‍්‍රමවේදයන් සකස් කළ යුතු බවයි. එය සැබෑවකි. අප රට කාලයක් තිස්සේම නිෂ්පාදන ආර්ථික ක‍්‍රියාවලියකට නොයෑමේ ප‍්‍රතිවිපාක මේ මොහොතේ අත්විඳිමින් සිටින්නෙමු. එනිසා වැරදුණු තැන් හදා ගැනීමට මෙය අවස්ථාවක් කරගත යුතුය. රටේ පවතින ආර්ථික අර්බුදයේ සැබෑ ස්වරූපය හඳුනාගෙන ඊට පිළියම් යෙදුවහොත් පමණක් රටක් ලෙස අපට ඉදිරියට යා හැකිය. එසේ නොවුණොත් මේ රට වැටී ඇති නරා වළේ ළගිමින් රජයත් විපක්‍ෂයත් පිස්සු කෙළියොත් මේ රටේ ජනතාවට හෙටක් ගැන සිතා ගැනීමටවත් බැරිවනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment