ජනපති කමිටුවෙන් සංයුති අවුල හෙළිවුණා : ගෑස් සමාගම් දෙකට නීතිය ක‍්‍රියාත්මක කරන්න – තුෂාන් ගුණවර්ධන

245

ගෑස් පිපිරීම්වලට හේතුව සංයුතිය වෙනස් කිරීම නිසා බවට අනාවරණය වී ඇති නිසා තවදුරටත් ප‍්‍රමාද නොකර ගෑස් සමාගම් දෙකට විරුද්ධව නීතිමය කටයුතු කිරීමට අදාළ ආයතන වහා පියවර ගතයුතු යැයි පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්‍ෂ තුෂාන් ගුණවර්ධන මහතා ඊයේ (23 දා) පැවසීය.

ජනාධිපතිවරයා විසින් ගෑස් සිලින්ඩර් ආශ‍්‍රිත පිපිරීම් සොයා බැලීමට පත්කරන ලද කමිටුව මගින්ද අනාවරණය කරගත් කරුණු පසුගිය අපේ‍්‍රල් මාසයේදී පාරිභෝගික කටයුතු අධිකාරිය විසින්ද හඳුනා ගෙන ගෑස් සමාගම් දෙකට විරුද්ධව කටයුතු කරන ලෙස ඇමැතිවරුන් දෙදෙනාගෙන් සහ අදාළ අංශවලින් ඉල්ලීම් කළ බවත් ඒ මහතා කීය. එම ඉල්ලීම්වලට අවශ්‍ය පියවර ගත්තා නම් මේ ආකාරයෙන් ගෑස් ආශ‍්‍රිත පිපිරීම්වලින් මනුෂ්‍ය ජීවිත අහිමි නොවන බවද බොරැුල්ල එන්. එම්. පෙරේරා අනුස්මරණ ආයතනයේ ඊයේ (23 දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් කීවේය.

ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය.

ගෑස්වල සංයුතිය වෙනස් කළේ ගෑස් සමාගම් දෙක දැනුවත්වයි. ඇතැම් විට ගෑස් කාන්දුවන බව මේ සමාගම් හඳුනා ගෙන එහි ගඳ වහනය වන නර්කැප්ටන් නමැති රසායනිකය එක් කිරීම අඩු කළාද කියලත් සැකයක් තියෙනවා. මේ අය ඇතැම් විට ගෑස් කාන්දුවීමක් සිදුවන බවට දැනගෙන මේ නර්කැප්ටන් අඩුකළාද කියලත් සොයා බැලිය යුතුයි.

මේ රටේ ජනතාවට රේල් පාරේ යායුතු ආකාරය කියන්න යන්නේ නැහැ වගේ ගෑස් පාවිච්චිය කරන විදිය කොමිෂන් දාලා කියන්න අවශ්‍ය නැහැ. මේ කොමිෂන් දාපු එකෙන් වැඩක් වෙන්න නම් කොමිසමෙන් සොයාගත් නිර්දේශ අනුව මහජනතාවට සේවයක් වෙන්න ඉඩ සැලැස්විය යුතුයි. අනික තමයි මේ කොමිසමෙන් මොනව ප‍්‍රකාශ කළත් වහාම ගෑස් පිළිබඳ නියාමනයට ආයතනයකට භාරදිය යුතුයි. ඊළ`ගට එම ආයතනයේ නිලධාරියෙක් ගෑස් සමාගම් දෙකට පත්කළ යුතුයි. එසේ නොකර මේ සමාගම් දෙක ගැන විශ්වාසය තබලා කටයුතු කරන්න ගියහොත් මේ ගෑස් පිපිරිල්ල නවත්වාගන්න බැරි වෙයි. ඒ නිසා රජයේ බලධාරීන් වහාම නිලධාරීන් දෙදෙනෙක් පත්කර ඔවුන් ලබාදෙන වාර්තා පිළිගන්න තත්ත්වයක් ඇති කළ යුතුයි.

මෙහිදී ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා සහ මහජන අයිතීන් සුරැකීමේ පදනමේ ආචාර්ය චන්දිමා විජේගුණවර්ධන මහත්මියද අදහස් දැක්වූහ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment