ජනපති කැඳවූ සාකච්ඡාව විපක්‍ෂය වර්ජනය කරයි – විපක්‍ෂයෙන් ආවේ – මෛත්‍රී – හකීම් විතරයි

287

මැතිවරණ වියදම් සීමා කිරීමට අදාළ පනත් කෙටුම්පත විවාදයට ගැනීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (18 වැනිදා) සවස 2.30ට කැඳවා තිබූ සාකච්ඡාවට විපක්ෂයෙන් සහභාගී වී ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් යන මහත්වරුන් පමණක් බව ඊට සහභාගි වූ නියෝජිතයෙක් පැවසීය.

ඒ අනුව හදිසියේ කැඳවා තිබූ ජනාධිපතිවරයාගේ එම විශේෂ සාකච්ඡාව පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය ඇතුළු විපක්ෂයේ පක්ෂ තුනක් වර්ජනය කර තිබිණි.

පාර්ලිමේන්තු පරිශ්‍රයේ කමිටු ශාලාවකදී පැවැති එම සාකච්ඡාව වර්ජනය කළේ සමගි ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය සහ ජාතික ජන බලවේගය යන පක්ෂ ය.

මෙම සාකච්ඡාව පැවැත්වෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවට ඊයේ පෙරවරුවේ ම දැනුම් දුන්නේ ය. එවැනි සාකච්ඡාවක් යොදා ගැනීම සම්බන්ධයෙන් විපක්ෂයේ දැඩි දෝෂ දර්ශනයට ලක්වූ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ලක්ෂ්මන් කිරිඇල්ල, අනුර කුමාර දිසානායක යන මහත්වරුන් කියා සිටියේ එවැනි සාකච්ඡාවක් නොව තමනට අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීම බවය.

ජනාධිපති කැඳවා තිබූ මෙම සාකච්ඡාවට පෙර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු බවට විපක්ෂය ඉදිරිපත් කළ අදහස් සැලකිල්ලට නොගත් කථානායකවරයා ජනාධිපතිවරයාගේ සාකච්ඡාව මුලින් ම පැවැත්වීමට තීරණය කළේය.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment