ජනපති තරගයට ආවේ  තනතුර ආභරණයක් නිසා නොවේ – පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම

172

අපි හැමවිටම බැලුවේ දියවන්නාවෙන් එළියේ සිටින පවුල් ලක්ෂ  58 ක් ගැනයි

“එළියේ දුකින් පීඩා විඳින තරුණයන් ඇතුළු සමස්ත ජනතාවගේ හඬට දැන්වත් ඇහුම්කන් දිය හැකි මනසක් නිර්මාණය වේවා” කියලා මම ප්‍රාර්ථනා කරනවා ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ  (20 දා) පැවසීය.

නව ජනාධිපතිවරයා ලෙස තේරීපත් වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් අලහප්පෙරුම මහතා මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

“කණ්ඩායමක් විදියට අපි මේ තරගයට ඉදිරිපත් වීමට තීරණය කළේ තවදුරටත් මේ ජනාධිපති ධුරය ආභරණයක්, වත්කමක්, ගෞරවයක් විදියට සලකාගෙන නොවේ. ජාතික න්‍යාය පත්‍රය වෙනුවට පක්ෂ පුද්ගල න්‍යාය පත්‍ර කේන්ද්‍ර කර ගනිමින් ඒවාට ප්‍රමුඛත්වය දෙමින් ව්‍යවස්ථාවෙන් ද, ව්‍යවස්ථා සංශෝධනයන් ද කරමින් ජනතා පරමාධිපත්‍ය පාවා දෙමින් නිදහස ලැබූ දින සිට අපි අත්විඳි වංචනික දේශපාලන සංස්කෘතිය අවසන් කිරීමේ උවමනාව පෙරදැරිව මේ ධුරයට මම තරග වැදුණා. ඡන්දවලින් ඉලක්කම්වලින් ලැබූ පරාජය පරාජයක් විදියට නොව ධෛර්යය සම්පන්න මඟ පෙන්වීමක් විදියට අපට උදව් කළ සුබ පැතූ සියලුදෙනාටම දැනුම්දෙන්න මම කැමතියි. දියුණු ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයක් පාර්ලිමේන්තුව තුළ පිළිඹිබු කරමින් රනිල් වික්‍රමසිංහ මහතාත්, අනුර කුමාර දිසානායක් මහතාත් ඉදිරිපත් වුණා. කුමන දේශපාලන ප්‍රතිපත්තියක්

අනුගමනය කළ ද ඒ හැමදෙනාටම අපේ කණ්ඩායම වෙනුවෙන් සහෝදරත්වයේ හස්තය දිගු කරනවා. රට සුවපත් කිරීම අප්‍රමාදී කර්තව්‍යයක් විය යුතුයි. සුවපත් රටකට නැවත නැඟිටිය හැකියි. රෝගී රටකට නැවත නැඟිටිය නොහැකියි. ඒ සඳහා අප සියලු දෙනාගේම

සහාය අවශ්‍යයි. අපි හැම වෙලාවේම කල්පනා කළේ මේ දියවන්නා දූපත මැද සිටින පවුල් 225 ගැනයි. අපේ ඉතිහාසයේ තීන්දු ගෙන තිබෙන්නේත් දියවන්නා දූපත මැද සිටින පවුල් 225 ගැන. නමුත් අපි බැලුවේ දියවන්නාවෙන් එළියේ සිටින පවුල් ලක්ෂ 58 ක් ගැනයි. ඒ නිසා අපි එකට හිටගත යුතුයි. දියවන්නාවෙන් එළියේ තිබෙන ඉන්දියන් සාගරයේ මැද කුඩා දූපතේ ජීවත්වන මිලියන 22 ක ජනතාවත් අප සමඟ හිට ගනියි කියලා අපි විශ්වාස කරනවා.

මට සහාය දුන් නොදුන් හැම අයෙකුටම මම කෘතවේදී වෙනවා. දේශපාලන ගමනේ තවත් එක් හැරවුම් ලකුණක් ලෙස මේ අවස්ථාව සටහන් කර ගත හැකියි. නව ජනාධිපතිවරයාට සහ ගොඩනඟන ආණ්ඩුවට සැබැවින්ම මම සුබ පතනවා. එළියේ දුකින් පීඩා විඳින තරුණයන් ඇතුළු සමස්ත ජනතාවගේ හඬට දැන්වත් ඇහුම්කන් දිය හැකි මනසක් නිර්මාණය වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපේ රටට සුබ අනාගතයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.

අකිත පෙරේරා සහ රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment