ජනපති ධුරය දරන කාලයේදී පාස්කු නඩුවෙන් රනිල් මුදා හැරේ – මෛත්‍රී වගඋත්තරකාරයෙක් වෙයි

126

පාස්කු ප්‍රහාර වන්දි නඩු 108 ක දෙවන විත්තිකරු ලෙස නම් කර තිබූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දරන කාලයේදී එම නඩුවල වගඋත්තරකාර භාවයෙන් මුදාහැරීමට කොළඹ අතිරේක දිසා විනිසුරු මහේෂා ද සිල්වා මහත්මිය ඊයේ (01 දා) නියෝග කළාය.

රටේ විධායක ජනාධිපති ධුරය දරන තැනැත්තාට හිමි මුක්තිය නඩු කටයුත්තක් පවරා පවත්වාගෙන යා නොහැකි බවට රටේ උත්තරීතර නීතිය වන ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෑතකදී නිකුත් කළ තීන්දුවක් මගින් පෙන්වාදී ඇතැයි ද අතිරේක දිසා විනිසුරුවරිය පිටු 12 කින් සමන්විත සිය නියෝගය මගින් පෙන්වා දුන්නාය.

කෙසේ නමුත් රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට දරන ජනාධිපති ධුරය අවසන් වූ පසු අධිකරණයේ අවසරය ඇතිව එම නඩුවල වගඋත්තරකරුවකු ලෙස නම් කර එම නඩු කටයුතු ඉදිරියට පවත්වාගෙන යෑමේ අවසරය පැමිණිල්ලට ඇතැයි ද සිය නියෝගය මගින් පෙන්වා දුන් අතිරේක දිසා විනිසුරු මහේෂා ද සිල්වා මහත්මිය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මුක්තිය හිමිකර දී ඇත්තේ ජනාධිපති ධුරයට මිස පුද්ගලයකුට නොවන බව ද වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

එම නඩුවල පළමු වන වගඋත්තරකාර හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ වනවිට ජනාධිපති ධුරය නොදරන බැවින් ඔහු ඉල්ලා ඇති පරිදි එම නඩුවල වගඋත්තරකාරභාවයෙන් ඔහු ඉවත් කිරීමට අවසර දීමට සිවිල් නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන නොමැති බැවින් පළමු වන වගඋත්තරකරුගේ එම ඉල්ලීම තම අධිකරණය ප්‍රතික්ෂේප කරනා බව ද අතිරේක දිසා විනිසුරුවරිය සිය නියෝගය මගින් පෙන්වා දුන්නාය. රනිල් වික්‍රමසිංහ මහතා එම නඩුවල විත්තිකාරභාවයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරන්නේ ද නැතහොත් ඔහු ජනාධිපති ධුරය දරන කාලසීමාව සඳහා විත්තිකාරභාවය තාවකාලිකව බහා තැබීමක් සිදු කරන්නේ ද යන නියෝගය නිකුත් කිරීම සඳහා එම නඩු ඊයේ (01 දා) කැඳවිණි. එම නඩු ලබන මැයි 31 වැනිදා යළි කැඳවීමට ද විනිසුරුවරිය දින නියම කළාය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment