ජනපති නාමයෝජනා භාරගන්න  මැතිසබය අද රැස්වෙයි – නම දෙන විට අපේක්‍ෂකයා මැතිසබේ සිටීම අනිවාර්යයි

198

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීමට අදාළ මන්ත්‍රීවරුන්ගේ නාමයෝජනා භාරගැනීම වෙනුවෙන් අද (19 දා) පාර්ලිමේන්තුව රැස්වේ.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් ප්‍රථමයෙන් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් පාර්ලිමේන්තුව රැස්වන අතර එහිදී ජනාධිපති ධුරය සඳහා නාමයෝජනා භාර ගැනීම සඳහා අදාළ නිවේදනය සිදු කෙරේ.

ඉන් අනතුරුව විවිධ පක්ෂවලින් ඉදිරිපත් කෙරෙන අපේක්ෂකයන්ගේ නම් ඉදිරිපත් කෙරෙන අතර යම් අපේක්ෂකයකුගේ නමක් මන්ත්‍රීවරයකු විසින් ඉදිරිපත් කරන විට එම අපේක්ෂකයා සභා ගර්භයේ රැඳී සිටීම අනිවාර්ය වේ.

ඊට අමතරව එම අපේක්‍ෂකයා ජනාධිපති ධුරයෙහි කටයුතු කිරීමට කැමැත්ත පළ කර ඇති ලිපියක් යෝජනා කරනු ලබන මන්ත්‍රීවරයාට මෙන්ම පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත ද භාරදී තිබිය යුතුය. ඊට අමතරව තවත් මන්ත්‍රීවරයකු විසින් අදාළ අපේක්ෂකයාගේ නම ස්ථිර කිරීම ද කළ යුතු බව පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් ටිකිරි කේ. ජයතිලක මහතා ‘දිවයින’ට කීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය 14 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ ධුරය සඳහා මෙම තෝරාපත් කර ගැනීම සිදුකරන අතර ඊට අදාළ නාමයෝජනා භාර ගැනීම සිදු කෙරේ.

ජනාධිපති ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක සහ ඩලස් අලහප්පෙරුම යන අපේක්ෂකයන් සිව් දෙනකු ඉදිරිපත් වන බවට මේ වන විට නිවේදනය කර ඇති බැවින් එම නාමයෝජනා ස්ථිර වූ පසුව ඒ සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට පසුදින (20දා) දක්වා පාර්ලිමේන්තුව කල් තැබේ.

එහෙත් එක් මන්ත්‍රීවරයකුගේ නමක් පමණක් ජනාධිපති ධුරය සඳහා යෝජනා කර ස්ථීර කරනු ලැබුවහොත් එලෙස යෝජනා කරනු ලැබූ මන්ත්‍රීවරයා පුරප්පාඩු වී තිබෙන ජනාධිපති ධුරය සඳහා පාර්ලිමේන්තුව විසින් තෝරා පත්කරනු ලැබ තිබෙන බව තමන් විසින් ප්‍රකාශයට පත්කරනු ලබන බව පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම්වරයා කියා සිටියේය.

කෙසේ වෙතත් කිසිදු මන්ත්‍රීවරයකුට හෝ පක්ෂ නායකයකුට අද දින පාර්ලිමේන්තුවේ අදහස් දැක්වීම හෝ රීති ප්‍රශ්න විමසීම සිදු කළ නොහැක. ජනාධිපති අපේක්ෂකයන්ගේ නම් යෝජනා සහ ස්ථිර කිරීම පමණක් සිදු කෙරෙන අතර ඒ අනුව අද දින ද පාර්ලිමේන්තුවේ එම වැඩකටයුතු විනාඩි කිහිපයකට පමණක් සීමා වනු ඇත.

අනතුරුව හෙට දින (20දා) පෙරවරු 10.00ට නැවත පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසුව 1981 අංක 02 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත යටතේ නව ජනාධිපති තෝරා ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වේ.

එය රහස් ඡන්දයක් ලෙස සභාව මැද දී සිදු කෙරෙන අතර පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දිසානායක මහතා තේරීම් භාර නිලධාරියා ලෙස කටයුතු කරයි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment