ජනපති නියමයෙන් තෙල් සංස්ථාවට කෝටි 9300 ක් විදුලිය නොකපයි

202

කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිබලය පවත්වාගෙන යෑමට රජය ඊයේ (24 දා) තීන්දු කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡුාවකින් පසුව ලංකා විදුලිබල මණ්ඩලය, තෙල් සංස්ථාවට ගෙවිය යුතු ණය මුදලින් රුපියල් කෝටි 9300ක් (බිලියන 93ක්) මහා භාණ්ඩාගාරය හරහා ප‍්‍රතිපූර්ණ කිරීමට එහිදී ජනාධිපතිවරයා උපදෙස් දී ඇත. ඒ අනුව විදුලි බලාගාරවලට අවශ්‍ය ඉන්ධන අඛණ්ඩව ලබාදීමට තෙල් සංස්ථාව පියවර ගත් බව එහි සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා ‘දිවයින’ට පැවැසීය.

ඒ අනුව කැලණිතිස්ස බලාගාර පරිශ‍්‍රයේ බලාගාර දෙකට සහ සපුගස්කන්ද, වරායේ බාච් බලාගාරයට ඞීසල් හා දැවි තෙල් ලබාදීම ඊයේ (24 දා) සවස සිට ආරම්භ කළ බවද ඒ මහතා කීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ විදුලිබල අමාත්‍යාංශ හා ඛණිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු පිරිස අතර පැවැති සාකච්ඡුාවලදී ඩොලර් කළමනාකරණය කර ගැනීම සඳහා අවශ්‍ය රුපියල් කෝටි 9300 ක (බිලියන 93) මුදාහැරීමට මහා භාණ්ඩාගාරය එකඟවී ඇත. ඒ අනුව ලංකා ඛණිජ තෙල් සංස්ථාවට විදුලිබල මණ්ඩලය ගෙවිය යුතුව ඇති ණය මුදල පියවා දැමීමට එකඟවී ඇතැයි ද මීට අමතරව විදුලිබල මණ්ඩලයට ඩොලර් මිලියන 500 ක ණය මුදලක් ලබා ගැනීමට මුදල් අමාත්‍යාංශය මැදිහත්වීමට එහිදී එකඟතාවය පළකර ඇත. මේ අනුව විදුලි කප්පාදුවක් නොකර අඛණ්ඩව විදුලි බලාගාර වෙත අවශ්‍ය ඉන්ධන ලබාදීමට සංස්ථාව පියවර ගෙන තිබිණි.

කෙසේ වෙතත් ඊයේ (24 දා) උදෑසන වනවිට මෙරට දෛනික විදුලි අවශ්‍යතාවය සපුරාලීම සඳහා මෙගොවොට් 100 කට වැඩි ප‍්‍රමාණයක හිඟයක් මතුවී තිබීම නිසා ලංකා විදුලිබල මණ්ඩලය රට පුරා කාණ්ඩ හතරක් යටතේ සවස 5.30 සිට රාති‍්‍ර 9.30 අතර කාලයේදී පැයක කාලයක් රට පුරා විදුලි විසන්ධි කිරීමට අදාළව ශී‍්‍ර ලංකා මහජන උපයෝගීතා කොමිසමෙන් අවසර ඉල්ලා තිබිණි. ඊයේ වනවිට විදුලි නිෂ්පාදනය මෙගොවොට් 2550 දක්වා පහළ බැස තිබූ අතර විදුලි ඉල්ලූම මෙගොවොට් 2650 ඉක්මවා තිබිණි. මීට හේතු වූයේ දැවිතෙල් නොමැතිකම නිසා සපුගස්කන්ද බලාගාරයෙන් නිපද වූ මෙගොවොට් 100 ක් සහ කොළඹ වරායේ බාච් බලාගාරයේ මෙගොවොට් 60 ක් අහිමිව තිබීමය. පැවැති තත්ත්වය මත දිනකට පැය කිහිපයක් විදුලිය කැපිය යුතුව ඇති බව ලංවීම මහජන උපයෝගීතා කොමිසමට දැනුම් දී තිබිණි. එම ඉල්ලීමට අනුව අද (25 දා) දිනයේ සවස 1.00 සිට රාති‍්‍ර 9.30 දක්වා කාලයේ කාණ්ඩ හතරක් යටතේ පැය දෙකක කාලයක් රටපුරා විදුලි කප්පාදුවක් සැලසුම් කොට තිබිණි.

ඇතිව තිබූ තත්ත්වය මත වහා සාකච්ඡුාවක් කැඳවූ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සියලූ අංශවල ප‍්‍රධානීන්ගෙන් මේ පිළිබඳව විමසා බලා රුපියල් බිලියන 93 ක මුදලක් මහා භාණ්ඩාගාරය හරහා විදුලිබල මණ්ඩලයට ලබාදීමට උපදෙස් ලබාදී ඇත. ඒ අනුව මුදල් අමාත්‍යාංශය, මහා බැංකුව, ඛනිජ තෙල් අමාත්‍යාංශය, විදුලිබල අමාත්‍යාංශය, ශී‍්‍ර ලංකා මහජන උපයෝගීතා කොමිසම යන අංශවල එකඟතාවය මත විදුලිය කපා නොහැර මෙම තත්ත්වය කළමනාකරණය කර ගැනීමට තීරණය කර ඇත.

විදුලිය කපා හැරීම හරහා රටේ කර්මාන්ත සහ නිෂ්පාදන කටයුතුවලට මෙන්ම ආර්ථිකයට ඇති කරන බලපෑම් සැලකිල්ලට ගනිමින් මෙම මුදල් කළමනාකරණය කර ගනිමින් අඛණ්ඩව විදුලිබලය ලබාදීමට මෙලෙස තීරණය කර ඇත.

බලාගාරවලට අවශ්‍ය ඉන්ධන ලබා දෙන්නේ නම් දැනට ප‍්‍රශ්නයකින් තොරව විදුලිබලය ලබාදීමට හැකි බව මේ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩල ඉංජිනේරුවෝ කියා සිටියහ.

විදුලිය කපාහරින බවට ඊයේ (24 දා) පැතිර ගිය ආරංචිය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගෙන් ‘දිවයින’ කළ විමසීමේදී ඒ මහතා කියාසිටියේ කිසිදු ආකාරයක විදුලි කප්පාදුවකට තම කොමිසම අවසර ලබාදී නැති බවයි.

විදුලිය කපාහරින බවට විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ට ප‍්‍රකාශ නිකුත්කිරීමට කිිසිදු අයිතියක් නොමැති බවත් ඒ අයට තිබෙන්නේ ඔවුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීමට සටන් කිරීමට පමණක් බවත් හෙතෙම කීවේය.

කෙසේ වෙතත් විදුලිය කපාහැරීම සම්බන්ධයෙන් කොමිසමට ඊයේ ඉල්ලීමක් ලැබුණු බවත් එලෙස අවසර ලබාදීම කඩිමුඩියේ කළ නොහැකි දෙයක් බවද ඒ මහතා සඳහන් කළේය.

ශිරාන් රණසිංහ සහ ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment