ජනපති නියමයෙන් – ත‍්‍රස්ත පනතට නිර්දේශ දෙන්න ත‍්‍රිපුද්ගල උපදේශක මණ්ඩලයක් – සභාපති අශෝක ද සිල්වා

171

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අදාළව නිර්දේශ සහ තීරණ ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හිටපු අගවිනිසුරු අශෝක ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත‍්‍රිපුද්ගල උපදේශක මණ්ඩලයක් පත්කර ඇත.

1979 අංක 48 දරන ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 13 වැනි වගන්තිය අනුව, ජනාධිපතිවරයා විසින් මෙම උපදේශක මණ්ඩලයක් පත් කර ඇතැයි ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ හරිගුප්ත රෝහණධීර මහතා පවසයි.

මෙම උපදේශක මණ්ඩලයේ සෙසු සාමාජිකයන් ලෙස විශ‍්‍රාමලත් මහාධිකරණ විනිසුරු ඒ. ඒ. ආර් හෙයියන්තුඩුව සහ විශ‍්‍රාමලත් සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් යන මහත්වරු පත් කරනු ලැබ සිටිති.

ත‍්‍රස්තවාදී ක‍්‍රියා සම්බන්ධයෙන් සිරදඬුවම් විඳින සහ රැුඳවුම් නියෝග මත අත්අඩංගුවේ පසුවන පුද්ගලයන් පිළිබඳව සොයා බැලීම, නිදහස් කිරීම, ඇප ලබාදීම ඇතුළු ඉදිරි තීරණ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට නිර්දේශ සහ උපදෙස් ලබාදීම මෙම මණ්ඩලයෙන් අපේක්ෂා කෙරේ.

දීර්ඝ කාලයක සිට උපදේශක මණ්ඩලයක් පත් කර නොතිබීම හේතුවෙන් මෙතෙක් සිරගතව සිටින පිරිසට තමන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරිමට අවස්ථාවක් නොමැති බවට සිරකරුවන්ගේ පාර්ශ්වයන්ගෙන් චෝදනා නැගුණි. මෙම උපදේශක මණ්ඩලය පත් කිරීමත් සමග එම සිරකරුවන්ට ඔවුන්ට ඇති ගැටලූ ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවන බව හරිගුප්ත රෝහණධීර මහතා පවසයි.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment