ජනපති ප්‍රේමදාස-විජය- රන්ජන්-කීර්ති අබේවික්‍රම මරණ පරීක්ෂණවලටත් මම සහාය වුණා-මම විවාහ වුණෙත් ඇස් නොපෙනුණාට පස්සෙයි-සුනිල් රණසිංහ කියන දුක හිතෙන කතාව

934

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා බෝම්බ ප්‍රහාරයකට හසුව මියගොස් මැයි 01 වන දිනට වසර තිහකි. ඒ මහතාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වූයේ එවකට කොළඹ මහ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා වූ එල්.බී.එල්.ද අල්විස් මහතා විසිනි. එහිදී ඒ මහතාට සහාය වුයේ සුනිල් රණසිංහ මහතාය.

දැනට දෑස් අන්ධව සිටින සුනිල් රණසිංහ මහතා කනංකේ, පුහුලහේන නිවසේදී එදා මතකය අවදිකළේය. මම නමසිය අසුපහේ ජූනි විසි එක්වෙනිදා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සේවයට බැඳුනා. කොළඹ මහ රෝහලේ මෘත ශරිරාගාරයේ තමයි සේවය කළේ. එතකොට ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා එම්. එස්. සල්ගාදු මහත්මයා. ඒ කාළේ කොළඹ හැම තැනම වගේ බෝම්බ පිපිරුණා, වෙඩි ප්‍රහාර එල්ල වුණා. ඒවායින් විශාල පිරිසක් මියගියා. සමහර අයගේ සිරුරු කෑලි කැලි වලට කැඩිල තිබුණා. ඒ හැම එකක්ම රෝහලට ගෙනාවා. ගෙනැල්ලා පශ්චාත් මරණ පරික්ෂණ කළා.

ඒ වගේ අනතුරුවලින් මිය ගිය විශාල පිරිසක්ගේ පශ්චාත් මරණ පරීක්ෂණවලට මම සහභාගි වෙලා තියෙනවා. ඒ අතරින් විශේෂ වන්නේ හිටපු ජනාධිපති ප්‍රේමදාස මහතාගේ පශ්චාත් මරණ පරික්ෂණයයි. ඒ වනවිට සල්ගාදු මහත්මයා විශ්‍රාම ගිහිල්ලා. එල්.බී.එල්.ද අල්විස් මහත්මයා තමයි අධිකරණ වෛද්‍ය නිලධාරියා වුණේ.

එදා මට අද වගේම මතකයි. නමසිය අනුතුනේ මැයි පළමුවෙනිදා හවස දෙකට විතර එස්.ටී.එෆ්. වාහනයක මළ සිරුරු කිහිපයක් ගෙනාවා. බෝම්බයක් පුපුරලා කිව්වා. ඒ ගෙනාපු මළ සිරුරු අතරේ ප්‍රේමදාස මහත්තයාගේ සිරුරත් තිබුණා. මම තමයි ඉස්සර වෙලාම ප්‍රේමදාස මහත්තයාගේ සිරුර උස්සලා ගත්තේ. තුවාල වෙලා තිබුණත් කෑලි කැඩිලා තිබුණේ නෑ. පස්සේ බෝම්බය පිපිරුණ තැනටත් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සමග මමත් ගියා.

බෝම්භයට හසුවීමට මාස කිහිපයකට පෙර දවසක අහම්බෙන් ප්‍රේමදාස මහත්මයා මට හමුවෙලා කතා කරලා තියෙනවා. ඒ සිද්ධිය මට කවදාවත් අමතක වන්නේ නැහැ. ඒ කාළේ හැමදාම පිපිරීම් හරි, වෙඩි තැබිම් හරි සිද්ධ වුණා.

පිටකොටුව බෝම්බයෙන් විශාල පිරිසක් මිය ගියා. මළ සිරුරු රැසක් ගෙනාවා. මගේ මතකයේ හැටියට සිරුරු සියකට වැඩියි. අපි එම මළ සිරුරුවල නොම්මර එල්ලුවා. එහෙම නොම්මර දැම්මේ ඥාතීන්ට හඳුනා ගැනීමේ පහසුව සඳහායි. එම අවස්ථාවේ ගෙනාපු මළ සිරුරු මෘත ශරිරාගාරයට ගන්න ප්‍රධාන ලිපිකරු මහත්මයා පවා උදව් වුණා. හැම කෙනෙක්ම තමන්ගේ තනතුරු අමතක කරලා වැඩ කළා. මළ සිරුරු තැන්පත් කිරීම සඳහා ශීතකරණ මදි වුණා. හඳුනා නොගත් මළ සිරුරු දින කිහිපයකින් නරක් වුණා. අපි ඉක්මනින්ම හඳුනාගත් සිරුරු ඥාතීන්ට දීමට කටයුතු කළා. හඳුනා නොගත් සිරුරු ආගමික වතාවත් කරලා බොරැල්ල කනත්තේ මිහිදන් කළා.

රංජන් විජේරත්න මහතා සමග පිරිසක් මිය ගියා. ඒ මහතා මෝටර රථය තුළම පිච්චිලා තිබුණා. කාර් එක තට්ටු ලොරියක පටවල මෝචරියට ගෙනැල්ලා සිරුර ගලවලයි ගත්තේ. ජේ.ඕ.සී.බෝම්බය පුපුරපු වෙලාවේ විශාල මාර ගහක් ගැලවිලා අඩි ගණනක් දුරට විසි වෙලා තිබුණා. මරදාන බෝම්බයෙන් විසි පහක් විතර මැරුණා. ඒ වගේම පාර්ලිමේන්තු බෝම්බයෙන් මිය ගිය කීර්ති අබේවික්‍රම මහතාගේ පශ්චාත් මරණ පරීක්ෂණයටත් මම සහභාගි වුණා. එවකට කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිව සිටි එස්.එම්. කොළඹගේ මහතාත් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට සහාය වුණා.

විජය කුමාරතුංග මහතාගේ පශ්චාත් මරණ පරීක්ෂණයටත් සහභාගි වුණා පමණක් නොව එතුමාගේ සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත ගෙන ගියේත් මමයි. මිය යාමට දින කිහිපයකට පෙර රෝහලට ආපු වෙලාවේ එතුමත් මා සමග කතා කරල තිබෙනවා. එතුමා ඉතා හොඳ මහත්මයෙක්. ඔය විදියට මම සේවය කරමින් සිටියදී අනු හතරේ ජූලි හත්වෙනිදා මම සේවය නිමවෙලා පයින් එමින් සිටියදී බිෂොප් හවුස් එක ළඟදි මගේ පිටි පස්සෙන් කව්රුහරි එනවා වගේ දැනිලා හැරිලා බැලුවා. එතකොටම පිටි පස්සෙන් ආපු දෙන්නා මට ඇසිඩ් ගැහුවා. මගේ ඇස් දෙකට ඇසිඩ් වැදුනා. එදා ඉඳලා මම අන්ධයි. මට නැවත පෙනීම ලබාදෙන්න සල්ගාදු මහත්මයත්, අල්විස් මහත්මයත්, කරාපිටිය රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රොහාන් රුවන්පුර මහත්මයා ඇතුළු හුඟ දෙනෙක් මහන්සි ගත්තා. නමුත් බැරි වුණා.

මට ඇසිඩ් ගහපු අය අදටත් අත්අඩංගුවට ගන්න බැරි වුණා. මගේ ඇස් අන්ධ වුණාට පස්සේ මට විශ්‍රාම ගන්න වුණා. දැන් මට වන්දි විශ්‍රාම වැටුපක් කියල සුළු මුදලක් ලැබෙනවා. මම විවාහ වුණෙත් ඇස් අන්ධ වුණාට පස්සෙයි. ඒක පුදුම කතාවක්. මම දවසක් ගුවන් විදුලියේ වසන්ත දුක්ගන්නාරාළ මහත්මයාගේ වැඩ සටහනකට සහභාගි වුණා. ඊට පස්සේ රත්නපුර ගොඩකවෙල පැත්තේ තරුණියක් මට ලියුමක් එවල තිබුණා. මගේ යාලුවො මට ලියුම කියවලා දුන්නා. ඊට පස්සේ මගේ අදහස් යාලුවො ලියලා එයාට තැපැල් කළා. මේ විදියට අපි අතරේ ලියුම් හුවමාරු වුණා. මට ලියුම් ලියන්නේ යාලුවොයි. අවසානයේ අපි දෙන්න විවාහ වුණා. එයා මගේ අත් දෙක අල්ලගෙන අපේ ගෙදර ආවා.

අපේ විවාහයට මුලදී එයාගේ ගෙදරින් විරුද්ධ වුණා නමුත් දැන් ඒ සියල්ල අවසන් වෙලා. කව්රුත් සමගියෙන් ඉන්නවා. මගේ ඇස් නොපෙනුනාට ආදරණීය බිරිඳක් ලබන්න මම කොච්චර වාසනාවත්නද කියල හිතෙනවා. අප විවාහ වෙලා මේ අවුරුද්දේ අප්‍රියල් 25 වෙනිදට අවුරුදු 26ක්. අපිට පුතාල දෙන්නෙක් ඉන්නවා. ලොකු පුතා මාලදිවයිනේ රැකියාවක් කරනවා. බාල පුතා සාමාන්‍ය පෙළ ඉගෙන ගන්නවා. ඇස් නොපෙනෙන මගේ සියලුම කටයුතු බිරිඳ කරනවා. අපි දෙන්නා අතරේ මේ අවුරුදු විසිහය තුළ කිසිම අමනාපයක් සිදුවෙලා නැහැ. ඇය උතුම් බිරිඳක්. දැන් මගේ වයස අවුදු පනස් හතයි.

අහංගම – සුගතපාල දියගහගේ සහ වංචාවල – ගැමුණු චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment