ජනපති පුටුවට පැමිණි කාලිංගයේ ආදිවාසි කත දෞපදී මුරමු

419

ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් පසු ජාතිය අමතමින් ඇය වැදගත් ප්‍රකාශයක් සිදු කළාය. “ජනාධිපති ධූරයට පැමිණීම මගේ පෞද්ගලික ජයග්‍රහණයක් නොවෙයි. එය ඉන්දියාවේ සෑම දුප්පතෙකුගේම ජයග්‍රහණයක්. මගේ මැතිවරණ ජය ඉන්දියාවේ දුප්පතුන්ට සිහින පමණක් නොව එම සිහින සැබෑ කරගත හැකි බවට හොඳම සාක්ෂියක් බව කිවයුතුයි.

ද්‍රෞපදී මුර්මු කාලිංග දේශයේ ආදිවාසී ප්‍රජාවකින් දේශපාලනයට පිවිස රටේ ඉහළ ම තනතුරට පත්විය. කාලිංගය වර්තමානයේ හඳුන්වන්නේ ඔදිෂා ප්‍රාන්තය ලෙසය. ද්‍රෞපදී මුර්මු අපට වැදගත් වන්නේ ඇය ඉන්දියාවේ 15 වැනි ජනපතිවීම නිසාය. ජනාධිපති තෝරාපත් කර ගැනීමේ අරමුණින්, ඉන්දීය ජනාධිපතිවරණය පසුගිය 18 වැනිදා පැවැත්වුණු අතර, එහි ප්‍රතිඵල නිකුත් කිරීම 21 වැනිදා රාත්‍රියේ සිදුවිය. ඉන්දියාවේ ගෝත්‍රික ප්‍රජාව නියෝජනය කරන කාන්තාවක විශිෂ්ට ජයක් හිමි කර ගනිමින්, ජනාධිපති ධුරයට පත් වුණු පළමු අවස්ථාව මෙයයි. ද්‍රෞපදී මුර්මු නව ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේ ඊයේ දිනයේය. ජනාධිපතිවරයා තෝරා ගැනීම සිදුවන්නේ, ලෝක් සභාවේත්, රාජ් සභාවේත් මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් සහ ප්‍රාන්ත මන්ත්‍රී මණ්ඩල නියෝජිතයන්ගේ ඡන්දයෙනි. ඉන්දීය ජනාධිපතිවරයාගේ කාර්යභාරය ඉතා වැදගත්ය. ඉන්දීය විධායකයේ, ව්‍යවස්ථාදායකයේ සහ අධිකරණයේ ආකෘතික නායකයා වන්නේ ජනාධිපතිවරයාය. ඉන්දියානු සන්නද්ධ හමුදා සේනාධිනායකයා වන්නේ ද ජනාධිපතිවරයාය. එහෙත් ජනපතිවරයා විධායකය නොවේ. එය අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයයි. අගමැති ලබා දෙන උපදෙස් අනුව ජනපති ක්‍රියාකරයි. ඉන්දියාවේ ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5 කි. ද්‍රෞපදී මුර්මු ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ වත්මන් අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය නියෝජනය කරමිනි. මුර්මුගේ ප්‍රතිවාදියා වූයේ එක්සත් ප්‍රගතිශීලී සන්ධානය ප්‍රමුඛ විපක්ෂ දේශපාලන කණ්ඩායම් නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණු අපේක්ෂක 84 හැවිරිදි යෂ්වාන්ත් සිංහා ය. මුර්මුට ඡන්ද 2824ක් ලැබුණු අතර යශ්වන්ත්ට ඡන්ද 1877ක් ලැබිණි. ඉන්දියාවේ ජනාධිපති ධුරය කාන්තාවකට හිමිවුණු දෙවැනි අවස්ථාව මෙයයි. මීට පෙර එම තනතුර දැරුවේ ප්‍රතිභා පටිල් වේ. නීතිඥවරියක් වූ ඇය 2007 සිට 2012 දක්වා මේ තනතුර දරුවාය.

ද්‍රෞපදී මුර්මු භාරතීය ජනතා පක්ෂ සාමාජිකාවක වූයේ 1997 දීය. එසේම 2015 සිට 2021 තෙක් කාලයේ ජර්කාන්ද් ප්‍රාන්ත ආණ්ඩුකාරවරිය ලෙස කටයුතු කළේ ද ඇයයි. ආණ්ඩුකාර ධුරයකට පත්වූ පළමු ආදිවාසී කාන්තාව වන්නේද ඇය වීම විශේෂයකි.

1958 ජූනි 30 වැනි දින ඔඩීෂා ප්‍රාන්තයේ මයූර්බන්ජ් දිස්ත්‍රික්කයට අයත් උපර්බෙදා ගම්මානයේ සන්තාලි ගෝත්‍රික පවුලක උපත ලද ද්‍රෞපදී මුර්මු බුබනේස්වර්හි අධ්‍යාපනය ලබා 1979 සිට 1983 දක්වා ප්‍රාන්ත වාරිමාර්ග හා විදුලිබල දෙපාර්තමේන්තුවේ කනිෂ්ඨ සහකාරවරියක් ලෙස ප්‍රථමයෙන් සේවය කළාය. පසුව ඇය ගුරුවරියක වූවාය. සිය දේශපාලන ජීවිතයේ සාර්ථක වුවද ඇය පෞද්ගලිකව කනගාටුදායක සිද්ධීන්ට මුහුණ දුන්නාය. ඇගේ සැමියා වන ශ්‍යාම් චරන් මුර්මු 2014 වසරේ අභාවප්‍රාප්ත විය. ඇයට සිය පුතුන් දෙදෙනාම වසර 4ක් වැනි කෙටි කාලයක් තුළ අහිමි විය. දැන් ඇය ජීවත්වන්නේ දියණිය සමගය.

මුර්මුගේ අතීත ජීවිතය හොඳින් දන්නා මාධ්‍යවේදියෙක් සහ සමාජ ක්‍රියාකාරිකයෙක් වන නිගමනන්ද පට්නායික් එක් විශේෂ සිද්ධියක් සිහිකරන්නේ මෙලෙසය. “වරෙක ඔඩීෂා හි රාජ්‍ය අමාත්‍යවරයකු වන කාර්තික් මාජි රයිරන්ග්පූර් නගරයට ආවා. මේ අවස්ථාවට සහභාගි වෙන්න මුර්මු ගේ පියා ඇයත් රැගෙන ඒ නගරයට පිටත් වෙලා තිබුණා. හදිසියේම ඇය තම පාසල් සහතිකය වනමින් අමාත්‍යවරයා සිටින වේදිකාවට ගොඩ වෙන්න උත්සහ කළා. ඇයට අවශ්‍ය වුණේ ඉතිරි අධ්‍යාපන කටයුතු භුබනේෂ්වර් ප්‍රදේශයේ සිදු කිරීමට යි. ඇත්තටම මේ දැරියගේ උද්‍යෝගය හමුවේ අමාත්‍යාවරයා කොතරම් පැහැදුණාද කිවහොත්, මුර්මුට ප්‍රාන්ත අගනුවර රජයේ පාසලක ස්ථානයක් ලබා ගැනීමට උදව් කරන ලෙස සිය කාර්ය මණ්ඩලයට නියෝග කළා. මෙය ඉතා වැදගත් සිද්ධියක්. අද ඇය රටේ ඉහළම තැනට ගිහිල්ලා.

ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් පසු ජාතිය අමතමින් ඇය වැදගත් ප්‍රකාශයක් සිදු කළාය. “ජනාධිපති ධූරයට පැමිණීම මගේ පෞද්ගලික ජයග්‍රහණයක් නොවෙයි. එය ඉන්දියාවේ සෑම දුප්පතෙකුගේම ජයග්‍රහණයක්. මගේ මැතිවරණ ජය ඉන්දියාවේ දුප්පතුන්ට සිහින පමණක් නොව එම සිහින සැබෑ කරගත හැකි බවට හොඳම සාක්ෂියක් බව කිවයුතුයි.

● චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment